Print this Article


ධර්මය ජීවිතයට ශක්තියක් කර ගන්න

ධර්මය ජීවිතයට ශක්තියක් කර ගන්න

 

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

පින්වතුනි,

අප බුදුරජාණන් වහන්සේ විසින් ලොව්තුරා බුද්ධත්වයේ පටන් පිරිනිවන් පෑම දක්වා පන්සාළිස් වසක් පුරාවට දේශනා කළ සියලුම ධර්මයන් ධර්ම,විනය, අභිධර්ම යන කොටස් තුනට අයත් වන්නේ ය. ප්‍රාථමික වශයෙන් භෞතික ලෝකය හඳුනා ගැනීම සමාජ ධර්මයෙන් හෙවත් සූත්‍ර පිටකයෙන් ද, ශික්ෂණය විනය පිටකයෙන් ද, සත්වයා හා ලෝක ධාතු වශයෙන් දාර්ශනිකව බෙදා වෙන්කොට විමුක්ති සුවය පරමාර්ථ වශයෙන් දැක්වීම අභිධර්ම පිටකයෙන් ද ප්‍රකාශ වන්නේ ය.

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහළවූ විපස්සී ආදී බුදුරජාණන් වහන්සේ ද දේශනා කරන ප්‍රධානතම කරුණු තුනක් ඇත.

සියලු පව් නොකිරීම, කුසල් රැස් කිරීම හා සිත දමනය කර ගැනීමයි

ලෝකය ජීවින්ට අනුගත වන්නේ එක්තරා ධර්මතාවක් අනුව ය. එම ධර්මතාව කාලයක් ධර්ම ශක්තියක් වශයෙන් පවතින්නේ සත් ගුණවත්, නැණවත් මිනිසුන් නිසා ම ය. ක්‍රමයෙන් එවන් මිනිසුන් මානව සමාජයෙන් තුරන්වන විට ධර්ම ශක්තියත් යළි ජීවින්ගේ ධාරණ ශක්තියත් තුරන් වන්නේ ය.

“ධාරේතීති ධම්මො චතුසු අපායෙසු පතමානෙ සත්තා අපතමානෙ කත්වා ධාරේතීති ධම්මො” යන අර්ථ විවරණයට අනුව සත්ත්වයා මෙලොව පොළොව මත දරා සිටින්නටත්, මරණින් මතු සතර අපායේ නොවැටී සිටින්නටත් පව් නොකිරීමෙන් කුසල් කිරීමෙන් එම ධර්ම ශක්තිය ඇති කරගත යුතු වන්නේ ය.

බුද්ධාගමේ තරම් පව්, පින් හා ප්‍රතිවිපාක මනෝවිද්‍යානුකූලව පෙන්වා දෙන වෙනත් ආගමක්, දර්ශනයක්, ශාස්ත්‍රයක් නොමැත. ප්‍රාණඝාතාදී පව් කිරීමෙන් මිනිසා මානසික වශයෙන් චංචල වන්නේ ය. පයේ ශක්තිය නැතිව පොළොව මත ඇද වැටෙන්නේ ය. මෙයට මිනිසා විසින් නිෂ්පාදිත ආයුධ ශක්තිය හෝ ඖෂධ බලය හෝ පිහිට නොවන්නේ ය.

සත්ත්වයා මොහොතක් පාසා පිරිහීමට ගෙන යන සිතීම, කීම හා ක්‍රියාව පව් වන අතර, එය ආගම දහමින්, සමාජ දහමින් හඳුනාගත හැක. එයට පදනම වන්නේ ලෝභය, ද්වේශය හා මෝහයයි. එය නොකඩවා කලක් කරන විට අකුසලයක් වන්නේ ය. එය අප බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

තීනිමානි භික්ඛවෙ අකුසලමූලානි, ලොභො අකුසල මූලං

දොසො අකුසල මූලං, මොහො අකුසල මූලං

මෙම අකුසල් නිසා සත්ත්වයා සතර අපායේ වැටී අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ ය. එහෙත් බුද්ධාදී ආර්ය මහෝත්තමයන් පෙන්වා වදාළ සද්ධර්මය අනුගමනය කළොත් සුගති සංඛ්‍යාත දේව මානුෂික සම්පත් ලබා සැනසෙන්නේ ම ය.

කුසලය හෙවත් දක්ෂතාව නම් අකුසල් දුරුකොට කුසල් කිරීමයි.

ලෝභය යටපත් කොට පරිත්‍යාග කිරීමත්, ද්වේශය නොකර කරුණා මෛත්‍රී කිරීමත්, මෝහයෙන් මුළා නොවී සත්‍ය අවබෝධ කර ගැනීමත් කුසල් වන අතර, එයින් දෙලොව ම ජය ගන්නේ ය.

ඇස්, කන්, නාසාදී ඉඳුරන් රූපාදි අරමුණු නිසා තම තමන්ගේ බලය ප්‍රකාශයට පත් කර ගනිමින් සිතට කෝටි ගණන් චිත්ත ආවේග ඇතුළු වී සත්ත්වයා චංචල කරවන අතර, එයින් අවිවේකය ඇතිවී අප්‍රමාණ අකුසල චේතනා රැස් වන්නේ ය. මෙය අවබෝධ කර ගෙන සතර සතිපට්ඨානයෙන් සිතට ආවේග ඇතුළු කරන ඉඳුරන් දමනය කර ගත යුතු වන්නේය.

කායානුපස්සනාව හෙවත් කයේ ස්වභාවයත් එයින් වන පීඩනය හා ක්‍රියාකාරිත්වයත් සිහියෙන් විමර්ශනය කරනවිට ඒ අනුපස්සනාවෙන් සිත දමනය කරගෙන පංච නීවරණයන් ක්‍රමයෙන් අයින් කොට භාවනා සිත චිත්ත ඒකාග්‍රතාවයට පමුණුවා ගන්නේ ය. මෙය විමුක්ති මාර්ගය වන අතර ඉන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන නිවන් සුවෙන් සැනසෙන්නට හැකි වන්නේ ය.