Print this Article


පොරොන්දම් දහඅට ම ගැලපුණත් විවාහය නොගැලපෙනවා ද?

පොරොන්දම් දහඅට ම ගැලපුණත් විවාහය නොගැලපෙනවා ද?

නූතන යුගයේ යෞවන යෞවනියන්ගේ සිත් යොමුවන විශේෂ අංගයක් වන්නේ පුද්ගල ආකල්පයයි. අඳින ඇඳුම් හෝ කොණ්ඩය වවා ඇති ආකාරය, ගමන බිමන, කතා බහ ආදී අංග කෙරෙහි යෞවන යෞවනියන් වඩාත් අවධානය යොමු කරවන බව පෙනෙයි. එහෙත් ආකල්පවලට රැවටී ඇතිවන පේ‍්‍රමය මොන තරම් ව්‍යාජ ද? නිර්මල පේ‍්‍රමයක් බොළඳත්වයට පත් වන්නේ එවැනි බාල දේ ඔස්සේ හඹායාමෙනි.

මුළාවේ වැටෙන හැටි

ස්ත්‍රී පුරුෂයන් වහා බන්ධනයට පත් කරවන අනෙක් කරුණු දෙක පි‍්‍රයමනාප දේ ගෙනැවිත් දීම හා ස්පර්ශයයි. විශේෂයෙන් යෞවන යෞවනියන් මුළා කර ගැනීමට ඉතාම පහසු දෙයක් වන්නේ කැමැති දේ සොයා ගෙනැවිත් දීමයි.

බුද්ධ කාලයේ රස පල වැල ඒ සඳහා යොදා ගත් අතර, නූතනයේ අලුත් ආහාරපානයන්ට ඒ තැන හිමිව තිබෙයි.

භවයක් පාසා එක්ව ජීවත් වෙන්න

නකුල මාතා, නකුල පිතා දෙදෙනා බෞද්ධ සමාජයේ ආදර්ශවත් යුගදිවි ගෙවු දෙදෙනෙක්. දවසක් බුදුහිමියන් මේ දෙදෙනාගේ ගෙදරට වැඩම කළා. එහිදී මේ දෙදෙනා බුදුහාමුදුරුවන් ඉතා ආදරයෙන් පිළිගත්තා. පිළිගෙන බුදුහාමුදුරුවන්ට මෙහෙම කියා සිටියා.

බුදුරජාණන් වහන්ස, අපි දෙදෙනා විවාහ වුණේ අවුරුදු 16 දී. දැන් වයස අවුරුදු අසූවයි. මේ කාලය මුළුල්ලේ අප දෙදෙනා දෙදෙනකු ලෙස සිතුවේවත්, ක්‍රියා කළේවත් නැහැ. අපගේ කය දැන් දුබල වෙලා. තවත් ටික කලකින් අප දෙදෙනා මරණයට පත්වේවි. බුදුරජාණන් වහන්ස, අප කැමැතියි නිවන් දකිනා ජාති දක්වා ස්වාමි භාර්යා වශයෙන් හැම භවයක ම එකට ජීවත් වෙන්න. ඒ සඳහා අප කුමන ප්‍රාර්ථනාවක් කළ යුතු දැයි ඇසුවා.

ඒ අනුව යම්කිසි ගෘහපති යුවළක් බලාපොරොත්තු වෙනවා නම්, මේ ආත්ම භාවයෙත් සතුටින් වාසය කරලා, මරණින් පසුවත් නැවත එක් වෙන්නට ඔවුන් දෙන්නා තුළ ම තිබිය යුතු ගුණධර්ම හතරක් තියෙනවා. එනම්,

සම සද්ධා – ශ්‍රද්ධාවෙන් සමානවීම, සම ශීලා – ශීලයෙන් සමාන වීම,

සම චාගා – චාගයෙන් යුක්ත වීම හා

සම පඤ්ඤා – ප්‍රඥාවෙන් සමාන වීම යනු එම කාරණා සතරයි.

අමනුස්ස වෙස් ඇයි?

අපේ සමාජයේ විවාහය සඳහා වැඩි දෙනෙක් කේන්ද්‍ර බැලීමත්, ඒවායේ පොරොන්දම් ගැළපී තිබීමත් අත්‍යවශ්‍ය බව විශ්වාස කරනවා. ඒ සංස්කෘතික පිළිගැනීම තුළ යම් වටිනාකම් නැත්තේ නැහැ.

එහෙත් පොරොන්දම් 18 ම ගැළපී වුව ද දෙදෙනා තුළ ශ්‍රද්ධාව පිහිටා නොතිබුණොත් එතැනදී විවාහ දිවියේ අර්බුද හට ගන්නවා.

මෙතැන ශ්‍රද්ධාව ප්‍රධාන කොටස් දෙකකින් විවරණය වෙනවා. පළමුවැන්න ආගමික වශයෙන් ලැබූ ශික්ෂණයයි. ආගමික ගෞරවයකින් ජීවත්වන යෞවන යෞවනියන් බොහෝ විට අවංක, නිර්ව්‍යාජ ගතිවලින් ද යුතු වෙනවා. ඉවසීම ප්‍රගුණ කරනවා. හොඳ නරක තේරුම් ගන්නවා. ඒ නිසා ලොකු ගුණයක් එයින් වැඩෙනවා. එහෙත් ශ්‍රද්ධාව තුළින් ගොඩනඟන ආගමික ශික්ෂණය නැතිවූ තැන මිනිසා හැසිරෙන්නේ අමනුෂ්‍යයකුගේ විලාසයෙන්.

ශ්‍රද්ධාවේ අනෙක් අංගය වන්නේ දෙදෙනා අතර ඇතිවන විශ්වාසයයි. ඔවුනොවුන් කෙරෙහි අවබෝධයෙන් වටහා ගැනීමක් ඇතිව දෙදෙනා අතර කිසිදු සැක සංකාවක් ඇති නොවන ලෙස විශ්වාසය තහවුරු කර ගන්නට අවශ්‍ය වෙනවා.

ජාතක පොතෙහි එන ගුණ ජාතකය සියලු විවාහකයන් විවාහ වෙන්නට පෙර කියවා බැලිය යුතුයි. භාර්යාවක් තුළ ස්වාමියා කෙරෙහි හට ගන්නා සැක සංකා මුළු මහත් පවුල් දිවියම විනාශ කර ගන්නා ආකාරයත්, අවබෝධයෙන් ගැටලුව තේරුම් ගෙන එය විසඳා අර්බුදය නිරාකරණය කොට සතුටින් ජීවත් වන ආකාරයත් මෙම කතාවේ හොඳින් සාකච්ඡා කෙරෙනවා.