Print this Article


දෙදණින් නොවැටී දෙපයින් නැඟිටිමු දොරින් දොරට රන් උල්පත් පාදමු

දෙදණින් නොවැටී දෙපයින් නැඟිටිමු දොරින් දොරට රන් උල්පත් පාදමු

කිරට හඬන දරුවාට කිරි ද, තණ සොයන ගවයාට තණ ද නොමැති නම්, සශ්‍රීක මහ පොළොව වල් වැවී කැලෑ රොද බවට පත්වී අහස් ජලය නිකරුණේ මහ මුහුදට ගලා යයි නම් එබඳු දේශයක මානව සම්පත් පිළිබඳ තක්සේරුවකට අලුත් මිනුුම් වුවමනා නොවෙයි.

සරුසාර පොළොවක්, ඇළ දොළ, ගංගා සපිරි දේශයක්, නෙත් සිත් පැහැර ගන්නා කඩා හැලෙන දියඇලි, කඳුහෙල් මිටියාවතින් සමලංකෘත නිල්වන් තුරුලතා පන්තීන්ගෙන් ද මනෝබන්ධනීය සියොත් කැළ ද මුව, මී, ගෝන ඇත් සමූහයා ද, විචිත්‍රවත් සොබා සෞන්දර්යයක් ද දයාබරිත සොබාදම් මෑණියන් අපට උරුම කර දී ඇත.

මෙබඳු දේශයක දෙපා හොවා, බඩවියත සපුරා ගත නොහී, සරු පවුල් දිවියක් නොමැතිව ඉකිබිඳින, කඳුළු සලන ජනතාවක් වෙත් නම් එබඳු ජාතියක මතු දවස ගැන කවර කතා ද?

බුදුන් වහන්සේගේ ඉගැන්වීම, දර්ශනය පළමුව මෙලොව යහපතට යැ. සරල සුගම සුන්දර දිවි පෙවෙතට, බත බුලතින් පොහොසත් සැනසිලිදායක ජීවිතයකට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සමුදාය අත්‍යන්තයෙන් ම මහෝපකාරි වෙයි.

බුදු දහම පරලොවට නොව මෙලොවටය. මෙලොව සාර්ථක දිවි ගමන පරලොව සුගතියට මඟ පාදයි. බුදු දහම මියැදෙන්නට නොව ජීවත් වන්නට මඟ කියාදෙයි. එනිසාම බුදු දහමේ ආභාසයෙන් හෙළදිව එදා හෙළයෝ කෙතින් බඩවියත සපුරා, දාගැබින් ආධ්‍යාත්මය සනහා ගත්හ. එනිසාම එදා හෙළ දිවි පෙවෙත සරල වුව සුන්දර විය. සැහැල්ලුව, පහසුව එදා හෙළයෝ දිවි ගෙවූහ.

ආටෝප සාටෝප සංකර හුරුපුරුදුවලින් දේශීය හෙළ හැදියාවන් යටපත්ව, ජන ජීවිතය විකෘති අසමතුලිත වීමෙන් අද්‍යතන සමාජ සංස්ථාව බරපතළ ආර්ථික සාමාජයීය සෝදාපාළුවකට ලක් වී ඇත.

අක්මුල් නොසිඳුණූ ජාතියක් ලෙස යළි පිබිදෙන්නට, සරල මූලික අවශ්‍යතා අපහසුවකින් තොරව සපයා ගන්නට හැකි පසුබිම ද, ඒ හා බැඳුණූ සාරධර්ම, සදාචාර සභ්‍යත්වය ද, සවිමත් වේ නම් අටුකොටු පිරෙන, බත බුලතින් ගේ දොර සරු වන, හැදිච්චකමින් – මනුස්ස කමින් ඔපවත් සමාජයකට එදා මිස්සක පව්වෙන් මතුවුණූ බුදුන් වහන්සේගේ ජීවන දර්ශනය යළිදු ලක්දිව ළමා පෙළ – තුරුණු කැළ හදසන්තානයේ රෝපණය කරවිය යුතු ය.

බුදුරදුන්ගේ උතුම් ඉගැන්වීම් සමුදාය බරසාර උච්චාරණයකට, මතුපිට සුන්දරත්වයකට පමණක් සීමාකොට බුදුරදුන්ගේ පවර සදූපදේශ පුද්ගල සන්තානයෙන් වාෂ්පීකරණයට හසුවීම, වර්තමාන, සමාජ ආර්ථික සංස්කෘතික සමස්ත සමාජ පද්ධතියේ අංග විකලත්වයට හේතු වි ඇත.

සතුටු කැදැල්ලක සොඳුරු සිනහවට

මිනිසාට මිනිසාගේ වගකීම්, යුතුකම් අමතක වීම ද, තමාගේ ද තම දරු පවුලේ ද ඉදිරි වැඩ තකා යුහුසුළුව ක්‍රියාත්මක නොවීම ද අද අපේ සැම ක්ෂේත්‍රයක වු දිළිඳුබවට හේතු භූත වී ඇත.

උතුම් සිතුම් පැතුම් පිරී හැදුණු සමාජය, සමාජ ආර්ථික සංස්කෘතික වශයෙන් ප්‍රභාවත්ව ලොව වැජඹෙයි.

සමාජයේ කුඩාම ඒකකය පවුල ය. පුද්ගලයා ද, පවුල ද හැදුණු කල දොරින් දොරට රන් උල්පත් පෑදෙණු නිසැක ය.

එහිම සමාජ ප්‍රගමනයට සමෘද්ධියට හේතු වෙයි. වුවමනා බහුල නොවී, සරල, අල්පේච්ඡතාවෙන් හෙබි, ලද පමණ සතුටු වී පහසුවෙන් පෝෂණය කළ හැකි සැහැල්ලු දිවි පෙවෙත අය වැය පමණ දත් සමජීවිකතාවෙන් යුතු පවුල් සංස්ථාව ධන උල්පත් සිඳ දමන, සුරාව, සූදුව, පාපතර ඇබ්බැහි වීම් වැළඳ ගනීද එය දරු පවුලේම සතුටු කැදැල්ලේ මුවඟ රැඳි සොඳුරු සිනහව පලවා දුක, වේදනාව, සන්තාපය හා පශ්චාත්තාපය කැඳවා ගැනීමට මඟ පාදයි.

පෙර සූදානම

කවර කටයුත්තක් වුව ඉෂ්ට කිරීමේ දී පිළිවෙළට ක්‍රමානුකූලව සිදු කිරීම ප්‍රතිඵලදායක ය. බුදුරදුන්ගේ දෛනික කටයුතු තුළින් ද ඒ බැව් මනාව ප්‍රකට වෙයි. දානයක් මානයක් පින්කමක් පමණක් නොව ව්‍යාපාරික කටයුත්තක්, ගොවිතැනක් වුව සිදු කිරීමේදී පෙර සූදානම සැලසුම ඉතා අගනේ ය. මහ බෝසතාණන් වහන්සේ පස් මහ බැලුම් බලා මිනිස් ලොව ඉපදුණහ. එසේම බලාපොරොත්තු වන අරමුණ ඉටුකර ගැනීමට වූ බලවත් වීර්යය, උත්සාහය, ඕනෑකම කෙනකු තුළ නොපවතින්නේ නම්, එවැන්නාගේ මෙලොව දිවි අඳුරු ය. පරලොව ගැන කවර කතා ද? මවගේ ළමැදට තුරුලු වැ කිරි උරන කිරිකැටියා කිරි බොන්නේ ද වීර්යයක් ගෙන ය.

පෙරළී බඩගා වැටි වැටී නැඟී සිටි නිසාම මනාව ඇවිදීමට අපට හැකි විය.

වැටුණොත් නැඟිටින්න

ජීවන ගමනේ දී වැටුණු හැම විටම නැඟී සිට සවිමත් වීමේ පන්නරය කුඩා අවධියේ පටන් අප ලබා ඇත්තෙමු. එනිසා නොපසුබට උත්සාහයෙන්, වීර්යයෙන් යම් කටයුත්තක නිරත වීමෙන්ම ඉෂ්ටාර්ථය මුදුන් පැමිණෙයි. මහපොළොවේ දෙපා තබා සමබරව ඇවිදීමට අප උගත්තේ වැටි වැටී නැඟිටීමෙනි.

ධාවන තරගයක නිරත වූවකු බලවත් වීර්යයක් ගෙන ධාවනයේ යෙදෙයි. වැටුණහොත් යළි නැගී ජයග්‍රාහී අරමුණ අත්නොහැර ධාවනයේ යෙදෙයි. ජයග්‍රාහීව සමාප්තිය දක්වා දිව යයි. ජීවිත ගමන ද ධාවන තරගයක් සේ සිතා අම්මා පෙව් කිරි කඳුලේ ශක්තියෙන් පොළව මත දෙපා හොවා ධෛර්යයෙන්, උත්සාහයෙන් අපේ ජීවිත ජයගත යුතු වෙයි.