Print this Article


කෝපය ගින්නක් සේ ඇවිළෙනවා ද?

කෝපය ගින්නක් සේ ඇවිළෙනවා ද?

දරා ගැනීමට නොහැකි බව කීවද මිනිසුන් වූ අප විසින් පාලනය නො කර ගත යුතුම දෙයකි තරහව,කෝපය කියන්නේ.

තරහ ගන්නට ලෙහෙසි ය. එහෙත් ඒ සිතිවිල්ල පාලනය කිරීම හෝ තරහා නොගෙන සිටීම හෝ ලෙහෙසි දෙයක් නොවේ. සිතට තරහ ආ පමණින් එය පිට කිරීම තමාට මෙන් ම සමාජයට ද කරන විපතකි.

තම සිතට එන තරහ පාලනය කළ නොහැකිද? එසේ නම් එය කළ හැක්කේ කෙසේ ද? ඒ සඳහා අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා.

ඔබට නිතර නිතර කේන්ති යනවා නම්, පුංචි දෙයකටත් ඇවිස්සී යනවා නම්, ඇසට පෙනෙන රූපයකට, කනින් අසන ශබ්දයකට , නාසයට දැනෙන ගඳ සුවඳකට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට, මනසට සිතෙන අරමුණුවලට පුළුවන් නම් ඔබගේ යටපත් වෙලා තිබුණු කෝපය, තරහාව ගින්නක් සේ එළියට පිට කරන්න, එය කෙතරම් අයහපතක් ගෙන දෙන්නක් ද? භාග්‍යවතුන් වහන්සේ වදාළා තම සිතට කේන්තිය,තරහව දැනෙනවා නම් අකුසලයක් බවත්, එය පාලනය කළ යුතු බවත්. ඒ සඳහා අපට නොයෙක් උපක්‍රම උන්වහන්සේ දේශනා කොට වදාළා.

තරහ නැති, අමනාප නැති, කේන්තිය නැති සංසුන් සිතකට ආශා කරන ඔබට තරහ පාලනය කර ගන්න ක්‍රම පහක් උන්වහන්සේ වදාළා.

තමාට තව කෙනෙක් ගැන තරහ සිතිවිල්ලක් ඇති වනවා නම්, එය බුර බුරා සිතේ නැඟ එනවා නම් තම සිත පාලනයට මෙත් සිත වැඩිය යුතුයි.

මම වෛර නැත්තෙක් වේවා! තරහා නැත්තෙක් වේවා! ඊර්ෂ්‍යා නැත්තෙක් වේවා! සුව සේ ජීවත් වේවා ! ශාන්ත සුවයට පත්වේවා ! කියා යළි යළිත් සිතමින් සිතට බලෙන් හෝ මෙත් සිත පුරුදු කරන්න ඕනෑ. එසේ කරද්දීත් තරහ පාලනය නොවේ නම්, ඔබට පුළුවන් කරුණාව වඩන්න. යම් කෙනෙක් ගැන තමාගේ සිතේ යම් අමනාපයක් හටගෙන තිබෙනවා නම් සිත අකැමැති වුවත් සිතට බලෙන් හෝ පුරුදු කරන්න ඕනෑ. ඒ පුද්ගලයා නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා! දුකින් මිදේවා! නිවනින් සැනසේවා! ඔහු කායික මෙන් ම මානසිකව ද සැපවත් වේවා ! කියා සිතන්න. එසේ කරුණාව වඩද්දිත් සිත තුළ තරහව ම හට ගන්නවා නම් උපේක්ෂාව වඩනවා. උපේක්ෂාව කියන්නේ අමනාපයක්, ක්‍රෝධයක්, අසතුටක් නොවන ආකාරයට ඒ පුද්ගලයාගේ මතක අමතක කරනවා. ඔහු මට බැන්නාට ගැහුවේ නැහැනේ කියලා හිතනවා. එසේ තරහ පාලනය කර ගන්නට බැරිනම් අපි දක්ෂ වෙන්න ඕන. ඒ සිදු වු සිදුවීම සිහි නොකර සිටින්න.

කෙනෙක් සමඟ වෛරයක්, අමනාපයක් හට ගන්නට ද මූලික හේතුව වන්නේ කියපු වචනයක්, කළ ක්‍රියාවක් නිතර සිහි වීමයි. එසේ සිහි නොකර සිටීමට නම් ඒ වෙනුවට වෙනත් දෙයක් ගැන හිතන්න පුරුදු වෙන්න ඕනෑ.

එලෙස සිහිකරලත් අපට තරහා සිත පාලනය කර ගන්නට බැරි වුවොත් කර්මය සිහි කරනවා.මේ හැම සත්වයෙක් ම තමන්ගේ දේ කරගෙන සිටින්නේ කර්මයයි. ඥාතියා කරගෙන සිටින්නේ කර්මයයි. ඉපදෙන තැන තීරණය කරන්නේ කර්මයයි. දායාදය කරගෙන සිටින්නේ කර්මයයි. යම් කර්මයක් යහපත් වූ, අයහපත් වූ සිතින් කරනවා නම් ඒක තමා දායාදය ලෙස ලැබෙන්නේ. යහපත් කර්මයට යහපත ද, අයහපත් කර්මයට අයහපත ද ලැබෙනවා. ඒක තමන්ට වගේ ම අන් අයට ද පොදුයි කියා සිහි කරන්නට ඕනෑ. එසේ සිහි කරද්දී බොහෝ විට සිත පාලනය වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. සිත කිළිටි කර ගත්තොත් ඒ සිතින් කරන, කියන දේ විපාක තමන්ට මයි විඳින්නට වෙන්නේ. එහෙත් තමන් මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව ඇතිකර ගත්තොත්, සිදුවු සිදුවීම් අමතකර කර සිටියොත් එහි යහපතත් තමන්ටම යි. ඒ නිසා ‘මම අයහපත් වචන කතා කරන්නේ නෑ. අයහපත් ක්‍රියා කරන්නේ නෑ. අයහපත් සිතිවිලි සිතන්නේ නෑ කියලා කල්පනා කරන්න කියලා දේශනාකොට වදාළා.

අවංකවම තරහා පාලනය කරන්න කැමැති කෙනකුට මේ ක්‍රම පහ ඉතා ප්‍රයෝජනවත් වන බවයි උන්වහන්සේ වදාළේ.