Print this Article


නැසෙන වැනසෙන කල්ප හතක් දෙව්ලොව ඉපදීමට කළ පිනක මහිම

නැසෙන වැනසෙන කල්ප හතක් දෙව්ලොව ඉපදීමට කළ පිනක මහිම

භාග්‍යවතුන් වහන්සේ මා පුඤ්ඤාභායි සූත්‍රයේ දී වදාළා. “පින්වත් මහණෙනි, පින කියන්නේ සැපයට කියන නමක්. එනිසා ඔබ පිනට බයවෙන්න එපා.” කියා, ඒ වගේම උන්වහන්සේ වදාළා පින්වත් මහණෙනි, මම බුද්ධත්වයට පෙරුම් පුරන කාලයේ බොහෝ කාලයක් කරන ලද පින්වල ප්‍රතිඵල ලෙස ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනාප වූ සැප විපාක බොහෝ කාලයක් විඳ තිබෙනවා.

පින්වත් මහණෙනි, මා විසින් බුද්ධත්වයට පෙරුම් පුරන කාලයේ සත් වර්ෂයක් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කළා. නැසෙන, වැනසෙන කල්ප හතම එහි විපාක ලෙස මම මනුස්ස ලෝකයට ආවේ නැහැ.

ලෝකය නැසෙන කල්හි මම ආභස්සර ලෝකයට ගියා. ලෝකය හැදෙන කල්හි මම බ්‍රහ්ම ලෝකයට ගියා. ඒ කාලයේ දී මම සියල්ල මැඬලු මහා බ්‍රහ්මයා වුණා. ඒ මෛත්‍රී ආනිශංසය නිස යි. ඒ සත් වසරක් මෛත්‍රී වඩා පිනෙන් තිස්හය වතාවක් සක් දෙවිඳු වුණා. ධාර්මික වූ සක්විති රජ වුණා. සිව්මහා පෘථිවිය ම ජය ගත්තා. සක්විති රජු කාලයේ මට සුරවීර පුතුන් දහසක් ලැබුණා. සැප කැමැති, කුසල් කැමැති කෙනා ඒ නිසා පිනට බිය විය යුතු නැහැ. මහණෙනි, සත් වසක් මෙත් සිත වඩා නැසෙන, වැනසෙන සත් කල්පයක් මම දෙවියන් අතර ඉපදුණා. දඬුවම්, අවි ආයුධ රහිතව මම මේ පොළොව ජය ගත්තා. මේ පෘථිවි රාජ්‍යයේ දැහැමින් රාජ්‍ය කොට ධනයෙන්, බලයෙන්, කුලයෙන් මම ඉහළට පැමිණියා. ජම්බු ද්වීපයේ මෙන්ම පෘථිවියටත් අධිපති වුණා.

එනිසා යහපත කැමැති වූ, මහත් බව පතන්නා වූ යම් කෙනෙක් ඇද්ද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අසා මෛත්‍රිය නම් වූ සද්ධර්මයට ගරු කළ යුතු වන්නේ ය.” උන්වහන්සේ වැඩිදුරටත් එම දේශනාවේ දී පෙන්වා දුන්නා.

ඒ වගේම මෙත්තාචේතෝ විමුක්ති සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා. “පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබා දෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙත් තිබෙනවා නම් ඒ සියල්ල මෛත්‍රී චිත්ත විමුක්තියේ සොළොස් කලාවෙන් කොටසක්වත් වටින්නේ නැහැ කියලා. මහණෙනි මෙය උපමාවක්. යම් සඳක් ඇද්ද? එහි ප්‍රභාශ්වරයෙන් මුළු පොළොව ම එළිය කරනවා. එහෙත් අහසේ තිබෙන තරු සියල්ල එක් කළ ද, ඒ තරුවලට මහා පොළොව එළිය කළ නොහැකියි. මහණෙනි, එසේ යම්තාක් පුණ්‍ය ක්‍රියා ඇද්ද, ඒ සියලු දේ මෛත්‍රී භාවනාවේ අනුසස්වලට සමකරන්න බැහැ.

කෙනෙක් හොඳින් සිහිනුවණ තුළ පිහිටලා අප්‍රමාණ මෛත්‍රී චිත්තය වඩනවා නම් ඔහු කෙලෙසුන්ගෙන් නැසීම දකිනවා. කෙලෙස් බැම් ලිහෙනවා. කෙලෙස් නැසීම දකිනවා. එකම ප්‍රශ්නය ගැන සිත දූෂණය නොකර ගෙන මෙත් සිත වඩනවා නම් ඔහු ධර්මයේ හැසිරීමට දක්ෂ වෙනවා. එනිසා සියලු ප්‍රාණීන් කෙරෙහි මහත් වූ මෙත්සිත වඩා බොහෝ පින් රැස් කර ගන්නවා කියන කියමනේ අරුමයක් නැහැ.

මෙත් සිත වැඩීමේ දී කිසිදු කෙනකු ගැන තරහා සිතක් හෝ පාපී අකුසලයක් හෝ ඉපදෙන්නේ තැතිනම්, කිසිදු සතෙක් මැරීමේ චේතනාවක් හට ගන්නේ නැති නම්, හිංසා කරන්නේ නැතිනම්, ඒකත් මෛත්‍රී වඩන ක්‍රමයක්. තව කෙනකුගේ හිතට දුකක් පීඩාවක් ඇතිවන වචන කියන්නේ නැතිනම් ඒකත් මෛත්‍රී වඩන ක්‍රමයක්. යමෙක් යමකුට හිංසා කරන්නේ හෝ හිංසා කිරීමේ සිතක් උපදින්නේ නැති නම් ඔහුත් මෙත් සිත පතුරන කෙනෙක් බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

ඒ වගේම සංඛධම්ම සූත්‍රයේ දී උන්වහන්සේ වදාළා මෛත්‍රී චිත්තය නිතර වඩනවා නම් ඔහුට විඳිය යුතු කර්ම තිබෙනවා නම් ඒ සියල්ල බැහැර වී යන බව. අකුසල් රැව් පිළිරැව් නොදී විසිරී යන බව. එනිසා අප නිතරම මෙත් සිත පුරුදු කරමු.

සිටගෙන සිටින විට, හිඳගෙන සිටින විට, ඇවිදිමින් සිටින විට හා වැතිරී සිටිනවිට යන සිව් ඉරියව්වෙන් ම සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! ශාන්ත සුවයට පත්වෙත්වා! කියා නිතර සිහි කරන්න ඕනෑ. සතර ඉරියව්වෙන් ම බොහෝ සේ එසේ පුරුදු කරමින් සිටියොත් තම ශ්‍රාවකයාට මෙත් සිත දියුණු කර ගන්නට පුළුවන් බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

මෛත්‍රී චිත්තය පුරුදු කරන ශ්‍රාවකයාට ලැබෙන අනුසස් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. ඒ සුව සේ නින්දයාම, සුව සේ අවදිවීම, පාපකාරී සිහින නොදැකීම, මනුස්සයන්ට පි‍්‍රයවීම, අමනුෂ්‍යයන්ට පි‍්‍රය වීම, දෙවියන්ට පි‍්‍රය වීම, මුව කමල ප්‍රසන්න වීම, අවි ආයුධ, ගිනි වසවිෂෙන් කරදර ඇති නොවීම, සිහිමුළා නොවී මරණයට පත්වීම සහ මඟඵල නො ලැබුවොත් බ්‍රහ්ම ලෝකයේ ඉපදීම යන අනුසස් ය.