Print this Article


මනරම් වෙරළ තීරයක් අසබඩ දර්ශනීය පුදබිම ආසිරිකන්ද පුරාණ රාජ මහා විහාරය

මනරම් වෙරළ තීරයක් අසබඩ දර්ශනීය පුදබිම ආසිරිකන්ද පුරාණ රාජ මහා විහාරය

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේෂධාතුන් වහන්සේ රැගෙන පැමිණි තපස්සු භල්ලුක නම් වෙළෙන්දෝ දෙදෙන අරිසිමලේ නම් වෙරළට ගොඩ බැස තිරියාය දක්වා ගමන් ගත් බව ඉතිහාසයේ සඳහන් ය. මෙම ප්‍රදේශය අවට අනුරාධපුර යුගයේ මුල් යුගයට අයත් ඉපැරැණි නටබුන් රාශියක් හඳුනාගෙන තිබේ.

ආසිරිකන්ද පුරාණ රාජ මහා විහාරය ද එවන් ඓතිහාසික වටිනාකමක් සහිත වූවකි. කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුල්මුඩේ පින් බිමකි. ප්‍රදේශයේ වෙරළාසන්න අරිසිමලය කඳුවැටිය ඔස්සේ මෙම ඓතිහාසික පුදබිම වෙත ළඟා විය හැකිය. චෛත්‍ය, ගොඩනැඟිලි, සඳකඩ පහන්, භාවනා ආසන, ඉපැරැණි ගල්කණු, ඇතුලුව, පුරාවිද්‍යා නටබුන් රැසක් සහිත, එහෙත් බොහෝ දෙනකුගේ ඇස නොගැටුණ ඓතිහාසික වැදගත්කමකින් යුත් අපේ උරුමයකි.

උතුරු නැඟෙනහිර හා තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමියන් මැටියෙන් තතන ලද කුටියක් තුළ වැඩ වාසය කරමින් උදාරතර ශාසනික මෙහෙයක් ඉටු කර තිබෙන්නේ මෙම පුද බිම කේන්ද්‍රකර ගනිමිනි. සම්බුද්ධ ශාසනයේ මතු චිරස්ථිතිය උදෙසා බුද්ධ පුත්‍රයන් වහන්සේ රැසක් ශාසනයට දායාද කළ පින්බිමක් ලෙස මෙම ස්ථානය හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

අරිසිමල ආරණ්‍ය සේනා සංචිතයට අයත් සෙනසුන් විසි හතරක් පමණ පවතින අතර ඉන් විසිදෙකක් සිතියම් ගත කර ඇත. ආසිරිකන්ද පුරාණ රාජ මහා විහාරය මෙහි කේන්ද්‍රස්ථානය වන අතර, සේනාසන සංචිතයට අයත් සෙනසුන්වල වැඩ හිඳින භික්ෂූන් වහන්සේ මහ වන මැද යෝගාවචරව වැඩ වාසය කරති.

මෙම පුදබිම දර්ශනීය වෙරළ තීරයක් අසබඩ පිහිටා තිබෙන අතර, මෙම වෙරළ තීරය අරිසිමලය යනුවෙන් ව්‍යවහාර කෙරේ. දමිළ භාෂාවෙන් අරිසි යනු සහල් හඳුන්වන නාමයයි. මලය යන්නෙහි දමිළ භාෂා අරුත වන්නේ කන්ද යන්නයි. ඒ අනුව දමිළ බසට අනුව නම් එහි අර්ථය ‘බත් කන්ද’ යන්නයි. සහල් ඇටයක ප්‍රමාණයේ වැලි අංශුවලින් මෙම වෙරළ තැනී ඇති නිසා එම නම ව්‍යවහාර වූ බව සඳහන් ය. ඛනිජවැලි සම්පත ද මෙම පුදබිම වටා පිහිටා තිබීමෙන් එහි වටිනාකම තවත් ඉහළ ය. මෙවන් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු උරුමයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ දී බලා සිටිය යුතුද? පෞරාණික මෙවන් උරුමයන් රැක ගැනීමට අප එකාවන්ව පෙරට පැමිණිය යුතු කාලය එළඹ ඇත්තේ ය.