Print this Article


සසරේ ගිලෙනවා ද? දුකින් මිදෙනවා ද?

සසරේ ගිලෙනවා ද? දුකින් මිදෙනවා ද?

දුටුගැමුණු රජතුමා සම්බුද්ධ ශාසනය කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවකින් කටයුතු කළ රජ කෙනෙක්. සෑම දිනකම මහා සංඝයා වහන්සේට දන් පැන් පූජා කළ අයෙක්. රාජකාරි අධික වූ නිසා දවසක් රජතුමාට අමතක වුණා භික්ෂු සංඝයා වහන්සේට දන් දෙන්න.

තමන් ආහාර ගන්න පෙර රාජ භෝජනයේ අග්‍ර කොටස සංඝයා වහන්සේට පූජා කිරීම රජතුමාගේ සිරිතයි. දන් නොදී තමන් ආහාර ගත් දවස නිතර නිතර මතක් වෙන්න පටන් ගත්තා. රජතුමා බොහෝ සේ දුක් වුණා. පසුතැවිලි වුණා. මහා සංඝයා වහන්සේ හමු වී සමාව අයැද සිටියා. තෙරුන් වහන්සේ කොපමණ උත්සාහ කළත් රජතුමාගේ හිත සනසන්න නො හැකි වුණා. රජතුමා තමාට ම දඩුවමක් පමුණුවා ගන්න ඕනෑ යැයි කල්පනා කරලා මෙහෙම හිතුවා.

‘මිරිස් ව්‍යාංජනය සහිත රාජ භෝජනය සංඝයා වහන්සේට පූජා කර ගන්නයි එදා බැරි වුණේ. කිසිම දවසක සංඝයා වහන්සේට නො දී මම ආහාර ගත්තේ නෑ. මට ම දඩුවමක් පමුණුවා ගන්න ඕන. ඒ වෙනුවෙන් මහාසංඝයා වහන්සේ උදෙසා මහා දාගැබක් ඉදිකර පූජා කරනවා’යි තීරණය කර ගත්තා. ඇමතිවරු කැඳවා තමාගේ අදහස දන්වා සිටියා.

රජතුමාගේ අණ පරිදි, රජතුමා සතුටට පත් වන අයුරින් අලංකාර මහා දාගැබක් ඉදි කළා. රජතුමා මහා සංඝයා වහන්සේ වැඩම කරවා එය පූජා කිරීමට විශාල පූජෝත්සවයක් ද යොදා ගත්තා. භික්ෂූන් වහන්සේ ලක්ෂයක් සහ භික්ෂුණීන් වහන්සේ අනූ දහසක් පින්කම වෙනුවෙන් වැඩම කළා. දෙපිරිස විවිධ වයස් මට්ටම් සහ පැවිදි උපසම්පදාවේ විවිධ වයස් ප්‍රමාණයන් නියෝජනය කළා.

ඇතැම් භික්ෂුවක් සාමණේර වූ අතර තවත් භික්ෂුවක් උපසම්පදා වී සිටියා.

සාමණේර පැවිදි පිරිස අවුරුදු හතේ සිට නියෝජනය කළා.

උපසම්පදා භික්ෂු පිරිස උපසම්පදාවෙන් වස් දෙක, තුන, හතර ලෙස වස් හැට හැත්තෑව ලෙසින් විවිධ වයස් මට්ටම් නියෝජනය කළා.

භික්ෂූන් වහන්සේලාත් ගිහි දායක පිරිස මෙන් ම පින්කම් වෙනුවෙන් බොහෝ කටයුතු කරන්න පටන් ගත්තා.

අවුරුදු හතක් වයසැති එක් සාමණේර භික්ෂුවක් දාගැබ් මළුවේ වැඩ වසන උපසම්පදා භික්ෂූන් වහන්සේලාට කැඳ බත්වලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා. පාත්‍රය අරගෙන විත් ඒවාට කැඳ බෙදාගෙන මහ තෙරුන් වහන්සේලා සමීපයට ගෙන ගොස් පූජා කිරීමට කුඩා සාමණේර හිමි බොහොම පි‍්‍රය කළා. ආසාවෙන් සහ ශ්‍රද්ධාවෙන් සියලු කටයුතු කරන්න පටන් ගත්තා.

එක් අවස්ථාවක තමන් වහන්සේ ගෙන ආ පාත්‍රයට කැඳ බෙදාගෙන දාගැබ් මළුවට අරගෙන යන්න පටන් ගත්තත්, එහි උණු ගතිය වැඩි නිසා ගෙන යන්න නො හැකි වුණා. කෙසේ හෝ ගෙන යා යුතු බැවින් විටක සිවුරු කොනෙන් අල්ලාගෙන ගෙනයන්නත්, එය රත් වී දෑත් පිච්චෙන විට බිම තබා මද වේලාවක් සිටින්නටත් පටන් ගත්තා.

කුඩා සාමණේරයන් වහන්සේගේ මේ කටයුත්ත දිහා බලන් හිටියා කුඩා සාමණේරියන් වහන්සේ නමක්. ඒ භික්ෂුණියටත් ඒ වන විට අවුරුදු හතයි වයස. ඇය එතැනට පැමිණ ‘පින්වත් ස්වාමිනි, මේ කැඳ බඳුන බොහෝ උණුසුම්, අතින් ගෙන යන්න හෝ සිවුරු කොනෙහි තබාගෙන ගෙන යන්න හෝ බැරි තරම් උණුසුම්. ඔබ වහන්සේගේ දෑත් පිච්චේවි, තවදුරටත් මෙහෙම ගෙන ගියොත්. මගේ මේ තැටිය ඔබ වහන්සේ ගන්න. ඒ මත තබාගෙන කැඳ පාත්‍රය අරගෙන යන්න’යි කියා භික්ෂූණීන් වහන්සේ තමන් ළඟ තිබුණු එක් තැටියක් ලබා දුන්නා.

සාමණේරයන් වහන්සේ ඒ මත කැඳ පාත්‍රය තබාගෙන පහසුවෙන් දාගැබ් මළුවට වැඩම කළා. උත්සවයේ කටයුතු සාර්ථක ව නිමා වුණා. භික්ෂූන් වහන්සේ ලක්ෂයත්, භික්ෂූණීන් වහන්සේ අනූ දහසත් තම තමන්ගේ දේශවල ආරාමවලට වැඩම කළා. ක්‍රමයෙන් වසර පනස් හතක් ගත වුණා. මෙ රට ඇති වූ කිසියම් බියක් නිසා ඇතැම් භික්ෂූන් වහන්සේ මෙන් ම භික්ෂූණීන් වහන්සේ දඹදිවට වැඩමවන්න පටන් ගත්තා. දාගැබ් මළුවේ දී හමු වූ සාමණේර භික්ෂූන් වහන්සේ දඹදිවට වැඩම කර භාවනා කටයුතුවල යෙදෙමින් වැඩ වාසය කළා. සාමණේරියක ව සිටි භික්ෂුණීන් වහන්සේ ද දඹදිවට වැඩම කර වාසය කරන්න පටන් ගත්තා.

දවසක් භික්ෂූණීන් වහන්සේට දැන ගන්න ලැබුණා. තමන් වැඩ සිටින ප්‍රදේශයට ශී‍්‍ර ලාංකික භික්ෂුවක් පිණ්ඩපාතයේ වැඩම කර සිටින බව. නොපමාව දන් පැන් සකසාගෙන උන්වහන්සේ වැඩ සිටින ස්ථානයට වැඩම කළා. සකසාගෙන පැමිණි දානය පූජා කළා. ශී‍්‍ර ලංකාවේ තොරතුරුත්, ආ ගිය පුවත් ආදියත් කතා කරමින් පිළිසඳරේ යෙදුණා.

එම අවස්ථාවේ භික්ෂුණීන් වහන්සේ ‘ස්වාමිනී, ඔබ වහන්සේ මිරිසවැටිය දාගැබ විවෘත කරන සමයේ වැඩ සිටියා ද? එකල ඔබ වහන්සේට වයස කීය ද?’යනුවෙන් විමසා සිටියා. එවිට තෙරුන් වහන්සේ ‘පින්වත් භික්ෂුණීන් වහන්ස, ඔව්, එකල මම වැඩ සිටියා. එතකොට මට වයස අවුරුදු හතයි’ යනුවෙන් පිළිතුරු දී ‘එ සමයේ ඔබට වයස කීයද?’යි ප්‍රතිප්‍රශ්න නගා භික්ෂුණියගේ වයස විමසා සිටියා.

‘මම ද අවුරුදු හතක සාමණේරියක්. එම උත්සවයේ දී මම උණු කැඳ පාත්‍රයක් ගෙන යමින් සිටි එක් සාමණේර භික්ෂුවකට තැටියක් දුන්නා’යි පවසා සිටියා.

තෙරුන් වහන්සේ ‘ඒ සාමණේර භික්ෂුව මම’යි කියමින් තමන් වහන්සේ සුරැකිව තබාගෙන සිටි තැටිය ගෙන පෙන්නුවා. එයින් ම දෙදෙනා ම බොහෝ සේ සමීප වුණා. බඹසර රකින්නට නොහැකි මට්ටමට ම ඔවුන්ගේ හිතවත් භාවය වැඩී ගියා. දෙදෙනාටම මේ වන විට වයස හැට ආසන්නයේ සිටියා. එහෙත් කාමයේ ප්‍රබල බව නිසාම දෙදෙනාම උපැවිදි වී අඹුසැමියන් ලෙස දිවි ගෙවන්න පටන් ගත්තා.

අපමණ වෙහෙස ගෙන බොහෝ කැපවීම් කරමින් රැකගත් සීලය අතීත කර්ම සිහිපත් වී කාමයෙන් වෙළී සංසාර ගමන තවත් දිගු කර ගත්තා.

මේ කතා පුවත අපට ආදර්ශ බොහෝ ප්‍රමාණයක් ගෙන දෙනවා. කාම ලෝකයේ ජීවත් වන මනුෂ්‍ය හෝ තිරිසන් කවර ජීවියෙක් වුවත් කුමන වයසක සිටියත්, කවර තනතුරක හෝ සමාජ ස්ථරයක සිටියත් කාමයෙන් බැඳුණු විට එයින් ගැලවිය නො හැකි බව පෙන්වා දෙනවා. ප්‍රකෘති ලෝකය අමතක වී යනවා.

එබැවින් සෑම මොහොතක ම සිහියෙන්, අවබෝධයෙන් සහ බුද්ධියෙන් විමසමින් ජීවත් විය යුතු බව මේ කතා පුවත උපදෙස් සපයනවා.

බාල, තරුණ, මහලු, උසස්, පහත්, දුප්පත්, පොහොසත්, ගිහි, පැවිදි, උපාසක, උපාසිකා යන මොවුහු විවිධ අවස්ථාවල දී විවිධ අයුරින් කාමයේ ගිලී විනාශ වෙනවා. එයින් මිදීමට නම් ධර්මය අවබෝධ කරගෙන, සසරේ බිය දකිමින් සහ කාමයෙහි ආදීනව අවබෝධ කර ගනිමින් බුද්ධිමත්ව තීරණ ගත යුතු වෙනවා.

මෙ වැනි සිදුවීම් නො ගැළපේ යැයි යමෙක් චෝදනා කළහොත්, එයට දිය යුතු පිළිතුර වන්නේ කාම ලෝකයේ ස්වභාවය එය ම වන බවයි. මජ්ක්‍ධිම නිකාය අටුවාවේ රථවිනීත සූත්‍රයේ සඳහන් වන මේ කතා පුවතින් සසරේ මිදීම හෝ නො මිදීම සිදුවන්නේ තම බුද්ධියෙන් ගන්නා තීරණ අනුව බවත්, සාර්ථක විසඳුම් ලැබීමට නම් ධර්මය ප්‍රායෝගිකව භාවිත කළ යුතු බවත් පෙන්වා දෙනවා.