Print this Article


පසිඳුරන් භාවිතයට මිස අවභාවිතයට නොවේ

පසිඳුරන් භාවිතයට මිස අවභාවිතයට නොවේ

අරමුණු, ඉලක්ක ජය ගැනීම උදෙසා උත්සාහය මෙන්ම උත්තේජනය අවශ්‍ය ය. බොහෝවිට උත්තේජනය ඇති වන්නේ ලෝභය සහ ද්වේෂය නිසා ය. මෙහිදී ලෝභය යනු එකතු කරගැනීම, ගොඩනඟාගැනීම, ජයග්‍රහණය වැනි දෑ ය.

ද්වේෂය යනු අනෙකා පරයා කටයුතු කිරීම, ඉස්මතුවීම වැනි කටයුතු ය.

ලෞකික ජීවිත තුළ මේ තත්ත්වයන් දැකිය හැකිවීම සාමාන්‍ය තත්ත්වයකි. වැඩිහිටි දෙමාපිය ගුරුවරුන් මේ තත්ත්වය මනාව තේරුම්ගෙන බාල, ළමා පරපුර දෙලොව අනාථ නොවන ලෙස මෙහෙයවීම කාලීන අවශ්‍යතාවක් ව පවතී.

ළමා හා තරුණ වයස කුතුහලය බහුල කාලයකි. මෙවන් තත්ත්වයක දී ඔවුන්ව නොමඟට යැවීම පහසුවේ. පෙර පින් ඇති යහපත් ධර්මය ජීවිතවලට එකතු කර ගත් බෝසත් දරුවන් අතර සරු දේ නිසරු ලෙස දකින දරුවන් ද නැත්තේ ම නොවේ. මෙහිදී වැඩහිටියන් වශයෙන් මහත් වගකීමෙන් කටයුතු කළ යුතු ය.

ජීවිතයක් සාර්ථකවීම සඳහා ඉලක්කයක් මෙන් ම සංයමය, වීර්ය, සතිය තිබිය යුතු ය. මෙහිදී මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ ලෝකය විඳපු සියල්ලෝ ම එම තත්ත්වය අත්පත් කර ගත්තේ සිහියෙන් හා බුද්ධියෙනි. එයින් මිදුණු කෙනකුට මේ තත්ත්වය අත්පත් කර ගත නොහැකි වේ යන්නයි.

මංගල සුබ දේ වෙනුවට අවමංගල අසුබ දේ ජීවිතවලට එක්කර ගැනීම තුළ මුළු ජීවිතයම මළගෙයක් වීම නොවැළැක්විය හැකි දෙයකි.

මව්පියන් ලෙස දරුවන්ට වඩා සමීපවීම වර්තමානයේ දී බොහෝ සෙයින් අවශ්‍ය වේ. එසේ වූ විට දරුවන් ලෙස ද නිරන්තරව කල්පනා කළ යුත්තේ තමන්ගේ හොඳම මිතුරා තම මව සහ පියා ලෙස ය.

කරණීයමෙත්ත සූත්‍රයෙහි දක්වන පරිදි ‘දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ යන ඔවදනට අනුව දර්ශනයක්, දැක්මක් ඇති කර ගැනීම මෙන්ම, මිථ්‍යා වැරැදි දැක්මෙන් ඉවත්වීම ඉතා වැදගත් වේ.

එමෙන්ම දරුවන්ගේ දුබලතා හමුවේ දී “එයාට අපලයි” වැනි ඍණාත්මක සිතිවිලි ඇතිකිරීමට කටයුතු නොකළ යුතු ය. අපල යනු ඵල නැති බවයි. ග්‍රහයන්ගේ බලපෑම් අවමකර ගැනීමට පුද්ගල ශක්තියට හැකියාව පවතී.

තමාගේ ස්වාමියා තමා මිස වෙනකෙනකු නොවේ. අවශ්‍ය වන්නේ ධෛර්යය, සංයමය, සිහිය පමණි.

පෙනෙන බලවේගයන් දහසක් තිබියදී නොපෙනෙන බලයන් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීම තරම් අඥානකමක් තවත් ඇත්තේ නැත.

අප සිදුකරන ක්‍රියා නැවත සිහිපත් කරද්දී ඇහැට කඳුළක් නොඑන ක්‍රියා විය යුතු ම ය. කිසි විටෙක මම මට ඕන පළියට ජීවත් වනවා යන ආකල්පයෙන් කටයුතු නොකළ යුතු වේ. තමා හා බැඳුණු සමාජයක් හරපද්ධතියක් සහ බලාපොරොත්තු ගොන්නක් ඇත. අපට නිදහස ඇතිමුත් එය අනෙකාගේ නිදහසට, ගෞරවයට බලාපොරොත්තුවලට හානි නොවිය යුතු ම ය.

අජාන් චා හිමියන් වරක් පැවසුවේ ගමන දුරයි හෙමින් යන්න යනුවෙනි. මෙය වර්තමාන තරුණ පරම්පරාව තේරුම් ගැනීම ඉතා අවශ්‍ය ය. අනවශ්‍ය අධික වේගය සෑම කටයුත්තකට ම බාධාවකි. ගමන යා යුත්තේ වැරැදි නිවැරැදි කොට ගෙන ය. එය සෑම අතින්ම සුබඵල ගෙනදීමට සමත් වේ.