Print this Article


සඟ සුසන එකලු කළ සංඝ සාමග්‍රිය

සඟ සුසන එකලු කළ සංඝ සාමග්‍රිය

ශාසන ඉතිහාසයෙහි දැක්වෙන කරුණු අනුව බුදුරදුන්ගේ ශ්‍රාවක භික්ෂු පිරිස පඨමාභිසම්බෝධි යුගයෙහි හෙවත් බුද්ධත්වයෙන් පසු මුල් විසි වසර තුළ සමඟි සම්පන්නව හා විනයගරුකව විසූහ.

බුදුරදුන් බැහැදැකීමට ගිය කොසොල් මහ රජු භික්ෂූන් වහන්සේගේ සමගිය පිළිබඳ කළ ප්‍රකාශයක් මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතිය සූත්‍රයෙහි දැක්වෙයි.

“මම මේ සස්නෙහි සමඟි වූ, සතුටින් වෙසෙන, විවාද නොකරන, කිරි හා දිය සේ එක් වූ, ඔවුනොවුන් පි‍්‍රයමනාප ඇසින් දකිමින් වෙසෙන භික්ෂූන් වහන්සේ දකිමි. මම මේ සස්නෙන් බැහැර මෙසේ සමගි වූ අන් පිරිසක් නොදකිමි.”

එකල විවිධ ජනපදවලින්, විවිධ කුලවලට අයත්, විවිධ ඇදහීම් ඇති පිරිස් පැවිදිබිමට පත්ව එකම භික්ෂු පිරිසක් වූයේ නොයෙක් ගංගාවන්හි ජලය මුහුදට ගලාවිත් එකම සමුද්‍රයේ ජලය බවට පත්වන්නාක් මෙනි.

මෙසේ භික්ෂූන් වහන්සේ සමඟි බවෙන් යුක්ත වුව ද බුදුරදුන් ජීවමාන සමයෙහි ම භික්ෂූන් අතර යම් යම් මතභේදාත්මක කරුණු හටගත් බව ද පැහැදිලිව ම දැකිය හැකි දෙයකි. භික්ෂූන් වහන්සේ අතර පැහැදිලි නිකාය භේදයක් පිළිබඳ තොරතුරු හමුවන්නේ දෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව වුව ද නිකාය භේදයෙහි මූල බීජ හෙවත් විවිධ ආචාර්යවාද බුදුරදුන් ධරමාන සමයෙහි දී ම දක්නට ලැබුණි. එකී මූල බීජ අනුක්‍රමයෙන් සංවර්ධනය වී විකාශයට පත්වීමට ශත වර්ෂ ගණනාවක් ගත විය. ඒ අනුව පශ්චාත් කාලීනව ආචරියවාදය බිහිවීමට බලපෑ මූලික සිද්ධාන්ත බුදුරදුන් ධරමානයෙහි දී ම රෝපණය වන්නට වූ බව පැහැදිලි ය.

පඨමාභිසම්බෝධි යුගයෙහි භික්ෂු ශික්ෂණයෙහිලා බුදුරදුන්ට එතරම් දුෂ්කරතාවනට මුහුණපෑමට සිදු නොවූ බව පෙනේ. එම යුගයෙහි භික්ෂු සංස්ථාව තුළ වූයේ ආචාර ධර්මයන්හි අනුශාසනාවක් ලැබීමට තරම් දුර්වල පිරිසක් නොවීම එයට හේතුවයි.

භික්ෂූන් වහන්සේ අතින් නොදැන සුළු සුළු වැරැදි සිදුවුව හොත් එහිලා බුදුරජාණන් වහන්සේ වරද ප්‍රමාණකොට නීතියක් නොපැන වූහ. එම වරද සිහිගන්වා ධර්මය යටතේ ම සංග්‍රහ වන අනුශාසනාවක් පමණක් ඉදිරිපත් කිරීම බුදුරදුන්ගේ සිරිත විය.

මෙම වරද අත්හළ යුතු ය. මේ මේ ශික්ෂාවන්හි පිහිටිය යුතු යැ’ යි, ශික්ෂාපද යටතේ භික්ෂු ආචාරය සීමා කිරීමට තරම් පඨමාභිසම්බෝධි යුගයෙහි බුදුරජාණන් වහන්සේ උත්සුක නොවූහ.

ස්වකීය ආචාර ශික්ෂණයෙහිලා බුද්ධ දේශිත ධර්මය ම ප්‍රමාණ කොටගත් භික්ෂූන් වහන්සේ ශීලය යටතේ ඉතා සරල වූත්, ලිහිල් වූත් ජීවන පැවැත්මක් ඇතිව වැඩ විසූහ. මේ අනුව පඨමාභිසම්බෝධි යුගයෙහි භික්ෂු ශික්ෂණය සකස් වූයේ ධර්මය යටතේ සංග්‍රහ වූ ශීලය ඇසුරෙන් බවත්, විනය යන ශීර්ෂය යටතේ පැවති ශික්ෂණයක් මෙම යුගයෙහි භික්ෂූන් වහන්සේ තුළ නොතිබුණු බවත් පැහැදිලි ලෙසම ප්‍රකාශ කළ හැකි ය.

එහෙත් ධර්මය යටතේ සංග්‍රහ වූ ශීලය ඇසුරෙන් සකස්ව පැවති භික්ෂු ජීවිතය පැවතියේ පඨමාභිසම්බෝධි යුගය තුළ පමණෙකි. එසේ වසර විස්සක් පමණ වූ කෙටි කාලයකට පසුව භික්ෂු ශික්ෂණය සඳහා ශීලය පමණක් ප්‍රමාණවත් නොවීමත්, ඒ සඳහා ශික්ෂා පද ප්‍රඥප්තියක් අවශ්‍යවීමත් ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී දැඩි අවධානයක් යොමුවිය යුතු කරුණකි.

භික්ෂු සංස්ථාවෙහි ශික්ෂා පද බහුලව පැවති යුගයක් ගැන මජ්ක්‍ධිම නිකායේ භද්දාලි සූත්‍රයෙහි සඳහන් වෙයි. එහි ශික්ෂා පද බාහුල්‍යයට මෙසේ හේතු දක්වයි. “සත්තෙසු භයමානෙසු සද්ධම්මෙ අන්තරධායමානෙ බහුතරාන් චේව සික්ඛාපදානි හොන්ති. අපරතරා ච භික්ඛු අඤ්ඤාය සණ්ඨහන්ති.” සත්ත්වයන් පිළිවෙතින් ගිලිහී ගිය කල්හි පිළිවෙත් සදහම් නැසෙන කල්හි ඉතා බොහෝ ශික්ෂා පදයෝත් වෙති.

ඉතා අල්ප වූ භික්ෂු කෙනෙකුත් රහත් පෙළෙහි පිහිටත්. මෙහි සත්ත්වයන් වශයෙන් විශේෂයෙන් ගෙන ඇත්තේ භික්ෂු පිරිස ය.

භික්ෂු සමාජය තුළ ආසවට්ඨානීය ධර්මයන් පහළවීම ශික්ෂා පද ප්‍රඥප්තියට හේතු වූ බව පාරාජික පාළියෙහි දැක්වෙයි.

ඒ මෙසේ ය.

සංඝො රත්තඤ්ඤුමහත්තං පත්තො හොති

භික්ෂු සමාජය යම්තාක් චිරරාත්‍රඥයන්ගෙන් (පැවිදිව බොහෝ කල් ඉක්මගිය අය) රහත් බවට පැමිණීම

සංඝො වෙපුල්ලමහත්තං පත්තො හොති

භික්ෂු සමාජය ස්ථවිර, මධ්‍යම හා නවක වශයෙන් විපුලත්වයට හෙවත් මහත් බවට පැමිණීම.

සංඝො ලාභග්ගමහත්තං පත්තො හොති

භික්ෂු සමාජය ලාභයෙන් මහත් බවට පැමිණීම.

සංඝො බාහුසච්චමහත්තං පත්තො හොති භික්ෂු සමාජය බහුශ්‍රැතියෙන් (බොහෝ උගත් බවින්) මහත් බවට පැමිණීම.

භික්ෂු සමාජයේ විපුලත්වය අනුව සසුන් බඹසර හැසිරීමෙන් පිටස්තර ක්‍රියාවන්ට නැඹුරු වූ භික්ෂූන් වහන්සේ ඇති වූහ. මෙම පසුබිම තුළ සමාජ අවශ්‍යතා මත පිහිටා විනය නීති පැනවිණි. භික්ෂු සමාජය තුළ පමණක් නොව, කවර සමාජ සංවිධානයක වුව ද පූර්වෝක්ත කරුණු හට ගැනීම පොදු ලක්ෂණයක් සේ දැකිය හැකි ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඒ ඒ භික්ෂු සංස්ථා අතර මතභේද උද්ගතවීමට පෙර බුද්ධකාලීනව ම භික්ෂූන් වහන්සේ අතර විවිධ මතභේද ඇති වූ බව ත්‍රිපිටක සාහිත්‍ය විමසීමේ දී පැහැදිලිව ම දත හැකි ය.

දේවදත්ත, සාතිය, ජබ්බග්ගීය, සත්තරස, වග්ගීය ආදී භික්ෂූන් ගේ ක්‍රියා කලාපයන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මෙය වටහා ගැන්ම ඉතා පහසු ය.

මුල් වකවානුවෙහි අගාරික ජීවිතය කෙරෙහි කළකිරී අනගාරික ජීවිතයට ඇතුළත් වූ, ප්‍රඥාවෙන් මුහුකුරා ගිය පුද්ගලයන් විමුක්ති සාධනයෙහි උත්සුක වූ අතර, පසුකල පැවිදි වූ ඡබ්බග්ගීය වැන්නෝ විමුක්ති සාධනයෙහි උත්සුක නොවූහ. ඔවුන්ගේ නොමනා හැසිරීම් රටාව පිළිබඳ විස්තරයක් චුල්ලවග්ග පාළිය තුළ මෙසේ විස්තර වෙයි.

සමයෙහි වනාහි ඡබ්බග්ගීය භික්ෂූහු මුතු වැල් ආදී කර්ණාභරණ දරත්, එල්ලෙන නූල් පළඳිත්. ගෙල පළඳනා දරත්. ඉඟ පළඳනා දරත්. වළලු දරත්. හස්තාභාරණ දරත්, ඇඟිලි මුදු දරත්, දික් කෙනෙ දරත්. පණයෙන් කෙස් පීරත්, ඉටි තෙලෙන් කෙස් මටසිලුටු කොට තබත්. දිය මුසු තෙලින් කෙස් මටසිලිටි කෙරෙත්. කැඩපතෙහි ද, දිය බඳුනෙහි ද මුහුණෙහි සටහන් බලත්. මුහුණ ආලිප්ත කෙරෙත්. මුහුණෙහි දියමුසු පිටි බලත්, ඇඟ පැහැ ගන්වත්. මුහුණ වත්සුණුයෙන් තවරත්, තිලක තැබීම් ආදී වශයෙන් මුහුණ ලකුණු කෙරෙත්. නැටුම් ද, ගැයුම් ද, වැයුම් ද දක්නා පිණිස යත්. දික් වූ ගී හඬින් දහම් ගයත්. ලොම් පිටතට ඇති පොරෝනාවන් දරත්.

බුද්ධ කාලය තුළ ම විෂමාචාර ඇති භික්ෂූන් සිටි බවට ඉහත විස්තරය උදාහරණයකි. පශ්චාත් කාලීනව විවිධ ආචාර්යවාද බිහි වූයේ එහි මූල බීජ අනුක්‍රමයෙන් සංවර්ධනයට පත්වීමෙන් බව නිගමනය කළ හැකි ය.