Print this Article


පිරුවානා පොත් වහන්සේ සාමණේර බණ දහම් පොතට ආදේශනයක් ද ?

පිරුවානා පොත් වහන්සේ සාමණේර බණ දහම් පොතට ආදේශනයක් ද ?

අප භාවිත කරන පිරුවානා පොත් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සූත්‍ර විසි හතරකින් හා බණවාර හතරකින් සමන්විත වූවකි. එනිසා එය මුල් යුගයේ හඳුන්වනු ලැබුවේ චතුබණවර පාලිය යන නමිනි.

එහෙත් එහි ඇති ඇතැම් කරුණු අනුව මුල් යුගයේ සාමණේර බණදහම් පොතක් ලෙස ද පිරුවානා පොත් වහන්සේ භාවිත වන්නට ඇතැයි විද්වත් මතයයි.

සාමණේරවරුන් ලෙස හඳුන්වන්නේ සංඝ සමාජයට ඇතුළුවනු පිණිස පැවිදි වූ එහෙත් උපසපන් නොවූ පිරිස ය. මෙකී සාමණේර හිමිවරු පිරුවනා පොත් වහන්සේ සම්පූර්ණයෙන් ම පාඩම් නොකළ හැකි නම් පැවිදි නොකරන ලෙස පැරැණි කතිකාවත් හි නියමයක් ද මුල්කාලයේ දී විය.

එය තවදුරටත් සනාථ කරන සාධකයක් වන්නේ චතුබණවාරපාලිය සසුන්වත් කුල දරුවනට වන පොත් කිරීම සඳහා ඇති පොතක් බව සතරබණවර පාලි අටුවාවේ හා සෙල් ලිපිවල සඳහන් වීමයි.

චතුබණවර පාලියේ මුලින් සඳහන් වන සරණාගමන, දස සික්‍ඛාපද, සාමණේර පඤ්හ, ද්වත්නිංසාකාරය, පච්චවෙක්ඛණ හා දසධම්ම සූත්‍රය සසුන්වත් තෙරණුන් විසින් සාමණේර බණ දහම් පොතක් ලෙසට පරිහරණය කරන්නට ඇති බවට සාධක වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කෙසග සිට යටිපතුල දක්වා ඇති නන් අයුරින් අසුචියෙන් පිරි කුණුප කොටස් 32 කින් අප ශරීරය නිර්මාණය වී ඇත. එම ඉන්‍ද්‍රියන් සාමණේරවරුන් වහන්සේලා පිළිකුල් භාවනාව සඳහා යොදා ගත යුතු යැයි බුද්ධ නියමයකි.

එසේම පිරිවානා පොත් වහන්සේ තුළ දැක්වෙන දසසිල්, සාමණේර හිමි නමක් සමාදන් විය යුතු ශික්‍ෂා පද ලෙස භාවිත වනු ඇත. පිරිවානා පොත් වහන්සේ තුළ දැක්වෙන සාමණේර පඤ්හ යනු සාමණේර භික්‍ෂුවක් විසින් ප්‍රශ්න 10 කට ලබා දුන් ධර්මානුකූල පිළිතුරු ය. එයම උන්වහන්සේට උපසම්පදාව ලැබීමට හේතු වෙති.

බුදු දහමේ සඳහන් සංඛ්‍යාත්මක ධර්මයක් වන එය “ඒක නාම කිං?” ” එක නම් කිම?” “ද්වේ නාම කිං?” “දෙක නම් කිම” ආදි ලෙසට පිළිවෙළින් අසන ලද ප්‍රශ්න දහයකට දෙන පිළිතුරු ය. ඒවා පිරුවානා පොත් වහන්සේ තුළ අන්තර්ගත වන්නේ, එක නම් සියලු සතුන් ආහාරය නිසා ජීවත්වෙයි,

දෙක නම් නාම, රූප ධර්මතා යි,

තුන නම් සුඛ, දුක්‍ඛ, අදුක්‍ඛමසුඛ යන වේදනාවෝ ය,

හතර නම් චතුරාර්ය සත්‍යය යි,

පහ නම් උපාදානස්කන්ධ පහ යි,

හය නම් ආධ්‍යාත්මික ආයතන හය යි,

සත නම් සප්ත බොජ්ඣංග ධර්මයෝ ය,

අට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි,

නවය නම් සත්තා වාස නමය යි.

දහය නම් රහතන් වහන්සේ සතු අංග 10 යි.

මේ සියල්ල සාමණේර හිමිවරුන් ප්‍රගුණ කළ යුතු යැයි සඳහන් වන ධර්ම කාරණා ය.

ගිහියා හා පැවිද්දා ඔවුනොවුන්ට වෙනස් වූ ආකල්පවලින් යුතු ජීවිත ගත කළ යුතු ය. ගිහිගෙය හැර සාමණේර කෙනකු වශයෙන් පැවිදි වන ප්‍රව්‍රජ්ජාපේක්‍ෂකයාට මුලින්ම සිවුරු කට්ටලය ලබා දී එහි ඇති සිවුරු පටිය ගෙල වට පළඳවමින් උපාධ්‍යායන් වහන්සේ චීවරය පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂාව කියවති.

එකී ප්‍රත්‍යවේක්‍ෂාව පච්චවෙක්ඛණ යටතේ පිරිවාණා පොත් වහන්සේ තුළ අන්තර්ගතව ඇත. “පටිසංඛා සොනිසො චීවරං පටිසේවාමි” ආදි ලෙසට හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි - මඳුරු - සුළඟ - අව්ව හා සර්පයන්ගේ ස්පර්ශය නැති කිරීම පිණිසත්, විලි වසා ගැනීම පිණිස, පමණක් සිවුරු පරිහණය කෙරේ ය යනු එහි අදහසයි.

මේ අනුව භික්‍ෂුවක් ප්‍රගුණ කළයුතු අල්පේච්ඡතාව එයින් මනාව පැහැදිලි වේ.

මෙලෙස පැවිදි භාවයට පත්වන ප්‍රව්‍රජ්ජාපේක්‍ෂකයාට සාමණේර බණදහම් පොතෙහි සඳහන් වන දෙතිස් කුණුප කොටස් තිස්දෙක ද, පිරිවානා පොත් වහන්සේ තුළ අන්තර්ගතව ඇත.

පිළිකුල් භාවනාව සඳහා මෙම ශරීරාංග යොදා ගැනුණත් දෙතිස් කුණුප කොටස් අතරින් “කෙසා, ලොමා, නඛා, දන්තා, තචෝ, නචො, දන්තා, නඛා, ලොමා, කෙසා යනුවෙන් තච පඤ්චකය නම් වූ ඉහත කොටස් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උපාධ්‍යායන් වහන්සේ උතුම් පැවිදි බව ලබන අවස්ථාවේ දී පැවිදි බව ලබන්නාගේ බද්ධාංජලය අල්වගෙන කියවති, එසේ කියවීමෙන් පසුව පිරිවානා පොත් වහන්සේ තුළ සඳහන් වන සරණාගමණය නම් වූ බුද්ධං සරණං ගච්ඡාමි ලෙසින් උපාධ්‍යායන් වහන්සේ සම්පූර්ණයෙන් ම සරණාගමන වාක්‍යය කියවා සාමණේර දස ශීලයෙහි පිහිටුවනු ලැබේ.

සාමණේර භාවයට පත්වුණු සාමණේරයන් වහන්සේ දිවිහිමියෙන් නිතර සිහිපත් කළ යුතු ප්‍රත්‍යයන් එනම් ආහාර, ඇඳුම් පැළඳුම්, සේනාසන, බෙහෙත් ද්‍රව්‍ය හෙවත් ගිලන්පස උන්වහන්සේලාගේ මූලික අවශ්‍යතාවලට පමණක් භාවිත කරති.

චතුබණවරපාලියෙහි හෙවත් පිරිවානා පොත් වහන්සේ තුළ ඇතුළත් පළමුවන බණවර හි පළමු

සූත්‍රය වන දසධම්ම සූත්‍රයේ ද අන්තර්ගත වන්නේ පැවිද්දකු විසින් නිතර සිහිපත් කළ යුතු ධර්ම දහයකි.

ගිහියාට වඩා පැවිද්දා තුළ ඇති ආකල්පමය වෙනසන්, නුවණැත්තන් විසින් ගර්හා කරනු ලබන ඉතා කුඩා වරදක්වත් නොකළ යුතු බවත්, සියලු ප්‍රියමනාප දේවලින් කවදා නමුත් තමන්ට වෙන්වන්නට සිදුවන බවත් ආදී වූ කරුණු දහයක් සිහිය තබාගෙන කටයුතු කළ යුතු ය යන්න මෙහි අන්තර්ගත යයි.

මෙලෙස ඉහත දක්වන ලද තිසරණය, දසසිල්, ප්‍රත්‍යවේක්‍ෂා, ආදියත් දසධම්ම සූත්‍රයෙන් දැක්වෙන භික්‍ෂුවක විසින් නිතර සිහි කළ යුතු කරුණු දහය ආදී කොටස් සලකා බලා ඇතැම් විද්වතුන් ප්‍රකාශ කරන්නේ ආරම්භක යුගයේ මෙම පිරුවාණා පොත් වහන්සේ සාමණේර භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස රචනා කරන්නට ඇති බවයි. වර්තමානයේ ඒ සඳහා භාවිත වන සාමණේර දහම් පොත නොතිබුනු බැවින් මෙය භාවිතයට ගන්නට ඇත. “සාමනේර බණ පොත” රචනා වීමෙන් පසුව මෙය පිරිත් දේශනා සඳහා යොදා ගන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.