Print this Article


සැහැල්ලු ජීවිතයක සැබෑ ස්වරූපය බාහිරින් මනින්න එපා

සැහැල්ලු ජීවිතයක සැබෑ ස්වරූපය බාහිරින් මනින්න එපා

බුදුපියාණන් වහන්සේ සල්ලහුකවුත්ති යන සංකල්පයෙන් අපට පෙන්වා දී ඇත්තේ සැහැල්ලු දිවි පැවැත්ම යි. මේ කරුණත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගේ සාර්ථක භික්ෂු ජිවිතයේ ඵල නෙළා ගැනීම අරමුණ කොට දේශනා කර තිබෙන අර්ථයක්.

ගිහිගෙයි සියලු බන්ධනවලින් ඇලීම්, බැඳීම්වලින් වෙන්ව, විවෙකී ජිවිතයක් අරමුණු කොට වඩාත් පහසුවෙන් ඉක්මනින් නිවන් මඟ සාදා ගැනිම අරමුණු කොට කටයුතු කරන භික්ෂුව හැම විටම සැහැල්ලු, චාම් සරල දිවි පැවත්මක් ඇත්තකු බවට පත් විය යුතු වෙනවා.

ඉතින් ගේ දොර හෝ, තමන් සතුව හෝ තමන්ට පරපුරෙන් අයත් වන්නට තිබුණු හෝ හැම දෙයක්ම අත්හැර පැමිණි භික්ෂුව නැවත ඊට වඩා වැඩි දෙයක් එසේත් නැත්නම් යාන වාහන, ඇඳපුටු, ගෘහභාණ්ඩ, වෙනත් විසිතුරු මන පිනවන, කන් පිනවන, ඇස පිනවන නොයෙක් නොයෙක් උපභෝග පරිභෝග වස්තුන් කෙරේ හඹා යන චරියක් ඇත්තකු බවට පත් නො වීමේ වැදගත්කමයි මේ කරුණින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ.

තවදුරටත් පැහැදිලි කරනවා නම්, එයින් ප්‍රකාශ වන්නේ බහුභාණ්ඩික විය යුතු නොවන බවයි. එසේ තමන්ට ලැබෙන දෙය හෝ ලැබුණ දෙය පිළිබඳ සුභර වන තත්වයෙන් ජිවිතය පවත්වා ගෙන යනවා වගේ ම වැඩි වැඩියෙන් තමන්ට යම් යම් දේ දායක පක්ෂයෙන් ලැබුණත් ඒවා කෙරෙහි ගිජු බවක් දක්වා වැඩි වැඩියෙන් එයට රුචි වෙමින් කල් ගෙවන්නේ නම්, එයින් තමන් වහන්සේ බොහෝ භාණ්ඩ රැස්කරගත් අයකු බවට පත් වී ඇති බවයි පෙනෙන්නේ.

එතකොට භික්ෂුව වෙතින් තමන් කරන්නට අරමුණු කර ගත් මඟ ඉබේ ම තම සන්තානයෙන් ගිලිහී යන තත්වයක් ඇති වෙනවා . එපමණක් නොව කහවස්ත්‍ර පොරවා ගත් සිවුරු දරන්නකු පමණක් බවට පත්වෙනවා. එය භික්ෂු ජීවිතය නොවන බවයි බුදුරජාණන් වහන්සේ මෙම අර්ථයෙන් පෙන්වා දෙන්නේ.

ඒ මොකද භික්ෂුවට තිබෙන එකම බර තමන්ගේ ශරීරකූඩුව පමණ යි. කුරුල්ලාට තිබෙන පියාපත් බර වැනි සුළු බරක් පමණයි. ඉතින් එවැනි භික්ෂුව හරිම සැහැල්ලුවෙන් තමයි කල් ගෙවන්නේ.

උන්වහන්සේ සිව්පසය පරිභෝග කරන්නේ සුඛෝපභෝගි දිවි පැවත්මක් අරමුණු කරගෙන නොවෙයි. උන්වහන්සේ බඩු පොදි ගහගෙන යන ජිවිතයක් ගත කරන්නේ නැහැ.

එහෙත් යම් පමණකට කාලයේ ගෙවීයාමත් සමඟ භික්ෂු ජිවිතය මේ සැහැල්ලු බවෙන් තොර වී ඇති සෙයක් පෙනෙනවා. ඇත්තෙන් ම භවභෝග සම්පත් එක්රැස් වූ විට ඒකාන්තයෙන් ම එසේ සැහැල්ලු බව ගිලිහෙන බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. බාහිර ආටෝප සහිත ජීවිතයට, විවිධ විලාසිතාවන්ට ඇබ්බැහි වීම මේ සැහැල්ලු බව දුරුවිමට හේතු වෙනවා. මේ නිසාම ආධ්‍යාත්මික ගුණවගාවෙන් ද පිරිහෙනවා. මොකද තම චිත්තසන්තානයේ නිරන්තරයෙන් රාගාදි කෙලෙස් බහුල වීම නිසයි. මේ අභ්‍යන්තර තත්වය පිරිහී ගියහම වන්නේ බාහිර වශයෙන් අමුතුම ආකාරයෙන් ආටෝප සහිත, නැති ගුණ මෙන්ම, නැති සිල් පෙනෙන ආකාරයෙන් බොහෝ පිරිස් පිරිවරාගෙන සමාජය ඉදිරියේ අමුතුම විලාසිතාවක් ඉදිරිපත් කර ගෙන, අනිත් අය මුළාවන තත්වයෙන් කටයුතු කර තමන් අන් අයට වඩා ශීලාදී ගුණ දහමෙන් පෝෂණය වී ඇති තත්වයක් සමාජය ඉදිරියේ දිගහැර පාමින් කටයුතු කිරිම යි.

බුදුරජාණන් වහන්සේ මේ බව වරක් කොසොල් මහ රජතුමාට පැහැදිලි කර දුන් බවක් සූත්‍ර පිටකයේ එන සත්තජටිල සූත්‍රයෙන් ප්‍රකට වෙනවා.

එනම්, දිනක් අපේ බුදුරජාණන් වහන්සේ හමුවීමට කොසොල් මහ රජතුමා සිරිත් පරිදි දෙව්රම් වෙහෙරට පැමිණ සතුටුසාමිචි කථාබහක යෙදී සිටියා ඒ අවස්ථාවේ ඒ අසලින් වැටි තිබුණ මාර්ගයේ සත්තජටිලයන් මහපිරිස් පිරිවරාගෙන ගමන් කරමින් සිටියා. එක්වරම රජතුමා එම මහපිරිස් පිරිවරා යන සත්තජටිලයන් දැක බුදුරජාණන් වහන්සේගෙන් වහා ඉවත් වී අර මහමඟ යන පිරිස් පිරිවරාගත් සත්තජටිලයන් ඉදිරියට ගොස් දෙපාමුල වැඳ වැටී තමන් පසේනදි කොසොල් රජු බව පවසමින් මහත් ගරුබුහුමන් දක්වමින් කියා සිටියා.

මේ පිරිස් එතැනින් නික්මුණු පසු නැවතත් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ තමන් ඒ ගරුබුහුමන් කළේ බොහොම සිල්වත්, ගුණවත්, කෙලෙස් නැසූ පිරිසකට බව පවසමින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටියා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජතුමා අමතා ප්‍රකාශ කර සිටියේ බාහිර පෙනුමෙන්, සැරසුමෙන් කෙනකුගේ ආධ්‍යාත්මය කිරා මැන බැලීමට නොහැකි බවත්, ආධ්‍යාත්මයෙන් අපිරිසුදු බොහෝ පිරිස් තමන්ගේ නැති සීලාදි ගුණ පෙන්වීමට මේ ආකාරයෙන් තමන්ගේ පරිවාර සම්පත්තිය ද පෙන්වමින් ක්‍රියා කරන බවයි.

ඇත්තෙන් ම මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ මේ ආධ්‍යාත්මික වශයෙන් සැහැල්ලු ජිවන ප්‍රතිපදාවක සැබෑ තත්වය මේ ආකාරයෙන් බාහිර කරුණු මත තේරුම් ගැනීමට අපොහොසත් බව වගේම, යම් යම් අයගේ සැහැල්ලු ජීවන ප්‍රතිපදාවේ තරම දැක්ක දුටුව තරමින් මැනීම, ඇගයිම නොකළ යුතු බවයි.

ඉතින් මේ භික්ෂු ජිවිතයට අදාළ වන මේ සැහැල්ලු ජිවන පැවැත්ම ගිහිජීවිත ගතකරන උදවියට ද සැබවින්ම අදාළ වන කරුණක්. සැහැල්ලුවෙන් කල් ගෙවන ගිහි ජනතාවට කිසිදු බරක් දැනෙන්නේ නැහැ.

අද රූපවාහිණි හා වෙනත් ජනමාධ්‍ය තුළින් මේ මිනිස් සිත ඇද බැඳගෙන එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් ජනතාවගේ ආකර්ෂණය ලබා ගන්නට මොනතරම් උත්සාහවත් වෙනවා ද කියන එක රහසක් නොවේ. එදාවේල බොහොම අපහසුවෙන් වුණත් සපයා ගන්නා ජිවිතයක් ගත කළත් ණයතුරුස් වී හෝ මේ ආකර්ෂණය කර ගන්නා විලාසිතා විවිධ ආකාරයෙන් ඉදිරිපත්වන විට එවැනි බඩුමුට්ටු එක්රැස් කර ගැනීමට වෙර දරන පිරිස් නම් කොපමණ ඉන්නවාද කියන එක අමුතු කරුණක් නොවෙයි. අපි එක නිදසුනක් වශයෙන් ගත්තොත් අප භාවිත කරන ජංගම දුරකථනය දැන් බැලුවොත් සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහනය ලක්ෂ 220 ක් පමණ වුවත් දුරකථන භාවිතය ලක්ෂ 350 ඉක්මවා තිබෙන බවයි සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ.

ඒ විතරක් නොවේ වෙළඳපොළට අලුුතෙන් මාධ්‍ය මඟින් හඳුන්වා දෙන විවිධ මාදිලියේ දුරකථන මිල දී ගැනීමටත් නොකා නොබී හරිහරියට උනන්දු වෙනවා. මේ තත්වය ඇඳුම් පැළඳුම්, පාවහන්’ විශේෂයෙන් සුවඳ විලවුන්’, රුපවාහිනී යන්ත්‍ර ආදි විවිධ අංශ කෙරෙහි තදින් බලපානවා. ඉතින් මේ සැහැල්ලු දිවි පැවැත්මට අවශ්‍ය දේ ද? නැහැ. අද තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයේ ජිවිතය පහසු කරන අත්‍යවශ්‍ය උපකරණ තිබෙනවා. ඒ ගැන නොවේ මේ පවසන්නේ.

සැහැල්ලු දිවි පැවැත්මට අවශ්‍ය මූලික කරුණු හැටියට බදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් අංග හතරමයි ගිහි ජනතාවටත් අදාළ වන්නේ. ඒවා ජීිවත්වීමේ මූලික අවශ්‍යතාවන්. එනම් ඇඳුම් පැළඳුම්(චිවර) ආහාර(පිණ්ඩපාත) වාසස්ථානය(සේනාසන) බේත්හේත්(ගිලානප්‍රතයය) යන හතර. ඉතින් මේ කරුණු හතර ගිහි ජිවිතයට ගළපා පිරිමසාගන්න ආකාරයෙන් සැහැල්ලු වීම තමා වැදගත් වන්නේ.