Print this Article


දුරුතු පෝය

දුරුතු පෝය

බුදුරජාණන් වහන්සේ පළමු වරට ලංකාවට වැඩමවූයේ දුරුතු පුන් පෝ දිනයක දී ය. ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතනයෙහි පළමුවන වස් කාලය ගත කළ බුදුපියාණෝ අනතුරුව රජගහනුවර බලා ගමන ආරම්භ කළහ. අතරමඟ උරුවෙල් දනව්වෙහි වාසය කළ උරුවෙල් කස්සප, නදී කස්සප හා ගයා කස්සප යන ප්‍රධාන ජටිලයන් තිදෙනා ඇතුළු ඔවුන්ගේ දහසක් බැගින් වූ පිරිස හික්මවා ධර්මාවබෝධය ලබා ගැනීමට මඟ සැලසූහ. අනතුරුව උන්වහන්සේ ලක්දිව මහියංගනයෙහි පිහිටි රමණීය උයන වෙත වැඩම කළහ.

මහියංගන ප්‍රදේශයේ විසූ යක්ෂ ගෝත්‍රිකයන් මුලදී උන්වහන්සේගේ වැඩමවීම පිළිබඳ විරුද්ධත්වය දැක්වූ නමුත් දහම් දෙසීමෙන් ඔවුන්ගේ සිත් දමනය කොට උපශාන්ත ස්වභාවයට පත් කිරීමට බුදුරදුන්ට හැකි විය. එදින බණ ඇසූ සමන්ගිරට අධිපති සුමන සමන් දෙවියෝ පැහැද සෝවාන් භාවයට පත්ව වැඳුම් පිදුම් කිරීම සඳහා යමක් දෙන මෙන්. උන්වහන්සේගෙන් ඇයැද සිටියහ. මේ අවස්ථාවෙහි සිය සිරස පිරිමැද ලබා දුන් කේශ ධාතු රන් කරඬුවකින් පිළිගත් සමන් දෙවියෝ බුදුරදුන් වැඩ සිටි ස්ථානයෙහි එම ධාතුන් වහන්සේ තැන්පත් කොට නිල් මාණික්‍යයක් මත සත්රියන් උසැති දාගැබක් කරවූහ. ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ මහියංගන දාගැබ යි. එය දෙවියකු විසින් ඉදිකර තිබීම විශේෂ සිදුවීමකි.