Print this Article


දෙව්ලොවට මඟ පෙන්වූ කුසල් සිත

දෙව්ලොවට මඟ පෙන්වූ කුසල් සිත

පෙර ලංකාද්වීපයේ මධුඅංගණ නමින් ගමක් තිබුණා. ගිරි විහාරය නම් වනගත ආරාමයක් ද පිහිටා තිබුණේ මේ සමීපයේ. පිණ්ඩපාතයෙන් පමණක් යැපෙන භික්ෂූන් වහන්සේ නමක් ඒ ආරාමයේ වැඩ සිටියා. ගම්වැසියන් වගේම සෙසු භික්ෂූන් වහන්සේත් උන්වහන්සේ හඳුනා ගත්තේ ‘චුල්ල පිණ්ඩපාතිය තිස්ස තෙරුන් වහන්සේ’ කියලා.

එක් වේලක් පමණයි උන්වහන්සේ වැළඳුවේ. එයත් පිණ්ඩපාතයෙන් ම තමයි ලබා ගත්තේ. පිණ්ඩපාතිය තිස්ස හිමි කියූ නම හැදෙන්න හේතුව එයයි.

උන්වහන්සේ හැමදාම උදෙන්ම පිණ්ඩපාතයේ වැඩම කරනවා. මෙ සමයේ මධුඅංගණ ගමේ ජීවත් වුණා දෙමළ දොරටුපාල කියලා තරුණයෙක්. ඔහු විවාහ වෙලයි හිටියේ. හැබැයි දරුවෝ හිටියේ නෑ. ඔහු රැකියාව වශයෙන් කළේ මාළු මරණ එක. හැමදාම උදෙන් ම අවධිවෙනවා. බිරිඳ හදා දෙන කෑම එකත්, බිලීපිත්තකුත් අරගෙන යනවා වැවට. තෙරුන් වහන්සේත් වැඩම කරන්නේ මේ වේලාවට ම තමයි.

උන්වහන්සේ දිනපතාම දෙමළ දොරටු පාලයාගේ මේ කි‍්‍රයාව දකිනවා. මෙහෙම අවුරුදු පනහක්ම ගෙවී යනවා. තෙරුන් වහන්සේත් දැන් බොහොම වයසට ගිහින්. තරුණයාත් වයසට ගිහින්. දින ගණනාවක් ම පිණ්ඩපාතයේ වැඩම කළත් දෙමළ දොරටුපාලක දකින්න ලැබුණේ නෑ. තිස්ස තෙරුන් වහන්සේට හිතුණා ධීවරයාට මොනව වුණාදැයි හොයා බලා දුකකට පත්වෙලා නම් පිහිට වෙන්න ඕන කියලා.

දවසක් පිණ්ඩපාතයේ වැඩම කළ අවස්ථාවේ දෙමළ දොරටු පාලයාගේ නිවසටත් ගොඩ වුණා. බිරිඳ තෙරුන් වහන්සේට ආසන පැනෙව්වා. වහාම ගෙතුළට ගිහින් ඇඳෙහි වැතිර සිටින සැමියා අමතා

‘ස්වාමිනි, ගිරිවිහාරවාසී පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ වැඩම කර ඉන්නවා, සුවදුක් විමසා යන්න. ඔබව දකින්න මෙ තැනට වඩින්න කියන්නද? කුමක්ද මම කළ යුත්තේ?’යි විමසා සිටියා. “තෙරුන් වහන්සේ පුරා වසර පනහක් මට හැමදාම උදේ ම මුණ ගැසුණා. මම බත් හරලුවක්වත් දන් දුන්නේ නෑ. එහෙම කළ මා බලන්න උන්වහන්සේ අද වැඩම කර තියනවා. මම උන්වහන්සේට කළ උපකාරයක් නෑ. මගේ මොන ගුණයක් නිසාද උන්වහන්සේ වැඩම කළේ? මට උන්වහන්සේගේ මුහුණ දකින්න බෑ. ඒ නිසා උන්වහන්සේට කියන්න විහාරයට වඩින්න කියලා”යි බිරිඳ අමතා පිළිවදන් දුන්නා. ඇයත් සැමියාගේ උපදෙස් අනුව නිවසේ ඉදිරියට ගොස් තෙරුන් වහන්සේට වන්දනා කර ‘ස්වාමිනි, දොරටුපාල ඔබ වහන්සේ දකින්න අකමැතියි කියනවා. විහාරයට වැඩම කරන්න කියලා කියනවා”යි පවසා සිටියා. තෙරුන් වහන්සේත් එය පිළිගත්තා. විහාරයට වැඩම කරන්න පාත්‍රය අරගෙන නිවසෙන් පිටත් වී යන්නට සූදානම් වෙමින් නැවතත් මෙහෙම ඇහුවා.

‘පින්වතිය, දොරටුපාලට ඇඳෙන් නැගිටින්න පුළුවන්ද? කාය ශක්තිය හොඳින් තියෙනවාද? කෑම බීම ගන්න පුළුවන්ද?’යි විමසා සිටියා. බිරිඳත් තෙරුන් වහන්සේට පිළිතුරු දෙමින් තම සැමියාගේ කායික දුබල බවත්, අවසන් සමය ගත කරන බවත් දන්වා සිටියා. තෙරුන් වහන්සේට මහත් වූ අනුකම්පාවක් ඇති වුණා. ‘දොරටුපාල අකැමැති වුණත් මම ඔහුට පිහිට වෙන්න ඕනි’ යි හිතලා ඇතුළු ගෙට ගිහින් ඇඳ සමීපයේ ආසනයක වැඩ සිට ‘දොරටුපාල, දැන් ඔබට කොහොමද? මම ඔබට පිහිට වෙන්නයි වැඩියේ. සිහි උපදවා ගෙන පන්සිල් ගන්න’යි පවසා පළමුව සරණා ගමනය සමාදන් කරවන්න පටන් ගත්තා. සිහියෙන් එය සමාදන් වුණා. පළමු ශික්ෂා පදය දේශනා කරනවාත් සමග ඔහු මරණයට පත් වුණා. තෙරුන්වහන්සේ ‘මෙයත් සෑහේ’යි පවසා විහාරයට වැඩම කළා.

දොරටුපාල මිය ගිය සැනින් චාතුම්මහාරාජිකය නම් දෙව්ලොව උපන්නා. බොහෝ දිව්‍ය සම්පත් විඳින්න භාග්‍ය උදා වුණා. පෙර කුමන පිනක් නිසා මට මෙ තරම් දිව්‍ය සම්පත් ලැබුණේ දැයි දිවැසින් විමසා බලන විට දැක්කා ගිරිවිහාරවාසී චුල්ල පිණ්ඩපාතියතිස්ස තෙරුන් වහන්සේගේ කරුණා ගුණය නිසා තමාට අවසන් මොහොතේ දී කුසල් සිත් උපදවා ගැනීමට හැකි වුණ බව. තෙරුන් වහන්සේ මුණ ගැසී නමස්කාර කර එන්න ඕනෑ යැයි හිතා එවෙලෙම මනුෂ්‍ය ලොවට පැමිණ ගිරිවිහාරයේ තිස්ස තෙරුන් වහන්සේ සක්මන් කරන මළුව කෙළවර පෙනී සිටියා.

‘ඔබ කවුද? කුමක් පිණිස මෙහි පැමිණියේද?’යි නාදුනන පුද්ගලයා දැක තෙරුන් වහන්සේ විමසා සිටියා. ඒ අවස්ථාවේ දිව්‍ය පුත්‍රයා සියලු පුවත් දන්වා ‘ස්වාමිනි, ඒ අවස්ථාවේ දී මට පන්සිල් සමාදන්වීමට හැකියාව ලැබුණා නම් ලැබූ

දිව්‍ය සම්පත්වලට වඩා ඉහළ සම්පත් ලැබීමට භාග්‍ය උදා වෙනවා’යි පවසා සිටියා. ඒ අසා සිටි තෙරුන් වහන්සේ ‘දරුව, එයට මම කුමක් කරන්නද? නුඹට ගැනීමට නො හැකි වුණා’යි පවසා සිටියා. දිව්‍ය පුත්‍රයා තෙරුන් වහන්සේට වන්දනා කර නැවතත් දෙව් ලොවට ගියා. තෙරුන් වහන්සේ බොහෝ කුසල් වැඩීම් කළා.

මේ කතා පුවත අංගුත්තර නිකාය අට්ඨකතාවේ තික නිපාතයේ දේව දූත වර්ගයේ සඳහන් වෙන්නේ.

මෙයින් අපට උගන්වන්නේ ධර්මය එක් පදයක් හෝ අසන්නට ලැබෙනවා නම් එයම පරලොව සේ ම මෙලොවත් බොහෝ සැප සම්පත් ලැබීමට හේතු වන බවයි. තෙරුන් වහන්සේගේ කරුණාව වැනි කරුණාවක් හැම හිතක ම පහළ වෙනවා නම් කොතරම් දුගතියකට පත්ව සිටියත් එයින් අත මිදීමට එම උදව් හේතු වන බව පෙන්වා දෙනවා. බෞද්ධයින් මේ ගුණ පුදුරු පුහුණු කර ගැනීම දෙලොව සැප පිණිස ම හේතුවන බව වැඩි දුරටත් මේ කතා පුවතින් පවසනවා.