Print this Article


වැඩ ගොඩගැසෙන තරමට වැඩිවන්නේ අසහනයයි

වැඩ ගොඩගැසෙන තරමට වැඩිවන්නේ අසහනයයි

අපේ බුදුරජාණන් වහන්සේ ගිහිපැවිදි කවරකු ගැන වුවත් වැඩි වැඩ නැති සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීමේ අගය, වටිනාකම හැමවිටම අගය කොට පෙන්වා දුන්නා.

අද අපේ දහම් මාතෘකාව බවට පත් වන්නේ අප්පකිච්චො යන කරණීයමෙත්ත සූත්‍රයේ එන තවත් වැදගත් චරිතාංගයක් ගැන යි. නිවන්මඟ පසක් කර ගැනුමට උත්සාහවත් වන ගිහි පැවිදි කාට වුවත් මේ චරිතාංගය දියුණු කර ගැනීම අතිශයින් වැදගත් සසර බැමි ලිහා ගන්නට යි.

අප්පකිච්චො යන වචනයෙන් පෙන්වා දී ඇත්තේ ජීවන ගමන පවත්වා ගෙන යාමේ දී සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට ඇති ප්‍රධාන බාධාවක් දුරු කර ගැනීමට අවශ්‍ය වන වැඩ අඩු කර ගැනීමේ අවශ්‍යතාව යි.

එනම් වැඩි වැඩියෙන් විවිධ අරමුණු, පරමාර්ථ, ලාභ ප්‍රයෝජන අරමුණු කර තමන්ට දෛනිකව සිදු කරන්නට යෙදෙන කටයුතු බහුල කර ගත්තහම එකක්වත් හරියට කර ගන්නට බැරි වෙනවා. ඒ පමණක් නොව එයින් තමන් මානසික වශයෙනුත් මහත් අධෛර්ය බවකට ද, වෙහෙසකට ද පත් වෙනවා කියන අදහස යි.

භික්ෂු ජීවිතයේ කායික හා මානසික විවේකයට මෙම කාර්යබහුල බව හෙවත් අප්පකිච්ච ගුණයෙන් ඈත් වීම බෙහෙවින් හේතු වෙනවා. එහි දී භික්ෂූන් වහන්සේ තම උතුම් පැවිද්ද ලබා ගැනීමේ අරමුණ වූ සියලු දුක් නසා නිවන් අවබෝධ කර ගැනීම පිණිස ගන්නා වු වෑයම නිශ්ඵල වන බවයි මෙහි දි පෙනී යන්නේ.

කාර්යබහුල භික්ෂු ජීවිතය කිසිසේත් බුදුරජාණන් වහන්සේ ඇගයීමට ලක් කරන්නේ නැහැ. කාර්යබහුල බවෙන් අඩු වූ තරමට භික්ෂුවට තම භික්ෂු ජීවිතයේ අරමුණ සාධනයට අවශ්‍ය ක්‍රියාකාරකම්වල යෙදීමට කාලය ඉතිරි වෙනවා.

කම්මරාමතා. භස්සරාමතා, සඩ්ගණිකාරාමතා, නිද්දාරාමතා යන මේ අනවශ්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට යාමෙන් ශ්‍රමණඵලය ළඟා කර ගත හැකි නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව නොයෙක් අවස්ථාවල පෙන්වා දී තිබෙනවා.

මෙහි දී කම්මරාමතා යන්නෙන් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේ නව අවාස ගෙවල්, ගොඩනැඟිලි ඉදිකරමින් දාගැබ්, බෝධි මණ්ඩප, ධර්ම ශාලා, අද තවදුරටත් එක් වී තිබෙන ධාතුමන්දිර ආදි විවිධ ඉදිකිරීම් පිණිස තම කාලය අසීමිත ලෙස යොදවමින් ඒ වගේම ඇඳපුටු, ගෘහභාණ්ඩ, සිවුරු විලාසිතා, ඉණබඳීන පටි, ගමන්මලු, බෑග් ආදි මෙකී විවිධ අසීමිත අවශ්‍යතා කෙරෙහි පමණ ඉක්මවා ලොල් වී කටයුතු කිරීම යි. ඒ නිසා භික්ෂූන් වත් පිළිවෙත්වලින් දුරුවීම, දවසට කීප වීටක් බණභාවනා කිරීම්, ධර්මධරභාවය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණය වැනි ප්‍රතිපත්ති ගරුක භික්ෂු ජීවිතයට අවශ්‍ය දැයින් ඈත්වීම දිවි පැවැත්වීමේ අහිතකර බවට හේතුවන බව පෙන්වා දෙනවා.

භස්සරාමතා යන්නෙන් අදහස් කරන්නේ භාෂණයෙහි හෙවත් අල්ලාපසල්ලාපයෙහි වැඩි වැඩියෙන් යෙදෙමින් කාලය කා දැමීමයි. මෙහි දී ස්ත්‍රී පුරුෂයන්ගේ ගුණ වර්ණනාව, රටතොට විවිධ තොරතුරු විමසමින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම, භික්ෂු ජීවිතයේ අරමුණ ඉටු කර ගැනුමට ඇති වටිනා කාලය අපතේ යැවීමේ අහිතකර බව පෙන්වා දෙනවා.

සඩ්ඝණිකාරාමතා යන්නෙන් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේ හුදකලා එක්කෙනෙක් දෙන්නෙක් එක්ක පමණක් ඇලී ගැලී කටයුතු කිරීමට වඩා කණ්ඩායම් හෙවත් සමුහ වශයෙන් එක්වී වාසය කිරීමේ රුචි බවක් දැක්වීම යි. මෙවැනි අවස්ථාවල භික්ෂූන් වහන්සේ කීපනමක් එකතු වී විවිධ කරුණු කාරණා ගැන සකච්ඡා කරනවා පමණක් නොව ඒ මඟින් භික්ෂුන් වහන්සේට නොගැලපෙන මාතෘකා ඔස්සේ ද සාකච්ඡා කරමින් උසුළුවිසුළු කරමින් නොගැලපෙන පරිදි කොක්හඬලා සිනා සෙමින්, අගෝචර ලෙස දොඩමලු වෙමින් හැසිරීම අදහස් කෙරෙනවා.

කොපමණ සමූහයක් සමඟ එක්ව වාසය කළත් ඒ පිරිස සමඟ සමගියෙන් සමාදානයෙන් කටයුතු කරමින් ඔවුනොවුන් කෙරෙහි බැදීමක්, ඇලීමක් ඇති කර නොගෙන නිදහස්ව තම දිවිපවත්වා ගැනීමක් වෙනවා නම්, මේ කියන සඩ්ඝගණිකාරමතාවෙන් වෙන් ව ගත කරන දිවි පැවැත්ම අදහස් වෙනවා.

මෙහි නිද්දාරාමතා යන්නෙන් ප්‍රකාශ වන අර්ථය වන්නේ සාමාන්‍යයෙන් ජීවිත පැවැත්මට අදාළ කර ගතයුතු නින්දේ ප්‍රමාණයට වඩා වැඩි කාලයක් නින්ද වෙනුවෙන් ගත කරමින් නිද්‍රාශීලි ජීවිතයක් ගතකීරිම යි. මෙය ථීනමිද්ධය කියලත් කියන්නට පුලුවන්කම තිබෙනවා. එවැන්නකුට මහණදම් පිරීමේ කිසිදු උනන්දුවක් නැතිව නිකරුණේ තම වටිනා කාලය අපතේ යැවීමක් සිදු වෙනවා.

මේ කියපු කරුණු බොහෝ දුරට බැලූ බැල්මට භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ගැලපෙන බවක් පේනවා. එහෙම වුණත් ගිහි සමාජය සම්බන්ධයෙන් වුවත් මෙහි විශේෂයෙන් අදාළ බවක් පේනවා. මොකද? බුදුරජාණන් වහන්සේගේ දහම ඕනෑම කෙනකුගේ මෙලොව පරලොව දියුණුව සඳහා අදාළ කර ගත හැකි විශ්ව සත්‍යයක් ප්‍රකට කෙරෙන දහමක් නිස යි. මේ අප්පකිච්චො හෙවත් සැහැල්ලු දිවි පැවැත්ම බහ තෝරන වයසේ සිටින දරුවාගේ පටන් මහල්ලා දක්වා සෑම කෙනකුටම අදාළ වෙනවා.

ළදරු වියේ දී අලුයම අවදි වී දතකට මැද මුහුණ සෝදා පිරිසුදු වී තෙරුවන් හා මවුපියන් වැඳ දවසේ කටයුතු ආරම්භ කරන දරුවා තරමක වේලාවක් ශරීර සුවය පිණිස ව්‍යායාමයක යෙදෙනවා. කම්මැලි අලස ගතිවලින් මිදී තම මව්පියන් දුක සේ වෙහෙස මහන්සි වී සොයා සපයා දෙන ආහාරය භුක්ති වි½දිනවා. පාසල් යාමට නියමිත ඇඳුමෙන් සැරසී නියමිත පරිදි නිවසේ සිට පාසල දක්වා යනවා.

ඉතින් දකින දකින පෙනෙන පෙනෙන නොයෙක් විසිතුරු අරුමෝසම් දේ දුටුවත්, තම අහිංසක මවුපියන් තමන්ගේ අධ්‍යාපනය, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම්, පාවහන් ආදිය වෙනුවෙන් යොදවන මහත් වූ මුදල් සම්භාරය ද ගැන සිතා කටයුතු කිරීම එම දරුවන්ගේ පරම යුතුකම බවට ද පත්වෙනවා.

ඒ හැම විටම තමන් විසින් කළ යුතු නොකළ යුතු දේ සීරුමාරුවෙන් තෝරා බේරා ගෙන ක්‍රියා කිරීමත් ඔවුන්ගේ සැහැල්ලු පැවැත්මට හේතු වෙනවා.

මේ අතර මඟතොට හෝ වේවා තමන්ට දකින්නට ලැබෙන නොයෙක් විසිතුරු දේ කෙරෙහි හිත නොයොදවා කටයුතු කිරීමත් වැදගත්. පාසලේ දි හෝ වෙනත් ආයතනයක දී හෝ වේවා නිවසේ දී හෝ වේවා දකික දකින දේ ගැන සිත නොයොදවා, ඇඟිලි නොගසා මවුපියන්ගෙන් නොවිමසා හිතු හිතු දේ කරන්නට යාමෙන් වැළකීමත් මේ අප්පකිච්චෝ ගුණයෙන් පෙන්වා දෙනවා.

ඉතිරි කොටස උඳුවප් අව අටවක පෝදා (16) අන්තර්ජාල කලාපයේ පළවේ