Print this Article


බොදු දන මන පුබුදු කළ ජයසිරි මහ බෝධි පුවත

බොදු දන මන පුබුදු කළ ජයසිරි මහ බෝධි පුවත

උඳුවප් සිහිලස සිරිමා බෝ උපත සිහිකරවයි. ක්‍රිස්තු වර්ෂ 236 අදවන් දිනක ජය ශ්‍රී මහා බෝධී දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවනු ලැබීම මෙරට ඉතිහාසයේ සන්ධිස්ථානයකි. එදා පටන් අද දක්වා ශ්‍රි මහා බෝධීන් වහන්සේ බැතිබර හදින් පුදනු ලබන්නේ ජිවමාන බුදුන් වහන්සේ ලෙසට ය.

ලෝකයේ පැවැත්මට සොබාදහම විශේෂයෙන් බලපාන්නකි. සොබාදහම අකීකරුවීම මිනිසාට පමණක් නොව ජීවී අජීවී සෑම වස්තුන් කෙරෙහි තදින් බලපාන්නකි.

ශ්‍රි මහා බෝධීන් වහන්සේ පිහිටා ඇති අනුරාධපුර ප්‍රදේශයේ බහුතරයක් ජනයා කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන්නෝ වෙති. භවභෝග සශ්‍රික වීමට නම් නිසි කලට වර්ෂාව අවශ්‍යය. නිසි කලට වර්ෂාව නොමැති විට අතීතයේ විසු ගැමි ජනතාව ශ්‍රි මහා බෝ සමිඳු වෙත පැමිණ විශේෂ වතාවත්වල යෙදී ඇත.

මෙවන් පිළිවෙත් අතර “පැන් පෙරහර” විශේෂ තැනැක් ගත්තේ ය.

මහා විහාරිය භික්ෂුන් වහන්සේගේ උපදෙස් පරිදි රැස්වු පිරිස සුදු වතින් සැරැසි තිසා වැවට ගොස් සෑමකෙනකුම අතෙහි ඇති මැටි කළගෙඩිවලට පෙරාගත් පැන් ගෙන තිසා වැවෙහි සිට පෙරහරින් බෝ සමිඳු වෙත පැමිණ තෙවරක් පැදකුණු කර එම පැනින් බෝ සමිඳු නැහැවීම කරති.

මේ පැන් පුජාවෙන් පසු නියඟය පහව වර්ෂාව ලැබී ඇති බව ප්‍රකට කරුණකි. මේ පැරැණි චාරිත්‍රය මෙබඳු අවස්ථාවන්හි අදටත් සිදු කරනු ලැබේ.

ගොවින්ගේ භව භෝග සිව්පා සතුන්ගෙන් හා කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම ඔවුන්ට තිබුණ තවත් ගැටලුවකි. මේ සඳහා ඔවුන් කෙම් ක්‍රම යොදා ගත්හ. තම කුඹුරුවල හතරකොන මල්පැල තනා සිවුරු පටි එල්ලා පහන් දැල්වූහ. පහන් දැල්වීම සඳහා තෙල් බෝ සමිඳු අභියස දොළොස් මහා පහනෙන් ලබා ගත්හ.

එදා ජනතාව වසංගත රෝග වලින් ද පිඩා ලැබුහ. අද මෙන් එදා සෞඛ්‍ය අතින් දියුණුවක් ලබා නො තිබුණි. මේ සඳහා පැරැණි සිංහල වෙද හෙදකම් තිබුණ ද බෝ සමිඳු පිහිට නිරන්තරයෙන් ලබා ගත්හ. මෙබඳු බියකරු අවස්ථාවන්හි දී ඇතැම් ගැමියන් ශ්‍රි මහා බෝ සමිඳුට පැන් ඉස ඉතිරිය ගෙන ගොස් රෝගීන්ට හා සෙසු අයට බීමට දී ප්‍රදේශය පුරා පිරිත් පැන් ඉස ආරක්ෂාව සලසාගෙන ඇත.

දරු සම්පතක් ලබා ගැනීමේ දී භාරහාර වූයේ බෝ සමිඳුට ය. දරුවන් නොමැති දෙමාපියන් ශ්‍රී මහා බෝ සමිඳු වෙත පැමිණ භාරහාර වූහ. ආශිර්වාද ලබා ගෙන දරු සම්පත බිහි වූ පසු මාස තුනක් ගිය තැන සිවුරක්, නිල් තිරයක්, මල් වට්ටි 07 ක්, පහන් 07 ක් ප්‍රාණයට ප්‍රාණයක් (පොල් පැළයක්) කිරිබත් පාත්‍ර 07 ක් උඩු වියනක් වශයෙන් භාර හාර ඔප්පු හළහ.

පවුලකට පිරිමි දරුවකු නොමැතිකම මහත් අඩුපාඩුවක් බව පැරැණි ගැමියෝ විශ්වාස කළහ. මේ අඩුව සපුරා ගැනීමට පිහිට හා ආශිර්වාදය ලබා ගත්තේ ද බෝ සමිඳුගෙනි.

අපේ ගමෙන් බත් බැඳගෙන
තිසා වැවට යන්ටයි
තිසා වැවේ රතු නෙළුම් කොළේ
බත් දා ගෙන කන්ටයි
එතැන සිටන් පේවි පේවි උඩමළුවට එන්ටයි
උඩ මළුවේ බෝධි සාමි පිරිමි පුතෙක් දෙන්ටයි

මේ පැරැණි පැතුම් කවියෙන් එය මනාව පැහැදිලි වේ.

කෙනකුගේ උපතේ සිට මරණය තෙක් සෑම සුභ කටයුත්තක දී ම අපේ බොදු ජනතාව බෝ සමිඳුගේ පිහිට අන් පිළිවෙතකට වඩා මහත් ඉහළින් සැලකුහ. භාරහාර වී දරු සම්පත් ලබා ගත් ඔවුන් දරුවාට පළමු ආහාර කැවීම, පළමු කෙස් රොද කැපිම, කන් විදීම, අකුරු කියවීම සිදු කළේ බෝ සමිඳු ඉදිරියේ ය. අපේ ඇතැම් දෙමාපියන් මේ පිළිවෙත අදටත් කරගෙන ඒම සතුටට කරුණකි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන ස්ථානයේ ඇති සෑම දෙයක් ම පැරැණි ගැමියෝ හැඳින්වුවේ “රං” යන වචනය යෙදීමෙනි. බෝ සමිඳුගේ පත්‍ර “රංපත් ” ලෙසත් බෝ ශාඛාව “රං කඳ” ලෙසටත් ආහාර පුජා කරන පාත්‍රය “රං පාත්‍රය” ලෙසටත් වැලි “රං වැලි” ලෙසටත් පූජනියත්වයෙන් හඳුන්වනු ලබයි.

බෝ හිමි වැඩ සිටින මළුවේ වැලි ඇතැම්හු ආරක්ෂා කටයුතු සඳහා කරන වත්පිළිවෙත්වලට යොදා ගනති. ඒ වැලිවල පවා ජීවමාන බලයක් ඇතැයි ඔවුහු විශ්වාස කලහ. මේ වැලි බෝ සමිඳු මළුවෙන් ලබා ගන්නා පිළිවෙතක් පැරැන්නන් තුළ පැවතුණි. ඔවුන් සිදුකළේ ගලා බස්නා ඇළ දොළකින් නොපෑගුණු තැනැක් බලා ගන්නා වැලි පිරිසුදු කර අව්වේ වේළා ගත් වැලි බෝ හිමි මළුවේ අතුරා දෙවනුව ඇතිරූ වැලි ගැනීම යි. ලබා ගත්වැලි වෙනුවට වැලි දමන්නේ තමන් ගත් වැලිවලට ණයකරුවකු නොවන බව ඔප්පු කිරීමට විය හැකි ය.

මේ අයුරින් අපේ බොඳු ජනතාව බෝ සමිඳු තුළින් සෙත, ශාන්තිය, පිහිට, සැනසිල්ල බලාපොරොත්තු වන්නේ කරුණු කිහිපයක් නිසා ය. බෝධි සත්වයාණන් වහන්සේ බෝ සමිඳු සෙවණේ සම්බෝධිය ලබා ගත් නිසාත්, අනිමිසලෝචන පූජාවෙන් දින හතක් පුජා ලැබු නිසාත්, ස්පර්ශය ලැබු නිසාත් මේ කරුණු අන් වෘක්ෂලතාවන්ට නැති මහානුභාව සම්පන්න ගුණයක්, පිහිටක් ආශිර්වාදයක් උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේ තුළ විද්‍යාමාන වෙතැයි ඔවුහු තරයේ විශ්වාස කළ බැවිනි. වර්තමානයෙත් ජාතික වශයෙන් මුහුණපාන ව්‍යසන, අර්බුද හා අභියෝග ජය ගැනීමට ද, පුද්ගලිකව ජනයා මූණදෙන ප්‍රශ්නවලට සහනයක් පැතීමට ද සිරිමා බෝ සමිඳුගේ පිහිට පතනු නොරහසකි. එය රාජ්‍ය නායකයින්ගේ ද, ජනී ජනයාගේ ද සිත නිවන තැන ය. බෝ සමිඳුගේ ආශ්චර්යය නිසා අදත් වැඩි වශයෙන් ම පොදු ජනයා එක්වන තැනක් බවට සිරිමා බෝ මළුව පත්ව තිබේ.

බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු පිහිට හා සමාන පිහිටක් අදටත්, ඉදරියටත් ලෝ සතට ලබා ගැනීම උදෙසා අදවන් පෝහොය දවසක ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අපට දායාද කර දුන් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සැදැහැ සිතින් සිහිපත් කරමු.