Print this Article


ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවි ලද හප්පිටියේ සුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවි ලද

හප්පිටියේ සුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ගා/පනන්ගල බටහිර පූර්වාරාම විහාරාධිපති පනන්ගල ගංගාරාම පිරිවෙන් විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රවේදි පූජ්‍යපාද හප්පිටියේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී වජිරඥාන යන ගෞරව නාම සහිතව ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියට පත් කර ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 2022 නොවැම්බර් මස 01 වන දින මල්වතු මහා විහාරයේ දී ශ්‍රිමත් මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

අති පූජ්‍ය හප්පිටියේ සුමන නාහිමියන් පිළිගැනීමේ අභිනන්දන උත්සවය 2022 නොවැම්බර් මස 02 වන දින ප:ව 2.00 ට පනන්ගල බටහිර පූර්වාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදි.

හිනිදුම් පත්තුවේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන හප්පිටිය නම් රමණීය ගම් පියසේ වීරසිංහ ගුරුගේ රොම්පි සිඤ්ඤෝ සහ එදිරිසිංහ කුසුමාවතී යන දම්පතීන්ට දාව 1958 මාර්තු මස 13 වැනි දින සුමනදාස වීරසිංහ නම් පින්වත් කුල කුමරු මෙලොව ජනිත ව ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් පනන්ගල ගංගාරාම විහාරාධිපති හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කනංකේ වජිරඤාණ නාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1972 මැයි 01 වන දින හප්පිටියේ සුමන සාමණේර නමින් පැවිදි විය.

පනන්ගල ගංගාරාම පිරිවෙන, ඉදුරුපත්විල ශ්‍රි විද්‍යානන්ද පිරිවෙන, මාළිගාකන්ද විද්‍යෝදය පිරිවනෙන් ශබ්ද ශාස්ත්‍ර මැනවින් ප්‍රගුණ කළ සුමන හිමියෝ ගංගොඩවිල ශ්‍රි සුභද්‍රාරාම විශ්වවිද්‍යාල පිරිවෙනට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගනු ලැබූහ.

උගත මනා බණ දහම් උගෙන විසි වයස් සම්පූර්ණව 1978 ජූලි මස 18 වන දින රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශිල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.

1986.08.01 දින පනන්ගල ගංගාරාම පිරිවනේ පරිවේනාචාර්ය ධූරයට පත්ව පසුව පරිවේනාධිපති ධූරයට පත්ව අති විශාල මෙහෙවරක් ඉටු කරන ලදී. සුමන නාහිමියන්ගේ පැවිදි සහෝදර විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති තවලම ආනන්ද හිමි ආරම්භ කරන ලද පනන්ගල බටහිර පූර්වාරාම විහාරයේ විහාරාධිපති පදවියට 1989 දි සුමන නාහිමියන් පත්ව රමණීය විහාරස්ථානයක් බවට පත් කළ අතර එහි පැවති ගාමිණි දහම් පාසල ශ්‍රි වජිරඤාණ දහම් පාසල නමින් නම් කර තම ගුරුදේවයන් වහන්සේගේ ශ්‍රි නාමයට උපහාර කරන ලදී.

විරපානේ බටතුවැල්ලේ ගෙදර පුණ්‍යසිරි රණසිංහ මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ලබාදුන් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ අභිනව විහාර මන්දිරයේ තැන්පත් කර නාහිමි අභිනන්දන උත්සවයට සමගාමීව පසුගිය 02 වන දින විවෘත කරන ලදී.

අනතිමානි අවංක සෘජු ප්‍රතිපත්තිගරුක සරල සුගම අපිස් දිවියක් ගත කරන අපේ සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ ගාලු දිසාවේ කෘත්‍යාධිකාරි පරිවේනාධිපති සංගමයේ ද ක්‍රියාකාරී හිමි නමක් ලෙස කටයුතු කරති.

සමාජ සේවක හිමිනමක් හා දක්ෂ ගුරු හිමිනමක් හා දක්ෂ විහාරාධිපතින් වහන්සේ නමක් වන සුමන නාහිමි ඉන්දියාව, තායිලන්තය, බුරුමය වැනි රටවල ද සංචාරය කරන ලද අතර, සුමන හිමියන්ගේ ලෝක ශාසනික සේවයට උපහාර වශයෙන් අපේ මල්වතු මහා විහාරයෙන් ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය සහිතව සද්ධර්ම කීර්ති ශ්‍රි වජිරඤාණ යන ගෞරව නාමය ප්‍රදානය කරන ලදී.

අභිනව පදවි ලද හප්පිටියේ සුමන නාහිමියන්ට තුනුරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ලෝ සසුන් දෙකට ශත වර්ෂාධි කාලයක් වැඩ වඩන්නට ශක්තිය හා ධෛර්‍යය ලැබේවා'යි ආශිංසනය කරම්හ.