Print this Article


දශක හතරක් පුරා බෞද්ධ දර්ශනයේ හරය ජාත්‍යන්තරය වෙත සමීප කළ අග්‍රගණ්‍ය පඬිරුවන

දශක හතරක් පුරා බෞද්ධ දර්ශනයේ හරය ජාත්‍යන්තරය වෙත සමීප කළ අග්‍රගණ්‍ය පඬිරුවන

අ‍මෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද, ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණී ත්‍රිපිටක වාගීශ්වර ශ්‍රී සද්ධර්ම සේනාපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි

ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් ම සම්පාදනය කොට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ලෝකයා වෙත බෙදාදීමේ මහඟු කර්යයක නියැළෙන පූජ්‍ය වල්පොළ පියනන්ද නායක හිමිපාණන් වහන්සේ සැබෑ ධර්ම දූතයාණන් වහන්සේ නමක ලෙස බොහෝ ජනයාට හිතසුව පිණිස සේවය කිරීම බෞද්ධ ලෝකයට ම මහත් වූ ආදර්ශයකි

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද, ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණී ත්‍රිපිටක වාගීශ්වර ශ්‍රී සද්ධර්ම සේනාපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ භික්ෂූත්වය ශෝභමාන කරන ගුණාංග රාශියකින් හෙබි දේශ දේශාන්තර ඥානයෙන් පෝෂණය වුණ චිරරාත්‍රඥ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ නමකි.

උතුම් පාරාර්ථචර්යාව ම ගුරුකොට ගනිමින් සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයත්, දෙස් විදෙස් ජනතාවගේ සුබසිද්ධිය පිණිසත් උදාර සේවාවන් රැසක් සිදු කරමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ ඉහළින්ම රැඳවීමට කටයුතු කරන වල්පොළ පියනන්ද නායක ස්වාමින් වහන්සේ වර්ෂ 1943 දී ගාල්ල වල්පොළ ග්‍රාමයේ දී ජන්මලාභය ලබා වර්ෂ 1955දී ප්‍රව්‍රජ්‍යාභූමියට පත්ව වර්ෂ 1970 දී උපසම්පදා භූමියට පත්වූහ.

ගාල්ල ගුණෝදය පිරිවෙන, දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන, මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන යන පිරිවෙන් ඇසුරේ ධර්ම ශාස්ත්‍රීය ඥානය ලැබීමෙන් අනතුරුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට වැඩම කළහ. කල්කටා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය දිනාගත් උන්වහන්සේ අමෙරිකාවේ නෝර්ත් වෙස්ටන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්හ. බුදුදහම හා බෞද්ධ දර්ශනයේ හරය යුරෝපීයයන්ගේ ජීවිත වෙත සමීප කරවමින් වර්ෂ 1979 දී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රථම ශ්‍රී ලාංකීය බෞද්ධ මධ්‍යස්ථානය ලෙස ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය ආරම්භ කිරීමෙන් පසුව සියලු විහාරාංගවලින් සමන්විත ධර්මවිජය බෞද්ධ විහාරය ඉදිකර එහි දහම් පාසලක් ද ආරම්භ කළහ.

ථෙරවාදී සම්ප්‍රදායේ නිර්මල බුදුදහම අමෙරිකාව පුරා ව්‍යාප්ත කිරීම සඳහා අනෙකුත් ප්‍රාන්ත ද ආවරණය වන ආකාරයට විහාරස්ථාන 05ක් ආරම්භ කිරීමට මූලික වී ඇති උන්වහන්සේ ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරාධිපති ලෙස මෙන් ම අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වශයෙන් ද, අමෙරිකාවේ පදිංචිව සිටින ලාංකික බෞද්ධයන් වෙනුවෙන් අමිල සේවයක් ඉටු කරති.

බහුශ්‍රැත ධර්මධර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් පුරා දශක හතරකට අධික කාලයක් සිදුකළ ධර්මදූත මෙහෙවර තුළින් ලබා ගත් අත්දැකීම් සම්භාරය මත නිර්මල ථෙරවාදී බුදු දහම තවදුරටත් ලොව පුරා ව්‍යාප්ත කිරීමේ උතුම් අරමුණ පෙරදැරිව විදේශීය ධර්මදූත සේවාව සඳහා උගත් භික්ෂූන් වහන්සේ නිසි ලෙස පුරුදු පුහුණු කරනු ලබන්නේ ස්වකීය දැනුම හා කාලය, ශ්‍රමය පරාර්ථය පිණිසම යෙදවීමේ උත්තුංග අරමුණ පෙරදැරිව ය. ධර්මදූතයන් වහන්සේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ද ධර්ම විජය විහාරස්ථානය ලෝකයේ ම මහත් කීර්තියක් ලබා සිටියි.

ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් ම සම්පාදනය කොට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ලෝකයා වෙත බෙදාදීමේ මහඟු කර්යයක නියැළෙන පූජ්‍ය වල්පොළ පියනන්ද නායක හිමිපාණන් වහන්සේ සැබෑ ධර්ම දූතයාණන් වහන්සේ නමක ලෙස බොහෝ ජනයාට හිතසුව පිණිස සේවය කිරීම බෞද්ධ ලෝකයට ම මහත් වූ ආදර්ශයකි “සංගායනා හා නිකාය භේදය” ඊඩභඵ එඥ ඩ්ඥචපඤ (අඥජධතතඥජබඪධද ධට බඩඥ තඪටඥ ධට බඩඥ ඕභඤඤඩච) ඉඒජ්ජ්අර්‍ණව් ච්චරඵ ඪද ඹ්.ඒ. ආදී පාඨක ආකර්ෂණය ලැබූ ග්‍රන්ථ හා ලිපිලේඛන රාශියක් සම්පාදනය කොට පළ කිරීම උන්වහන්සේගේ ශාස්ත්‍රීය සේවාවෙහි ඒකාංගයකි.

සිංහල භාෂාවෙන් මෙන්ම ඉංගී‍්‍රසි භාෂාවෙන් ද ඉතා වටිනා ධර්ම ග්‍රන්ථ රාශියක් ලියා පළකොට ඇත. උන්වහන්සේගේ බහුශ්‍රැතභාවය ශ්‍රද්ධාව සහ ප්‍රඥාව තුළින් බුදුදහම ඇසුරු කරමින් එරට වෙසෙන්නන්හට නිවැරැදි ජීවිතාබෝධය ලබා දෙනු පිණිස බෞද්ධ උපදේශන සේවා සපයමින් හා බෞද්ධ ග්‍රන්ථකරණයේ යෙදෙමින් සිදු කරන්නා වූ සේවාව බෙහෙවින් කාලෝචිත ය. ඉන්දියාව, නේපාලය, චීනය, කොරියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, භූතානය, තායිවානය, තායිලන්තය, කැනඩාව ආදී අනෙක් විදේශ රාජ්‍යයන් වෙත වැඩම කොට බුදුදහම සම්බන්ධ විවිධ මාතෘකාවන් යටතේ දේශන හා සම්මන්ත්‍රණ පවත්වමින් ඒ රටවල ද බෞද්ධ ප්‍රබෝධය ඇතිවන අන්දමින් ක්‍රියාකොට ඇත.

එකල විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේකර මහා නා හිමිපාණන් හා පූජ්‍ය අඹන්වැල්ලේ පඤ්ඤාසේකර අනුනාහිමිපාණන් වෙතින් ඉතා මැනවින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන්වහන්සේ විද්‍යෝදය, පිරිවෙනේ කීර්තිමත් ආදි ශිෂ්‍යවරයෙකි.

භාෂා ඥානය ඇති කරගෙන උත්සාහයෙන්, කැපවීමෙන් නිහතමානීව, කරුණාවෙන් කටයුතු කරන වල්පොළ පියනන්ද නායක මාහිමිපාණන් වහන්සේ සිදු කරන ජාතික, ආගමික, සාමාජික, ධර්මශාස්ත්‍රිය සේවාවන් අගය කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද, රුහුණ විශ්වවිද්‍යාලය මඟින් ත්‍රිපිටක ධර්ම විශාරද කීර්ති ශ්‍රී ගෞරවෝපාධිය ද, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් ශ්‍රී සද්ධර්ම ශිරෝමණී ගෞරව උපාධිය ද කැලිෆෝනියා බෞද්ධ සංඝ සම්මේලනයේ සභාපති තනතුර ද පිරිනමා ඇත. ජාත්‍යන්තර ධර්මදූත මෙහෙවරෙහි යෙදෙන අග්‍රගණ්‍ය සීල ප්‍රතිපදාවෙහි පිහිටි සුසිල්වත් විද්වත් පැවිදි පඬිරුවනක් මෙන්ම, තුන් නිකායික මහා සංඝයා වහන්සේගේ ද බොදු සංවිධානවල ද ගෞරවාදරයට පාත්‍රවෙමින් පුරා දශක 04කට අධික කාලයක් සිදුකළ ආගමික සේවය අගයමින් මියන්මාර් රජය වෙතින් “අග්ගමහා පණ්ඩිත” ගෞරව සම්මානය ලැබීම ද ථෙරවාදී සම්ප්‍රදාය අගයන ශ්‍රී ලාංකික බෞද්ධ අපට මහත් ආඩම්බරයකි. පරම පූජනීය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේට ලෝ සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගී සුවය සමඟ චිරජීවනය බැතිබර පූර්වකව ප්‍රාර්ථනා කරමි. උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම ලිපිය පළවිය.