Print this Article


පැහැදුණු සිතින් ම පින් කරන්න

පැහැදුණු සිතින් ම පින් කරන්න

මම මේ මල් අප බිම්බිසාර මහරජුගේ අණට ගෙන යමි. ඒ වෙනුවෙන් මම වැටුප් ද ලබමි. ඒ අණ කඩකළ හොත් රජතුමා මා සිරගෙයි ලෑමට හෝ තැළීමට හෝ මේ රාජකාරියෙන් මා නෙරපීමට හෝ අණ කරනු ඇත. එහෙත් කම් නැත. මම ඒ හැම දඬුවමක් ම විඳින්නෙමි. මේ මලින් පමණක් නොව මාගේ ජීවිතයෙන් ද බුදුරජාණන් වහන්සේ පුදමි

රජගහනුවර සුමන නම් මල්කරුවෙක් විය. ඔහු බිම්බිසාර රජතුමාට සෑම දිනක ම උදෑසන දෑසමන් මල් නැළි අටක් පුරා මල් ගෙනැවිත් දෙයි. ඒ මල් නැළි අටට කහවණු අට බැගින් රජතුමා විසින් මල්කරුට ලබා දෙයි.

මේ නිසා ම සුමන, මල් වැවීම ද, මල් සැපයීම ද නොකඩවා ම සිදු කරයි. දිනක් උදෑසනම සුමන මල් නැළි අට සකස් කරගෙන රජමාලිගයට යෑම සඳහා මහ මඟට පිවිසුණේ ය. ඔහු ගමන් කරන මඟට අතුරු මඟකින් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ පිරිවරා වඩින අයුරු දුටුවේ ය. සාන්ත ගමනින් බුදුරැස් විහදුවමින් වඩින බුදුරජාණන් වහන්සේ දුටු සුමන මල්කරුගේ සිත සතුටු ව පැහැදුණේ ය. ඒ නිසා ම සිය දෑතේ තිබෙන සුවඳ හමන දෑසමන් මලින් බුදුහිමි පිදීමට සිත් ඇති විය.

එහෙත් ඔහුට මෙසේ සිතුණි. මම මේ මල් අප බිම්බිසාර මහරජුගේ අණට ගෙන යමි. ඒ වෙනුවෙන් මම වැටුප් ද ලබමි. ඒ අණ කඩකළ හොත් රජතුමා මා සිරගෙයි ලෑමට හෝ තැළීමට හෝ මේ රාජකාරියෙන් මා නෙරපීමට හෝ අණ කරනු ලැබේ.

එහෙත් කම් නැත. මම ඒ හැම දඬුවමක් ම විඳින්නෙමි. මේ මලින් පමණක් නොව මාගේ ජීවිතයෙන් ද බුදුරජාණන් වහන්සේ පුදමි’යි සිතුවේ ය.

සුමන මල්කරු සුවඳවත් දෑ සමන් මල් බුදුරජාණන් වහන්සේට පිදුවේ ය.

සුමන මල්කරු බුදුරජාණන් වහන්සේ හමුවේ දෑසමන් මල් අහසට දැමුවේ ය. ඒ දෑසමන් මල් රැස බුදු සිරස මුදුනෙහි වියනක් මෙන් ද, දකුණු හා වම්පස තිරයක් මෙන් ළෙළදෙන්නට විය. ඒ අසිරිමත් දසුනෙන් පුදුම වූ බොහෝ පිරිස් එහි එක් රැස්ව පහන් සිතින් සාධු හඬ දුන්හ.

බුදුරජාණන් වහන්සේ ඒ මල් වියන යටින් රජවීදිය වෙත වැඩම කළ සේක. බිම්බිසාර මහ රජතුමා ද රැස් වූ මේ මහ පිරිස අතරින් ගොස් බුදුරජාණන් වහන්සේ වන්දනා කර ගත්තේය. බුදුරජාණන් වහන්සේ රජ මැදුරට වැඩමවා වෙහෙරට වැඩි කල්හි මල් ගඳකිලි දොරටුවේ වැසිණි.

බිම්බිසාර මහ රජු සුමන මල්කරු ගෙන්වා අද රජමාලිගයට මල් නොගෙන ඒමට හේතු විමසුවේ ය. එවිට සුමන මල්කරු තමා සිදු කළ ක්‍රියාව පවසා සිටියේ ය.

සුමන මල්කරු සිදුකළ යහපත් ක්‍රියාව ගැන රජතුමා ඉතා පැහැදුණේ ය. සුමන මල්කරුට පැසසුම් කොට ඔහුට බොහෝ ධනය පිරිනැමී ය.

තඤ්ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතිතො සුමනා
විපාකං පටිසෙවත

සතුට වැඩෙන දෙයක් කිරීම සැපයට හේතුවන බැවින් එය ඉතා යහපත් වන්නේ ය.

සුමන මල්කරු තම දිවි නොතකා බුදුරජාණන් වහන්සේට මල් පිදූ අනුහසින් මෙලොව මේ ආකාරයෙන් විපුල පල හිමි වූයේ ය. ඒ මල් පිදීම නිසා අද පුදුම දේ සිදුවිණැයි බුදුරජාණන් වහන්සේට ආනන්ද මහ රහතන් වහන්සේ සැළකර සිටියේ ය. බුදුරජාණන් වහන්සේ “ආනන්දය, සුමන මල්කරුගේ මේ මල්පිදුම සුළුකොට නො සිතන්න. ඔහු මල් සමඟ තම දිවිය ද බුද්ධ රත්නය වෙනුවෙන් පූජා කළේ ය. මතු සුමන නම් පසේබුදු වන්නේය යැයි පවසා “යමක් සිදු කොට නො තැවේ ද එහි විපාකය තුටු පහටු සිතැති ව විඳී ද එබඳු නිවැරැදි දෙය කිරීම යහපතට හේතු වන්නේ යැයි වදාළ සේක.

තමන් යම් වූ කුසල ක්‍රියාවක්, යහපත් කටයුත්තක්, සිදු කරයි ද,එය සිදු කිරීමෙන් කුමක් වෙයි ද? නොවෙයි ද? යන්න පිළිබඳ නොසිතිය යුතු ය. තමන් සිදු කරන කුසල කර්මයේ උතුම් බව වටහාගෙන ඒ පිළිබඳ පැහැදුණු සිත් ඇතිව සිදු කළ යුතුයි. සිදුකරන කුසලයට බාධාවක් සිතිවිලි මාත්‍රයකින්වත් ඇති කර නොගෙන ජීවිත පූජාවෙන් ම සිදු කරන්නේ නම්, එහි කුසලය නියමාකාරයෙන් ම තමන් වෙත ළඟා වන්නේ ය.