Print this Article


සසර පුරා පසුපස එන වරද නිවැරැදි ලෙස දැකීමේ විපාක

සසර පුරා පසුපස එන වරද නිවැරැදි ලෙස දැකීමේ විපාක

අපේ බුදුරජාණන් වහන්සේ පහළ වන්නට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු තරුණ සහෝදරයෝ දෙදෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සංඝ ශාසනය කෙරෙහි පැහැදිලා එක් භික්ෂුවක් වෙත එළැඹිලා පැවිදි වෙන්න ඕනෑයි අදහසක් ඉදිරිපත් කළා.

තෙරුන් වහන්සේත් ඔවුන් දෙදෙනා පැවිදි බිමට පත් කළා. වැඩිමහල් සහෝදරයා ‘සෝධන භික්ෂුව’ නමින් ප්‍රසිද්ධ වුණා. බාල සහෝදරයා ‘කපිල හාමුදුරුවෝ’ නමින් ප්‍රසිද්ධ වුණා.

මේ අයගේ මවත්, සහෝදරියත් පැවිදි වෙන්න ඕනෑ යැයි කියලා මෙහෙණි සසුනේ පැවිදි භාවය ලබා ගන්නවා. මේ සිවු දෙනාම ශාසන බ්‍රහ්ම චරියාවේ හැසිරෙමින් කටයුතු කරගෙන යනවා. සහෝදරයෝ දෙන්නා දවසක් එකතු වෙලා සාකච්ඡා කරනවා මේ ශාසනයේ ප්‍රතිපදා කොපමණ තියනවාද කියලා.

වැඩිහිටි තෙරුන් වහන්සේලාගෙන් දැනගන්න ලැබෙනවා ධුර දෙකක් තියනවා කියලා. එකක් විදර්ශනා ධුරය යි. අනෙක ග්‍රන්ථ ධුරය යි.

වැඩිමහලු සහෝදරයා වූ සෝධන හාමුදුරුවෝ කල්පනා කරනවා ‘මම දැන් බොහෝ වයසට පත්වයි සිටින්නේ. ග්‍රන්ථ ධුරය පිරීමට කාලයක් නෑ. ඒ නිසා විදර්ශනා ධුරය පුරනවා’යි තීරණය කරලා විදර්ශනා භාවනා වඩා නොබෝ කලකින් ම උතුම් අර්හත් භාවයට පත් වෙනවා.

බාල සහෝදරයා වන කපිල හාමුදුරුවෝ සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය අධ්‍යනය කරමින් ග්‍රන්ථ ධුරය පිරීමට තීරණය කළා. ඒ අනුව උන්වහන්සේත් උත්සාහයෙන්, දැඩි කැපවීමෙන් ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා.

උන්වහන්සේගේ උගත්කම ගැන ගම් පළාතෙත්, ප්‍රදේශයේත්, සෙසු ගම් දනව්වලත් කීර්ති රාවයක් පැතිරිලා ගියා. කපිල හාමුදුරුවන්ගේ උගත්කමත්, ධර්ම දේශනා නිසාත් ටිකින් ටික පිරිස උන්වහන්සේ වටා එකතු වෙන්න පටන් ගත්තා. ධර්ම දේශනා ආරාධනා පිළිගනිමින් ගම්දනව්වල වැඩම කළා. මේ නිසා ම කපිල හාමුදුරුවන් වහන්සේට බොහෝ ලාභ සත්කාරත් ලැබෙන්න පටන් ගත්තා.

බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගතෙක් මම කියලාත් මේ භික්ෂුවට උඩගුකමකුත් ඇති වුණා. මම තමයි මේ ඔක්කොම දන්නේ, මට වැඩිය කෙනෙක් ඉහළින් නෑ’යි උඩගුකමක් ඇති වුණා. එහෙම හිතාගෙන මේ කපිල හාමුදුරුවෝ නො දන්නා දේත් දන්නා බව හඟවනවා. සංඝ ශාසනයේ කැප දේ කපිල හාමුදුරුවෝ අකැප යැයි ප්‍රතික්ෂේප කරන විට සෙසු භික්ෂූන් වහන්සේ වැඩම කර කපිල හාමුදුරුවන්ට පහදා දෙනවා

‘ඇවැත්නි, එසේ දේශනා කරන්න එපා. මේ මේ දේ භික්ෂුවට කැප දේ, මේ මේ දේ අකැප දේ යනුවෙන් හරි වැරැද්ද පෙන්වා දුන්නා. කපිල හාමුදුරුවෝ කැප දේවල් අකැපයි කියනවා. අකැප දේවල් කැපයි කියනවා. මෙසේ කියමින් සිවුවනක් පිරිසම නොමඟ යවමින් ලාභ සත්කාර ලබා ගැනීමටත්, කීර්ති ප්‍රශංසා ලබා ගැනීමටත් කටයුතු කරනවා. වැරැදි දේ නිවැරැදි දේ විදිහට දක්වනවා. ඒවගේම හරි දේ වැරදි දේ විදිහට දක්වනවා. මේ වගේ ධර්මයක් තමයි දැන් කපිල හාමුදුරුවෝ දේශනා කරගෙන යන්නේ.

මේ අතරේ වැඩිහිටි තෙරුන් වහන්සේ කපිල හාමුදුරුවෝ අමතා ‘ඇවැත්නි, ඔහොම කියන්න එපා, එහෙම කරන එක වැරැදි වැඩක් ‘යි අවවාද කරමින් උපදෙස් දුන්නා.

එහෙම අවවාද කරන කොට වැඩිහිටි තෙරුන් වහන්සේට කියනවා

‘හිස් මුට්ටියක් වගේ ඔබලා මොනවද දන්නේ, නුඹලා කිසි දෙයක් දන්නේ නෑ’යි අර හාමුදුරුවන් වහන්සේට දොස් නඟමින්, ගරහමින් හැසිරෙන්න පටන් ගත්තා. කිසිකෙනෙක් කියන දෙයක් අහන්නේ නෑ.

තමන් කියන දේ ම නිවැරැදියි පවසමින් කපිල හාමුදුරුවෝ දිගටම වැඩකරගෙන යන්න පටන් ගත්තා.

සහෝදර භික්ෂුව ලවා අවවාදයක් කෙරෙව්වොත් හොඳයි යැයි සිතා තෙරුන් වහන්සේ පිරිසක් සෝධන හාමුදුරුවන් වහන්සේ වෙත වැඩම කර කපිල හාමුදුරුවන් කරන අයහපත් කටයුතු සියල්ල සැලකර සිටියා. සෝධන හාමුදුරුවන් වහන්සේත් ඒ අනුව කපිල තෙරුන් වහන්සේ වෙත වැඩම කරලා

‘ඇවැත්නි, කපිල, මේ ශාසනය බොහෝ කලක් පවතින්නේ ඔබ වහන්සේ වැනි අය හොඳීන් ධර්ම දේශනා ආදිය කරන නිසයි. ඒ නිසා සාසනික පැවැත්ම විනාශ වන මේ මේ දේ කරන්න එපායි උපදෙස් දුන්නා.

සෝධන හාමුදුරුවෝ තුන්වරක් ම කපිල හාමුදුරුවන් වහන්සේට උපදෙස් ලබා දුන්නා. නමුත් කපිල හාමුදුරුවෝ මේ අවවාද පිළිගත්තේ නෑ. ඒවා කනකටවත් ගත්තේ නෑ. සෝධන මහරහතන් වහන්සේ තුන් වැනි වතාවේ දී

‘ඇවැත්නි කපිල, ඔබට අවවාද හෝ උපදෙස් දීමෙන් ඵලක් නෑ. ඔබ කරන වැරැදිවලට ඔබම දඬුවම් විදින්න’යැයි පවසමින් උන්වහන්සේ කපිල හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි තැනික් නික්මී ගියා.

මේ විදිහට කටයුතු කර ගෙන ගිය නිසා ක්‍රමයෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහිලා ගියා. සෝධන මහරහතන් වහන්සේත් ටික කලක් වැඩ ඉඳලා පිරිනිවන් පෑවා. කපිල හාමුදුරුවෝත් ශාසනය පිරිහීමට හේතු වන බොහෝ කටයුතු කරලා අභාවයට පත් වෙලා අවීචි මහා නරකයේ උපන්නා.

ගෞතම බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ සැවැත් නුවරට ප්‍රවේශ වන ප්‍රධාන දොරටුව සමීපයේ තිබුණු ධීවර ගමක ධීවර නායකයකුට එක් පුත් කුමරෙක් උපදිනවා. ඔහුගේ සහායට තවත් දරුවන් පන්සියයක් ම උපදිනවා. ක්‍රමයෙන් මේ දරුවන් කෙළි සෙල්ලම් කරමින් හැදී වැඩී තරුණ වයසට පත් වෙනවා. මවුපියන්ගේ මහලුවීමත් සමඟ මේ දරු පිරිස ධීවර කර්මාන්තය කරගෙන යන්න පටන් ගත්තා. පිරිසේ නායකයා වන්නේ ප්‍රධාන ධීවරයාගේ පුත්‍රයා යි. කපිල හාමුදුරුවෝ ගෞතම බුද්ධ ශාසනය පැවැති සමයේ අචිරවතී ගංගාවේ කටින් බොහෝ දුගඳ හමන, එහෙත් මහත් සේ රත්තරන් පාටින් බබළන මාළුවෙක් වෙලා උපත ලැබුවා. මේ තරුණයෝ දවසක් මාළු අල්ලන්න ගිහින් දැල් දැම්මා. ඒ එක් දැලකට මේ රත්තරන් පාට මාළුවා අහුවුණා. බොහෝ ම අපූරු මාළුවෙක්, රත්තරන් පාටින් බබළනවා. තරුණ ධීවර නායකයා තම පියාට දැනුම් දුන්නා. ක්‍රමයෙන් රජ්ජුරුවන්ට දන්වා යැව්වා. මාළුවා රජමාලිගයට ගෙනෙන්නට අණ ලැබුණා.

මාළුවා රජමාලිගයට අරගෙන ගිය විට මේ අපූරු මාළුවා දැකලා රජතුමා විස්මයට පත් වුණා. තීරණය කළා මේ මාළුවා බුදුරජාණන් වහන්සේ සමීපයට ගෙන යන්නට. බුදුරජාණන් වහනසේ වැඩ සිටි ස්ථානයට මාළුවා අරගෙන ගියා. ඒ අවස්ථාවේ දී අර මාළුවා කට ඇරියා. ඒත් සමඟ මුලු ජේතවන ප්‍රදේශයේ ම තද දුගඳක් පැතිරිලා ගියා. රජ්ජුරුවෝ පුදුමයට පත් වෙලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරළා අහනවා

‘ඇයි ස්වාමීනි, මේ මාළුවා මේ තරම් ලස්සනට උප්පත්තිය ලබා තිබෙනවා. එහෙම වුනත් අර කට විවර වූ සැනින් මුලු ප්‍රදේශයේ ම මහත් වූ දුගඳක් පැතිරිලා ගියා. මේකට හේතුව කුමක්ද?

ස්වාමිනි, අපට පැහැදිලි කරලා දෙන සේකවා’යි ආරාධනා කළා.

ඒ අවස්ථාවේ දී “පින්වත් රජතුමනි, මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී කපිල නමින් පැවිදි වෙලා හිටපු කෙනෙක්. පැවිදි ජීවිතයක් ගත කරපු කෙනෙක්. ධර්මය පිළිබඳ හොඳට දැනගෙන හිටියා. මනා අවබෝධයක් තිබුණා. තමන්ගේ වචනය පිළිගන්නේ නැති භික්ෂූන් වහන්සේට නින්දා කළා. අපහාස කළා. චෝදනා කළා. ගර්හා කළා. ඒ අකුසලය නිසා අවීචි මහා නරකයේ උප්පත්තිය ලැබුවා. ඉතිරි කාලයට මේ මාළුවෙක් වෙලා උපන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ බුදු බණ දේශනා කළ නිසා මේ ලස්සන වෙලා උපන්නා.

වැරැදි දේ හරි විදිහටත්, හරි දේ වැරැදි විදිහටත්, යහපත් දේ අයහපත් විදිහටත්, අයහපත් දේ යහපත් විදිහටත්, කැප දේ අකැප විදිහටත්, අකැප දේ කැප විදිහටත් දේශනා කළ නිසා මේ විදිහට මුවින් දුගඳක් හමනවා’යි දේශනා කළා.

‘මහරජතුමනි, ඒ බව මේ මාළුවා ලවාම ප්‍රකාශ කරවන් නම්’ යැයි දේශනා කරලා අපගේ බුදුරජාණන් වහන්සේ මේ මාළුවගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ‘මේ ආත්මයෙන් පස්සේ ඔබ කොහාටද යන්නේ?’යි ප්‍රශ්න කරන විට

“ස්වාමිනි, මෙයින් පස්සෙත් මහා නිරයට ම යන්නේ’යි පිළිතුරු දීලා මහ ඔරු බඳේ හිස ගසාගෙන අභාවයට පත් වුණා.

මහජනතාව භීතියටත්, පුදුමයටත්, සංවේගයටත් පත් වෙලා ඉන්න මොහොතේ දී අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණා. සූත්‍ර දේශනාව අසා සිටි ධීවර තරුණයෝ පන්සිය දෙනාම බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලා සිටියා. පැවිදි වී නොබෝ දවසකින් ම උතුම් මහ රහත් භාවයට පත් වුණා. (මේ කථා පුවත පරමත්ථජොතිකා නම් සුත්ත නිපාත අට්ඨකතාවේ කපිල සූත්‍ර වර්ණනාවේ දී දීර්ඝ ලෙස විස්තර වෙනවා.)