Print this Article


මඟ නොමඟ දැන යා යුතු සසර මඟ

මඟ නොමඟ දැන යා යුතු සසර මඟ

බොහෝ කලක් විදේශීය රටක වාසය කොට සුව සේ පැමිණි පුද්ගලයකු ඔහුගේ නැදෑ මිත්‍රයෝත්, හිතවතුනුත් ආදරයෙන් පිළිගෙන යම් සේ සතුටු වෙත් ද?

එසේම පුණ්‍ය විපාකයෝ, කළ පින් ඇත්තා මෙලොවින් පරලොවට ගිය කල පි‍්‍රය නෑයකු මෙන් පිළිගනී.

බොහෝ දුර සිට පැමිණි නෑදෑයකු සොම්නසින් පිළිගන්නා සේ, සිදුකළ පින් කුසල් පරලොව දී පිළිගන්නා බව පෙන්වීමට “නන්දිය” උපාසකතුමා මුල්කරගෙන මෙම කථා ප්‍රවෘත්තිය බරණැස්නුවර ඉසිපතනාරාමයේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

බරණැස්නුවර සමෘද්ධිමත් පවුලක මවුපියෝ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවන්තව, ගෞරවයෙන් විසූහ. ඔවුන්ගේ පුත්‍ර නන්දිය පින් පිරීමෙහි නියැළී විසුවේ ය. මවුපිය උපස්ථාන ක්‍රමානුකූලව සිදුකළ අතර මව්පියන්ගේ ඇවෑමෙන් පසු බොහෝ කුසල් කළේ ය. මවුපියන් මිය යාමෙන් පසුව නන්දියට පවුලේ වගකීම භාරගන්නට සිදු විය. පින් කිරීමේ ආසාව ද තිබුණි.

නන්දිය ඉසිපතන විහාරය අලංකාර රමණීය ආවාස ගෙයක් ලෙස (විහාරයක්) කරවා එහි කැප ආකාරයේ විවිධ වටිනා බඩු සුදුසු ලෙස තැන්පත් කර සරසා බුදුපාමොක් මහා සංඝයා වහන්සේට පූජා කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නන්දිය උපාසකතුමාට තව්තිසා දෙව්ලොව පහළ වූ දිව්‍ය මන්දිරය කිසිම ආකාරයකින්වත් වර්ණනා කළ නොහැකි තරම් ය.

දිනක් මහ මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවා නැවත පැමිණ එම දිව මැදුරේ ස්වභාවය, රමණීයත්වය, අලංකාරය සම්බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළහ. එය උපමා කරගෙන බුදුන් වහන්සේ, කලක් පිටත ගොස් සිටි අයෙක් නැවත සිය නිවසට පැමිණෙන විට ඤාති මිත්‍රාදි සියලු දෙනා ම ඔහු සෝමනස්සයෙන් (සතුටින්) පිළිගනිත් ද, එමෙන් ම කළ පින් – කුසල කර්ම පරලොව ගිය කල ඔහු විශේෂයෙන් ම පිළිගනී යැයි, දේශනා කළ සේක.

මවුපියන් කරන කියන, හැසිරෙන ක්‍රම රටාව දරුවෝ මැනවින් අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙති. ක්‍රියා කරති.

නියම පිළිවෙළකට, සාධු සිරිත් අනුව දරුවන් තැනුවේ නැතිනම් සමාජය භයානක විපත්වලට යොමුවේ.

කුඩා කාලයේ සිටම දරුවන් තැනීමේ දී සහෝදර සහෝදරියන් ගැන පිළිපැදිය යුතු ක්‍රම රටාව පෙන්වාදිය යුතු ය. සිය නිවස තුළ බුදු මැදුරක් තනා මල් පහන් පූජා කරන පිළිවෙළ පෙන්වාදිය යුතු ය. ගෙදර සමූහ වන්දනාවක් නම් වඩාත් ම උචිත වේ.

සුදුසු වයසට පැමිණීමේ දී දරුවා සාරධර්ම, ගුණධර්මවලින් පෝෂණය කර ගැනීම පිණිස දහම් පාසලට ඇතුළත් කරවිය යුතු ය. එවිට දරුවා පින් – පව් මැනවින් අවබෝධ කරගෙන පන්සිල් රකින බෝසත් දිවියක් ගෙවනු ඇත. දරුවන්ගේ දහම් ඤාණය වර්ධනයට බෞද්ධ දහම් පොත්, සඟරා පරිශීලනය බෙහෙවින් ම වැදගත් වේ.

සමාජ විරෝධී අපරාධ සිදු කරනුයේ මෙලොව පරලොව පින් පව් නොදන්නා අයයි. ජීවත් වන පිරිස සිතනුයේ සදාකාලිකව ම ජීවත් වන්නටයි. මැරෙණ බව කල්පනා නොකරයි. එම නිසා ම මිල මුදල්, යාන, වාහන, වතුපිටි. ඉඩකඩම් සියලු සම්පත් ජීවිතය කරගෙන කටයුතු කරන්නේ ය.

ජීවිතය ස්ථිර නැත. තණ අග ඇති පිණි බිඳුවක් සේ ය.

ඍද්ධිමත් මහ මුගලන් රහතන් වහන්සේ දෙව්ලොව දෙව්විමන සියැසින් ම දුටු බව බුදුරජාණන් වහන්සේට කරුණු කාරණා සහිතව ප්‍රකාශ කළහ.

එබැවින් පින්බර ඔබත් මනුලොව වෙසෙන මේ පුංචි විරාමයේ දී මිනිසත්කමේ උත්තරීතර වටිනාකම වඩ වඩාත් අවබෝධ කර ගැනීම ඉතාමත් අගනේ ය.

ඔබ මෙලොව ඉපදුණේ සසර ගමනේ කර ඇති මහා පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක් නිසා ය. එය තව තවත් ආලෝක කර ගන්න. බුදු දහමේ ශක්තිය, ආශිර්වාදය සිය දිවියට ජීවමාන ඖෂධයක් කර ගන්න.