Print this Article


අසිරිමත් කඨින චීවර පූජාව අට මහා පින්කම් අතර උසස්ම පින්කම වීමට නම්

අසිරිමත් කඨින චීවර පූජාව අට මහා පින්කම් අතර උසස්ම පින්කම වීමට නම්

වස්සානය හා කඨිනය විශේෂ විනයානුකූල ආගමික පිළිවෙතකි. ඒ සම්බන්ධයෙන් බුදුරදුන් වදාළ සියලුම විනයානුකූල පැනවීම් හා නිර්දේශ ඇතුළත් වන්නේ විනය මහාවග්ගපාළි වස්සූපනායික හා කඨිනක්ඛන්ධකවල ය.

වස්සූපනායික ශික්‍ෂාව පැනවීමේ සිට වර්තමානය දක්වාම වස්සානය හා කඨිනය පිළිබඳ විනයානුකූල පිළිවෙත් සියල්ල සිදුවන්නේ එම විධි නියමයන්ට අනුකූලව ය. බුදුරදුන්ගේ මුල් පැනවීමට කලින් කල එකතුකරන ලද සංශෝධන මගින් තවදුරටත් එම කාර්යය සංකීර්ණ වී තිබේ.

වස්සානය ආරම්භයේ දී උපෝසථ කාර්ය මගින් ස්වකීය පාරිශුද්ධත්වය තහවුරු කරගත් උපසපන් භික්‍ෂු භික්‍ෂුණීන් වහන්සේ ඇසළ පුරපසළොස්වක අවපෑලවිය දිනයෙහි වස් සමාදන්ව තෙමසක් ඇවෑමෙන් වප් පුරපසළොස්වක දිනයෙහි පවාරණය කිරීමෙන් වස්සානය නිමා කරති.

මෙම චාරිත්‍රවල මුල් ස්වරූපය හා එහි අර්ථය යම් වෙනසකට භාජනය වී ඇතත් පැරැණි පිළිවෙත තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කාලීන වෙනස්කම් රැසක් දක්නට ලැබුණ ද වස්සානය හා කඨිනය පැවිද්ද හා සම්බන්ධ විනයානුකූල මෙන්ම ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය කේන්ද්‍ර කර ගත් ප්‍රතිපදාවකි.

වස්සානය මෙන්ම කඨිනය හා බැඳුණු ආගමික වත් පිළිවෙත් සමග ගිහි දායක දායිකාවන්ගේ ඍජු සම්බන්ධයක් පවතී. ඒ අනුව උපසපන් භික්‍ෂු භික්‍ෂුණීන්ට වස් සමාදන්වීම සඳහා වැසි සළු පූජා කොට ආරාධනා කිරීම, වස් තෙමස තුළ සිව්පසයෙන් උපස්ථාන කිරීම, වස්සානය අවසානයේ කඨින චීවරය හා සම්බන්ධ පුණ්‍යොත්සවය සංවිධානය කිරීම ආදිය ගිහි පිරිසට අයත් ආගමික චාරිත්‍ර වේ.

කඨින චීවර පූජාව විශේෂ ආනිසංස ලැබෙන පින්කමක් වන හෙයින් ගිහි බෞද්ධයෝ ඒ හා සම්බන්ධ වීමට විශේෂ උනන්දුවක් දක්වති. දඹදෙණි පැරකුම්බා රජු විසින් “කඨිනානිසංස” නම් ග්‍රන්ථය සම්පාදනය කරීමත් සමග ඒ හා සම්බන්ධ ගිහියන්ගේ දායකත්වය තවදුරටත් වර්ධනය වී තිබේ. මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙන ලද අටමහා පින්කම් අතුරෙන් කඨින චීවර පූජාව විශේෂ වේ.

එම ග්‍රන්ථයේ කඨින චීවර පූජාවෙන් ලැබෙන විවිධ උසස් ආනිසංස මැනවින් විවරණය කර ඇති අතර, ධර්ම දේශකයෝ කඨිනානිසංස දේශනාවල දී එම කරුණු මැනවින් ඉදිරිපත් කළහ.

එම දේශනාවලට සවන් යොමු කළ පොදුජනයා අටමහා පින්කම් අතුරෙන් කඨින චීවර පූජාව කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූහ. මේ අනුව යමින් භික්‍ෂු භික්‍ෂුණීන් වස්වසවා ගෙන අනතුරුව විසිතුරු අයුරින් වාර්ෂිකව කඨින පින්කම් සංවිධානය කළහ. බුද්ධ කාලයේ සිටම වස්සානය මුල් කරගෙන බුදුසමයේ ව්‍යාප්තිය සිදු වූ අතර, ලංකාවේ බොහෝ විහාරස්ථානවල ආරම්භය භික්‍ෂූන් වහන්සේ වස්වසවා ගැනීමෙන් සිදුව තිබේ.

ආගමික චාරිත්‍රයක් ලෙස කඨිනය කෙරෙහි සෙසු බෞද්ධ ආගමික චාරිත්‍රවලට වඩා විශේෂ අවධානයක් යොමුව තිබෙන්නේ එය වසරකට වරක් සිදුකෙරෙන පින්කමක් හෙයිනි. මේ අනුව සිංහල බෞද්ධ ජනයා කඨින චීවර පූජා පින්කමකට දායක වීමට කිසිසේත්ම අතපසු නොකරති.

ආගමික වශයෙන් ලැබෙන උසස් පුණ්‍යමය ප්‍රතිලාභවලට අමතරව කඨිනය ඉතා පොහොසත් සංස්කෘතික උත්සවයකි. එය අතීතයේ සිටම විවිධ සංස්කෘතික අංග ඒකරාශී කර ගනිමින් වර්ධනය වී තිබේ. කඨිනය රැගෙන යන පෙරහර විවිධ සංස්කෘතික ලක්‍ෂණවලින් පෝෂිත ය. සාම්ප්‍රදායික නැටුම් හා වෙනත් සංස්කෘතික අංගවලින් සැදි පෙරහර දකින්නා තුළ සැදැහැ සිත් වඩන අතර, බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔදවැඩෙයි.

අතීතයේ හිමිදිරි පාන්දර පැවති මෙම සංස්කෘතික අංගය වර්තමානයේ බොහෝ වෙනස්කම්වලට භාජනය වී ඇති අතර, එහි පැවැති චාම් හා සරල සංස්කෘතිකාංග ක්‍රමයෙන් ගිලිහී යමින් තිබේ. එය බොහෝදුරට ඝෝෂාකාරී, එමෙන්ම වාණිජකරණය වූ සංස්කෘතික අංගයක් බවට පත්ව තිබෙන්නේ ඒ පිළිබඳ නිවැරැදි අර්ථය කුමක්ද යන්න ගිහි පැවිදි දෙපක්‍ෂයට ම නිසි වැටහීමක් නොමැති හෙයිනි.

ආගමික අර්ථයකින් පෙරහරක ගමන් කිරීම පුණ්‍යමය කාර්යයක් ලෙස සලකා තිබේ. පාලි අටුවා ග්‍රන්ථවල පද්වීතීහාර කුසලය යනුවෙන් හැඳීන්වෙන්නේ එයයි. තෙරුවන් උදෙසා පුද පූජා රැගෙන පෙරහරක ගමන් කිරීමෙන් හා ත්‍රිවිධ චෛත්‍ය වටා ප්‍රදක්‍ෂිණා කිරීමෙන් යථෝක්ත පද්වීතීහාර කුසල රැස්කර ගත හැකි ය.

අනේපිඬු සිටුවරයා පළමුවරට බුදුන් දැකීමට යාමට පසුබට වූ මොහොතෙහි සීවක නම් යක්ෂයා නොපෙනී සිට බුදුන් දැකීමෙහිලා ඔහු උනන්දු කළේ බුදුන් දක්නට තබන එක පියවරක් වුව සියලු සම්පත්වලට වඩා උතුම් යැයි පවසමිනි. (එකස්ස පද්වීතීහාරස්ස කලං නාග්ඝති සොළසං).

ඒ අනුව උසස් සංස්කෘතික අංග සහිතව තෙරුවන් පිදීම අරමුණු කර ගත් කඨින පෙරහරක ගමන් කිරීම නිරායාසයෙන් ම පදවීතිහාර කුසලය රැස්වීමට හේතුවේ.

කඨින පින්කම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. එබැවින් එය සමාජයේ විවිධ පුද්ගලයන් ඒකාබද්ධ කෙරෙන අන්තර්පුද්ගල සමාජ සම්බන්ධතා තහවුරු කෙරෙන, සමාජමය කර්තව්‍යයකි. සමාජයේ පවතින විවිධත්වය නොසලකා එකම අරමුණක් වෙනුවෙන් පෙළ ගැසීම මෙහි ඇති විශේෂත්වයයි.

බෞද්ධ ආගමික චාරිත්‍රවල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් නම් සමාජ ඒකාබද්ධතාව හා සමාජානුයෝජනය සඳහා ඒවායේ පවතින අදාළත්වයයි. කඨින පින්කමක් තනිව කළ නොහැකි ය. එමෙන්ම ඒ සඳහා විශාල ගිහිපැවිදි පිරිසකගේ සම්බන්ධතාව අවශ්‍ය වේ. පුණ්‍ය චේතනාව පෙරදැරිව ගම වටා කඨින චීවරය රැගෙන යාමෙන් සිදුවන්නේ අන්තර්පුද්ගල ඒකාබද්ධතාව තවදුරටත් තහවුරු වීමයි.

කඨින චීවරය හා සම්බන්ධ විනයානුකූල මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් සාමූහිකව සිදුකෙරේ. වෙනත් බොහෝ පින්කම් තනිව කළ හැකි වුව ද කඨින චීවර පූජාවක් එසේ කළ නොහැකි ය. ඒ සඳහා භික්‍ෂූන් වහන්සේ පස්නමකට වැඩි ප්‍රමාණයක් හා සැලකිය යුතු ගිහි පිරිසක් අවශ්‍ය වේ.

විශේෂයෙන්ම චීවරය සකස් කිරීමෙහිලා ගිහි පින්වතුන්ගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. අතීතයේ මෙය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවූ අසිරිමත් කාර්යයක් බව කඨිනානිසංසයේ දැක්වේ. එබැවින් එම පුණ්‍යකර්මය නිරායාසයෙන් ම සමාජ ඒකාබද්ධතාව තහවුරු කෙරෙන සමාජ විද්‍යාත්මක පදනමකින් යුක්ත ආගමික චාරිත්‍රයකි.

කඨින පින්කමේ මනෝචිකිත්සක ලක්‍ෂණ රැසක් දක්නට ලැබේ. බොහෝ බෞද්ධ ආගමික චාරිත්‍රවල මනෝ චිකිත්සක ලක්‍ෂණ දක්නට ලැබේ. ඒවායේ නිරතවීමෙන් බැතිමතාට තාවකාලික වශයෙන් මානසික සුවයක් අත්පත් කර ගත හැකිය. පිරිසක් හා එක්ව කටයුතු කිරීමෙන් තම අකුශල චිත්තවේග සමනය කර ගැනීමටත්, කුසල සහගත චිත්තවේග වර්ධනය කර ගැනීමටත් හැකියාව ලැබේ.

ඉහතින් සඳහන් කළ කරුණු අනුව කඨින චීවර පූජා පින්කමෙහි ආගමික, සාමාජික, සංස්කෘතික හා මනෝවිද්‍යාත්මක ප්‍රතිලාභ හා ප්‍රයෝජන රැසක් දක්නට ලැබේ. ඒවා ඉස්මතුවන ආකාරයෙන් වාණිජත්වයෙන් හා තරගකාරිත්වයෙන් තොරව කඨින පින්කම සංවිධානය කරන්නේ නම්, එය අටමහා පින්කම් අතුරින් අසිරිමත් හා උසස්තම පින්කම ලෙස හැඳීන්විය හැකි ය.