Print this Article


සාරගම වැව් ඉස්මත්තේ සුන්දර ගල්තලාවක ඉදිවුණු තිත්තවැල්ල උඩමළු පුරාණ රාජමහා විහාරය

සාරගම වැව් ඉස්මත්තේ සුන්දර ගල්තලාවක ඉදිවුණු

තිත්තවැල්ල උඩමළු පුරාණ රාජමහා විහාරය

සුන්දර ඇතුගල්පුරවරය අතීතයේ රාජධානි තුනකට උරුමකම් කියූ පෞරාණික නගරයකි. එක් පසෙකින් දඹදෙණි රාජධානියේ උරුමයත්, අනෙක් පසින් යාපහුව රාජධානියේ උරුමයත්, තවත් පසෙකින් කුරුණෑගල රාජධානියේ උරුමයත් සහ එකී රාජධානියන්ට උරුම වූ සංස්කෘතින් ද ගැබ්ව පවතින පෞරාණික නගරයකි කුරුණෑගල නගරය.

කුරුණෑගල පුත්තලම් මාර්ගයේ කිලෝ මීටර් 04ක් පමණ ඉදිරියට පැමිණි විට දුටුවන් මන බඳින සුන්දර වැව් පියසක් හමුවේ. එය තිත්තවැල්ල වැව හෙවත් සාරගම වැව නමින් හැඳින්වේ. මෙම මාර්ගය දෛනිකව දහස් ගණනක ජනයා ගමනා ගමනය සඳහා භාවිත කරනු ලබන අතර, බොහෝ දෙනා ගමන් විඩාව සන්සිඳුවා ගැනීම සඳහා මෙම වැවේ සිරි නරඹා යාමට පුරුදුව සිටිති.

එම සුන්දර වැවට ඉහළින් පිහිටි අති විශාල ගල්තලාව මත ඉදිකර ඇති තිත්තවැල්ල උඩමලු පුරාණ රාජමහා විහාරය කාගේත් නෙත් සිත් ඇදගනු ලබන පුණ්‍ය භූමියකි. විහාරස්ථානයට ඉදිරිපසින් තිත්තවැල්ල වැවත්, අනෙක් පසින් පිහිටා ඇති වෙල් යායත් හේතුවෙන් විහාරස්ථානයේ සුන්දරත්වය තවතවත් වැඩි වන අතර ප්‍රදේශයට ම ආවේණික වූ ජෛව පද්ධතියක් පිහිටා ඇති හෙයින් විවිධ වූ පක්ෂීන් ද නිතරම දක්නට ලැබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් මෙම විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ලිඛිත මූලාශ්‍රයන් තවමත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැති අතර, කටවහරෙන් පැවත එන්නා වූ ජනප්‍රවාදයන් කිහිපයක් පවතී. එම ඇතැම් ජනප්‍රවාදයන්හි තොරතුරු සත්‍ය යැයි සිතීමට හැකි සාක්ෂි තිබුණ ද විධිමත් විද්‍යාත්මක පර්යේෂණයක් මඟින් එම කරුණු තවමත් සනාථ කොට නැත.

වලගම්බා රජ දවස සිදු වූ ආක්‍රමණයේ දී රජු පළායමින් සිටියදී රජුගේ එක් බිසවකට තිත්තවැල්ල නම් ප්‍රදේශයේ දී, දරු ප්‍රසූත ලක්ෂණ පහළ වී ඇති අතර, මෙම ප්‍රදේශයේ දී බිසව දරුවකු බිහිකළ බව සඳහන් වේ. ඒ සඳහා මෙම ප්‍රදේශයේ එවකට වාසය කරන ලද බොහෝ පිරිස් පිහිට වී ඇති අතර, ජනප්‍රවාදවල සඳහන් වන පරිදි ප්‍රදේශවාසීන් මෙලෙස රජු ඇතුළු පිරිසට සහය වී ඇත්තේ රජු බව හඳුනාගැනීමෙන් තොරව බවට සඳහන් වේ.

කාලයාගේ ඇවෑමෙන් රජු ආක්‍රමණයෙන් රට මුදවාගෙන රට එක්සේසත් කළ පසු තම බිසවට දරු ප්‍රසූතියේ දී පිහිට වූ මිනිසුන් පසුව හමුවී කළගුණ සැලකීමක් ලෙස සීමා මායිම් නම් කර ගමක් තනවා, ඒ ගමට වැවක් සහ ලෙන් විහාරයක් තනවා දුන් බව සඳහන් වේ. ග්‍රාමයේ සීමා මායිම් ලකුණු කිරීම සඳහා එවකට මෙම ප්‍රදේශයේ සුලභව භාවිත වූ තිත්ත නම් වැල් උපයෝගී කරගෙන ඇති හෙයින් ගමට තිත්තවැල්ල නම් වූ නාමය පටබැඳි බව කියැවේ.


විහාරාධිපති
කුඩාගල්ගමුවේ ශ්‍රී ගුණානන්ද හිමි

එකල රජතුමා විසින් ඉදිකළ වැව තිත්තවැල්ල වැව බව ද සඳහන් වන අතර රජු විසින් ඉදි කළ විහාරය තිත්තවැල්ල උඩමලු පුරාණ රාජමහා විහාරය ලෙස හැඳින්වේ.

මෙම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකි කුරුණූෑගල යුගයේ රජකළ සුරතිස්ස රජුගේ යුගය විහාරස්ථානය අසල කෙත නම් කුඹුරු යායක් පිහිටා ඇති අතර, එම කුඹුරු යාය සුරතිස්ස රජතුමාගේ කුඹුරු යායක් ලෙස සඳහන් වේ. එම කුඹුරු යාය අසල ගල් තලාවේ පැරැණි කණු සතරක් දක්නට ලැබෙන අතර, එය රජතුමාගේ වී අටුව පිහිටි ස්ථානය ලෙස ද සඳහන් වේ. එතුමා මෙම විහරස්ථානයේ අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් කර ඇත.

පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් විවිධ සටහන්, ගල් පඩිපෙළක්, පැරැණි ස්ථුපයක් සහ පුරාවිද්‍යාව මඟින් නිර්දේශ කරනු ලැබූ බෝධිඝරයක් සහිත විහාරස්ථානයක් ලෙස හැඳින්විය හැක.

වර්තමානයේ දක්නට ලැබෙන විහාර මන්දිරය එක්දහස් නමසිය හතළිස් ගණන්වල ඉදිකර ඇත. විහාරස්ථානයේ පිහිටි ධර්ම ශාලාව මීට වසර අසූවකට පෙර නිර්මාණය වී ඇත.

මෙම විහාරස්ථානය මුල් කරගෙන ප්‍රදේශයේ දරුවන්ගේ දහම් දැනුම වැඩිදියුණු කිරීමට ශ්‍රී ඉන්ද්‍රජෝති දහම් පාසල ක්‍රියාත්මක වන අතර, වර්තමානය වන විට එහි සිසු දරු දැරියන් දෙසීයක් පමණ අධ්‍යාපනය ලබයි.

වර්තමානය වන විට ඇතිව පවතින බෞද්ධ ප්‍රබෝධය මුල් කොටගෙන බොහෝ භික්ෂූන් වහන්සේට, බොහෝ පින්වතුනට අවශ්‍ය කරන ත්‍රිපිටක ධර්මය අධ්‍යනය කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ගුණානන්ද ත්‍රිපිටක පුස්තකාලය දෙදහස් විසි එක වර්ෂයේ දී ආරම්භ කොට විවෘත කරන ලදී.

වර්තමානයේ විහාරාධිපති හිමියන් ලෙස වැඩ වාසය කරන මාස්පොත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය කුඩාගල්ගමුවේ ශ්‍රී ගුණානන්ද හිමියන් මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා බොහෝ කටයුතු සිදු කළහ. ඒ අනුව උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කරමින් තිත්තවැල්ල උඩමලු පුරාණ රාජමහා විහාරස්ථානයේ ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මාම්පිටිගම සුනන්ද හිමියෝ විහාරස්ථ දායක සභාව හා එක්ව විහාරස්ථානය දියුණු කරමින් අනාගත පරපුරට ද දායාද කිරීමට මහත් වෙහෙසක් දරමින් කටයුතු කරති.