Print this Article


තණ්හාවේ දාසයෙක් නොවන තරමට සතුට සමීපය

තණ්හාවේ දාසයෙක් නොවන තරමට සතුට සමීපය

තණ්හාව යනු, ආශාවය.කැමැත්තය, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් පිනවීමට ඇති ආශාව හෙවත් කැමැත්ත තණ්හාවයි.

ඇසට රූප ද, කනට ශබ්ද ද, නාසයට ගන්ධය ද, දිවට රස ද, ශරීරයට ස්පර්ශය ද, මනසට සිතිවිලි ද යන අරමුණු සමඟ අපි ගැටෙමු. ඒ ආශාවන් සමඟ වසඟ වීමක් දකින්නට ද ලැබේ. තෘෂ්ණාව නිසා අපි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් සමඟ නිතරම ගැටෙමු. තෘෂ්ණාව ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙනි

කාමය යනු, කාම වස්තූන් පිළිබඳ දක්වන කැමැත්තයි. කාම වස්තූන් යනු පංච කාමයන් ය. එනම්, රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යනුවෙන් ගත් කල එය සය වැදෑරුම් වේ.

කාමය බුදු දහම තුළ හරියට ණයට ගත් වස්ත්‍රයකට උපමා කර ඇත. තව කෙනකුගෙන් ගත් ඇඳුමක් ගෙන එය ඇඳගෙන යද්දි ඇඳුමේ අයිතිකාරයා මහ මඟදී ඇඳුම ඉල්ලා සිටිනවා. එවිට මහ මඟදී ඇඳුම දිය නොහැකියි. කාමයත් තමාට අයිති නැති අන් අයගේ දෙයක් යැයි සිතන්න.

කාමය හීනයක් වගෙයි. කාමය ගැන මෙම උදාහරණය දෙසත් බලන්න.

අඳුර වැටුණ පසු රාත්‍රියේ යහනට ගොස් නිදාගන්න විට ඔබ නොයෙකුත් නානාප්‍රකාර සිහින දකිනවා. තමන් කැමැති දේ මවාගෙන සිතින් සිහින දකිනවා. එහෙත් ඇස් ඇරලා බලන කල කිසිවක් සැබෑ නැත. මෙය කාමයේ ව්‍යාජ ස්වභාවය යි.

කාමයට වසඟ වූ ලෝකයා නොයෙකුත් පීඩා විඳීති. කාමයේ ආදීනව මෙසේ ය.

කාමය දුක් පිඩකි, දුකට හේතුව ද කාමයයි, දුකට නිදාන වන්නේ කාමයයි.

කාමයන් නිසා ජීවිතය විඳවන්නට සිදුවේ. කාමය නිසා තණ්හාව ඇතිවේ. තෘෂ්ණාව හරියට පිපාසයට ලුණු වතුර පානය කරන්නා සේ ය. කෙතරම් ලුණු වතුර පානය කළත් තම පිපාසය සංසිඳවා ගත නොහැකි ය.ලුණු වතුර පානය කිරීමෙන් තව තවත් පිපාසය වැඩි වීමක් සිදුවන අතර අඩුවීමක් නැත.

තෘෂ්ණාව තෘප්තිමත් කිරීමට පුළුවන් දෙයක් නොවේ. තව තවත් තණ්හාව ලියල ලියලා වැඩීම සිදුවේ. තණ්හාව නිසා ජාති දුක්,ජරා දුක් ආදී සසර දුක් වි¼දීමට සිදුවේ. අවිද්‍යාව තිබෙන නිසා ලෝක සත්ත්වයා නොයෙක් ආකාරයේ කර්ම සංස්කාර රැස් කරයි. කුසල් අකුසල් ආදිය රැස් කර තණ්හාවෙන් යුතුව කටයුතු කරලා “මම මගේ කියලා” හිතාගෙන තමාගේ ජීවිතයත් ,බාහිර ලෝකයේ ජීවිතයත්, බාහිර සංස්කාර ධර්ම උපාදාන කරගෙන භවයේ රැ¼දී සිටීමේ කැමැත්ත තබාගෙන සිටින විට නැවත මරණයෙන් පසුව ඉපදි ඉපදී ගමන් කරයි.

විශේෂයෙන් ම සීලය ආරක්ෂා කරන කෙනකුට කය සංවර කර ගැනීමෙන, වචනය සංවර කර ගැනීමෙන් ඇතිවන ඒ ශාන්ත නිවීම, සිතේ ඇතිවෙන ශාන්ත භාවය මේ ජීවිතයේ දී ම අත්දකින්නට පුළුවනි.

කාය සංවරයෙන් යුතුව කටයුතු කරන කෙනාට බොහෝ විට ඇතිවිය හැකි දුක්ඛ පරිලාශයන්ගෙන් සිත මුදාගෙන සිතට සුවයක්, සැනසීමක් උදාකර ගැනීමට හැකි ය.

එසේ ම මනස සංවර කර ගන්නා පුද්ගලයාට ඇතිවන මානසික සන්තාප පරිලාශ ආදිය දුරු කර ගෙන මනසේ ඇතිවෙන දුක නැති කර ගෙන කටයුතු කර ගැනීමට පුළුවන් ශක්තිය ලැබේ.

ගසක් මැදින් කොපමණ කැපුව ද නැවත නැවත වැඩෙන්නා සේ තණ්හාව ද තාවකාලිකව මැඩ පැවැත්වුව ද ඵලක් නැත්තේ ය. මැදින් කැපූ ගස නැවත, නැවත වැඩෙන්නා සේ තණ්හාව ද නැවත නැවත ලියලයි. ගසෙහි වැඩීම නැවැත්වීමට මුලත්, සෙසු මුලුත් වැඩීමට හේතුවන කාරණාත් නැති කළ යුතු ය.

එසේම තණ්හාව නැති කිරීමට තණ්හාව හා බැඳුණු සියලුම හේතුන් ද සමඟ සම්පූර්ණයෙන් නිරෝධ කළ යුතු ය. තණ්හාව සැඟව සිටින තාක් එහි යථා ස්වභාවයන් නොපෙනෙන්නේ ය.

එහෙත් ඇසට- රූප,කනට - ශබ්ද, නාසයට - ගන්ධය, දිවට - රස ,ශරීරයට - ස්පර්ශය, මනසට - සිතිවිලි යන අරමුණු හා ගැටෙන විට සැඟව ඇත්තා වූ තෘෂ්ණාව බුරා බුරා නැඟෙන්නේ ය. එවිට මිනිසුන් පරාර්ථකාමිත්වයෙන් දුරස් වී ආත්මාර්ථකාමීත්වය පෙරටු කොට ගෙන කටයුතු කරයි.

අති දීර්ඝ කාලයක් සත්ත්වයා සසර ඇද බැඳ තබන ලද්දේ තණ්හාව විසිනි. තෘෂ්ණාවේ දාසයෙක් බවට සත්ත්වයා පත්ව ඇත්තේ ය. එකී තෘෂ්ණාව නිරෝධ කිරීම සඳහා බලවත් වූ උත්සාහයක් තිබිය යුත්තේ ය.

ලොව්තුරා බුද්ධත්වයට පත්වීම අතිශය දුෂ්කර අභියෝගයකි. පෘථග්ජන ස්වභාවය ඉක්මවා ලෝකෝත්තර තත්ත්වයක් වෙත ළඟා වීම තුළින් බුදුරජාණන් වහන්සේ අභියෝග ජය ගැනීමේ පරමාදර්ශය ලොවට ලබා දුන් සේක. උන්වහන්සේ සියලු කෙලෙස් මරුන් පරදවා ලොව්තුරා බුද්ධත්වයට පත්වී එම දුෂ්කර වූ අභියෝගය ජය ගත් සේක.

මම සසර දුකට මුල්වන පංචස්කන්ධය නමැති ගෙය තනන වඩුවා සොයා සසර නොයෙක් ජාතිවල ඇවිද්දෙමි. එහෙත්, දක්නට නොලැබිණි. දැන් මම ඒ වඩුවා දුටුවෙමි. නුඹට මේ පංචස්කන්ධය නමැති ගෙය සෑදීමට හැකියාවක් නැවත නොමැත. ගෙයි පරාල බිඳ දැමුවෙමි. කැණිමඬල සුන් කළෙමි. තණ්හාව ක්ෂය කොට රහත් බවට පැමිණියෙමි. උන්වහන්සේ විස්තර කළ සේක.

මිනිසා අකුසලයට මෙන් ම කුසලයට ද, නැඹුරු වන්නේ තෘෂ්ණාව නිසා ය. ඒ අනුව දුකෙහි හෙවත් සංසාරික ජීවිතයෙහි හේතුව තණ්හාව බව වටහා ගත යුතු ය. සෑම දෙනා තුළම තෘෂ්ණාව ඇතත් එය අධිකව තිබීම තුළින් සිදුවන්නේ භෞතික විනාශය පමණක් නොව, ආධ්‍යාත්මික සැනසීමත් නැති වී යාමයි.

බුදුරදුන් දවස සිටි තෝදෙය්‍ය, ඉල්ලීස, ආනන්ද වැනි සිටුවරුන්ගේ ජීවිත කතා තුළින් පැහැදිලි වන්නේ කිසි දිනක සතුටු ජීවිතයක් ගතකර නොතිබීම බවත්, සතුටක් ලැබුවා නම් ඒ ධර්මය තුළින් පමණක් බවත් ය. මොන තරම් ධන සම්පත් තිබුණත්, මානසික තෘප්තියක්, සතුටක් නැත්නම් එම ජීවිතයෙන් ප්‍රයෝජනයක් නැත.

“සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් දේශනා කළේ සතුට උතුම්ම ධනය බවයි. අද සමාජය තුළ වුව ද දැකිය හැකි වන්නේ, මොන තරම් ධන සම්පත් ලැබුණත් සෑහීමකට පත් නොවීමේ අතෘප්තිකර ස්වභාවයයි. තෘෂ්ණාව නිසා අද සමාජය තුළ වුව ද, තමන්ගේ ආර්ථිකය විනාශ කර ගන්නා අයුරු දැක ගත හැකි ය.

සංසාරයේ සැප ලැබීමටත්, සසර කෙටි වීමටත්, සසරෙන් මිදීමටත් සත්ත්වයාට පිහිට වන්නේ, ආධාර වන්නේ කුසල කර්මයි.