Print this Article


පිම්මක්

පිම්මක්

අනුන්ගෙ වැරැදි සොය සොය යන සංසාරේ
පිනකට ලැබුන මිනිසත් බව මේ වාරේ
දුර්ලභ උපත ගෙන නැවතත් පෙර සසරේ
කළ කී දෙය ද කරමින් ඉන්නේ සොයුරේ

තමන්ගෙ කුඹුරෙ වල් පැල නොගලවා ඉඳන්
අනුන්ගෙ කුඹුරෙ වල් පැල ගලවනව සැනින්
කුඹුරේ අඩු පාඩු නොපෙනෙන ගොවියාගෙන්
වල් අස්වනු පමණි ගත හැකි සිය කුඹුරෙන්

තමාගෙ පිහිට තමහට ම යි සැමදාම
අනුන්ගෙ පිහිට ගෙන හිටියොත් වැනසීම
දහමේ පිහිට ගෙන සිටියොත් සැනසීම
ලැබෙන බවයි බුදු හිමියන්ගේ දෙසුම

කලණ මිතුරු සෙවණින් ඕවාද ගෙන
යා යුතු අරිය මග පිරිසිඳව දැනගෙන
මරු ඉඟිකරන්නට පෙර දුක හඳුනගෙන
පිම්මක් ගසමු මෙතරින් එතරට යැවෙන