Print this Article


ලෝක බෞද්ධ ප්‍රජාව අතරසම්භාවනාවට පාත්‍ර වූවේරගොඩ සාරද නා හිමි

ලෝක බෞද්ධ ප්‍රජාව අතරසම්භාවනාවට පාත්‍ර වූවේරගොඩ සාරද නා හිමි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ මහ ලේකම් සිංගප්පූරු බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ මහ ලේකම්, සිංගප්පුරු බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වේරගොඩ සාරද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දශක පහකට අධික කාලයක් ජාත්‍යන්තර ධර්මදූත සේවයේ නියැළුණ සුපේශල ශික්ෂාකාමි බහුශ්‍රැත පඬිරුවනකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වැල්ලබඩපත්තුවේ වේරගොඩ නමින් හඳුන්වන අති රමණීය ගැමි පරිසරයක උන්වහන්සේ ජන්මලාභය ලැබූහ. කෙළි දෙළෙන් ගත කළ ළමා වියේ දීම තුනුරුවන් කෙරෙහි බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කළ උන්වහන්සේ උතුම් පැවිදි දිවියට බෙහෙවින් රුචිකත්වයක් දැක්වූහ. පෙර සංසාරයේ පුරණ ලද පාරමී බලයත්, සැදැහැති මව්පියන්ගෙන් ලද ශාසනික උරුමයත් මත ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටලමත්තේ වජිරඤාණ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1953 වර්ෂයේ ජුනි මස 03 වැනි දින වේරගොඩ සාරද යන උතුම් ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රව්‍රජ්‍යාභාවය ලබන්නට තරම් භාග්‍යවන්ත විය.

සසුන්කෙත ආලෝකවත් කළ දීප්තිමත් පරිවේණස්ථානයක් වූ කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනේ වැඩ සිටි සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන්, සංඝසෝභන ගුණයන්ගෙන් පිරිපුන් යතීන්ද්‍රයන් වහන්සේගේ සෙවණේ ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුක්තව ධර්ම ශාස්ත්‍රිය ශික්ෂණය ලැබූ උන්වහන්සේ 1961 වර්ෂයේ දී ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. 1963 වර්ෂයේ දී මල්වතු මහා විහාරයීය රාජ පූජිත මංගල උපෝෂථාගාරයේ දී සුපරිශුද්ධෝපසම්පදාවට පත්වීමට පුණ්‍යවන්ත වූ වේරගොඩ සාරද ස්වාමින්ද්‍රයන් වහන්සේ 1964 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත්හ. ශ්‍රමණ සාරුප්‍යයෙන් පිරිපුන් භික්ෂු ආකල්පයන්ගෙන් සෝභමානව ශාසනානුලෝමී හැඟීමෙන් ලංකා ශාසනාම්බරය ප්‍රභාවත් කළ ශාස්ත්‍රඥයන් වහන්සේගේ ආභාසය උන්වහන්සේගේ පැවිදි දිවිය ප්‍රභාෂ්වරවීමට ප්‍රබල හේතුවක් වූ බව සඳහන් කළ යුතු ය. පරිවේණාධිපතීන් වහන්සේ නමක් වශයෙන් ධර්ම ශාස්ත්‍රිය සේවය ආරම්භ කළ උන්වහන්සේ සඟ සසුනේ චිරස්ථිතිය අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප විය. පූජ්‍ය කිරින්දේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනාවකට අනුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ මැලේසියාවේ පිනැං මහින්දාරාම විහාරස්ථානයට වැඩම කළහ. අනතුරුව මහින්දාරාම පාලි විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කළ වේරගොඩ සාරද හිමිපාණන් වහන්සේ එහි පරිවේණාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරමින් බෞද්ධ ග්‍රන්ථ රාශියක් ලෝක බෞද්ධ ජනතාව වෙත දායාද කිරීමට කටයුතු කර ඇත.

Treasury of Truth-Illustrated Dhammapada, life of the Buddha-in pictures, life of the Buddha (for children), Life of the Buddha in Gandhara Arts, Parents and children – key to Happiness, morals of the young, The only path to Nibbana Maha Satipatthana Sutta, Nature of life and Death, Maha Mangala Sutta the Highest Blessing, Moral stories-read them-colour Them, venerable Ananda-Buddha’s constant, companion, The Great Book of Protective Blessings, The Greatest man who ever lived, Vandana, Buddhist Devotions, Blessings to conquer sickness, Buddhist way of Meditation, First sermon of the Buddha Dhammachakkappavattana, sutta, Reflection on Death, The Buddha word, Doctrinal and cultural Aspects of Buddhist Beliefs and Practices Among Chinese and Sri Lankan Buddhists meditation on Loving-Kindness, Guide to Buddhist Pali Chanting Realities of life, quotations from Buddhist Literature, Buddhist Pali Chanting. The Miracle of mind Teach yourself Paliin English, Kalama sutta.

ආදී ග්‍රන්ථ ජාත්‍යන්තර බෞද්ධ ජනතාව අතර බෙහෙවින් ප්‍රකට ය. මෙම බෞද්ධ ග්‍රන්ථ අතර සිතුවම් සහිත ධම්මපදය ධර්ම ග්‍රන්ථය ලෝක බෞද්ධ ජනතාව අතර සම්භාවනාවට පාත්‍ර විය.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අගය කළ යුතු මහානීය සේවාවක නියැළුණ අග්‍රගණ්‍ය පඬිරුවනක් වශයෙන් ලෝක බෞද්ධ ප්‍රජාව අතර සම්භාවනාවට පාත්‍ර වූ වේරගොඩ සාරද නාහිමිපාණන් වහන්සේ ධර්ම දූත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් නිර්මල ථෙරවාදී බුදු දහමේ ආශිර්වාදය තවදුරටත් විශ්වය පුරා ව්‍යාප්ත කිරීම පිණිසම ධර්ම ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් විවිධ භාෂාවන්ගෙන් මුද්‍රණය කොට නොමිලයේ බෙදාහැරීමට කටයුතු සම්පාදනය කළහ.

ලෝක ආගමික ශාසනික මෙහෙවරෙහි අනර්ඝතම අවස්ථාවන් සනිටුහන් කළ උන්වහන්සේ, ථෙරවාදී බුදුදහම විශ්ව ව්‍යාප්තියක් පුරා රැගෙන යාමේ උච්චතම කාල පරිච්ඡේදයට ළඟා විය. ඒ නූතන විදේශීය වියතුන් බුදු දහම කෙරෙහි දක්වන රුචිය සපුරාලීමට කටයුතු කරන විචක්ෂණ පඬිරුවනක් වශයෙන් ජපානය තුළ නාලන්දා නමින් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම ය. එපමණකින් නොනැවතුන උන්වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ සමඟ අමෙරිකානු නිව්යෝක් බෞද්ධ විහාරය ආරම්භ කරමින් සසර තරණය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන සුවහසක් සැදැහැති බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මය අමාදහම් ඔසුවෙන් සුවපත් කිරීමට සමත් විය. 1979 වර්ෂයේ දී සිංගප්පූරුවට වැඩම කළ සාරද හිමිපාණන් වහන්සේ සිංගප්පූරු ජනතාව වෙනුවෙන් සිංගප්පූරු බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

අත්දැකීම් බහුල පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් ජාත්‍යන්තර ධර්ම දූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලෙස 7 වන බෞද්ධ සම්මේලනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට පුරෝගාමීව කටයුතු කළ උන්වහන්සේ තම මාතෘභූමියට ජාත්‍යන්තර කීර්තියක් අත්කරදීමේ භාරදුර කාර්යභාරය මැනවින් ඉටුකිරීමට වගබලා ගත්හ.

එතුළින් විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවිය. ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ අධ්‍යක්ෂ ලෙස ලෝක ශාසනික මෙහෙවරෙහි නියැළුණු මාපලගම විපුලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහයෝගය ඇතිව ජපන් ශ්‍රී ලංකා බෞද්ධ සංගමය ආරම්භ කිරීමට ද පුරෝගාමී වූ උන්වහන්සේ ත්‍රස්තවාදී විපත් තුළින් ශ්‍රී ලංකාව විපතට පත් කාල පරිච්ඡේදයේ දී මාතෘ භූමියේ ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ඩොලර් 10000ක මුදලක් ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කිරීමට ද කටයුතු කළහ. තම උපන්ගම වූ ගාල්ල දිස්ත්‍රික්කයේ වැල්ලබඩපත්තුවේ වේරගොඩ නමැති ග්‍රාමය අමතක නොකළ උන්වහන්සේ එම ප්‍රදේශයේ දියුණුව හා අභිවෘද්ධිය වෙනුවෙන් තම යුතුකම් හා වගකීම් කොටස ඉටු කිරීමට ද පියවර ගෙන ඇත. ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා ශිෂ්‍යත්ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, වේරගොඩ ජයන්ති විහාරය ඉදිකිරීමටත් පියවර ගෙන ඇත. සුනාමියෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ක්‍රියා කළ උන්වහන්සේ ගෝනපොළ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද ළමා නිවාසය ආරම්භ කරමින් විපතට පත් දරුවන් සුරක්ෂිත කරමින් රැකවරණය ලබා දුන්හ.

ජාතික, ආගමික, සාමාජික වශයෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් වේරගොඩ සාරද නාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැකි ය.

උතුම් පැවිදි දිවියට වසර 68ක් සම්පූර්ණව ජන්ම ලාභයෙන් 80 වැනි වියේ පසුවන උන්වහන්සේ දශක පහකට අධික කාලයක් සිදුකළ ප්‍රසංසනීය සේවය බොහෝ අවස්ථාවල දී සම්භාවනාවට පාත්‍ර විය. උන්වහන්සේ කාම්බෝජ රජු ඇතුළු කාම්බෝජ රජයේ ගෞරව බහුමානයට ද පාත්‍ර විය. උන්වහන්සේගේ උදාර ශාසනික සේවය අගය කළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නය විසින් සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමට ද කටයුතු කර ඇත.

උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා.