Print this Article


ලක්දිව එළිය කළ අනුබුදු මිහිඳු හිමි සිහිකර වඳිමු ගුණ කඳ සැදැහෙන් නිතිනී

ලක්දිව එළිය කළ අනුබුදු මිහිඳු හිමි සිහිකර වඳිමු ගුණ කඳ සැදැහෙන් නිතිනී

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අප සිරිලකට දායාද කොට වදාළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. උන්වහන්සේ පිරිනිවන් පා අදට වසර 2282 ගත වී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

එදා අප ගෞතම බුදුසසුනේ වැඩ සිටි මහානුභාව සම්පන්න මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තුන්වැනි ධර්ම සංගායනාව සිදු කෙරිණි. ඉන්පසු රහතන් වහන්සේලා රට රටවලට ධර්ම ප්‍රචාරය සඳහා යැවීමට තීරණය විය. එහිදී මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේ මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේට වදාළේ

“ඔබ වහන්සේ ලංකා දීපයට වැඩම කොට ගෞතම බුදු සසුන පිහිටුවීමට උපකාරී වන්නැ'යි” යනුවෙනි.

ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ තැන ලක්වැසි අපට අමා දහම් වස්වනු පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් රහතන් වහන්සේ ප්‍රමුඛ කොට සෘද්ධිමත් සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක උපාසකත් සමඟ එ දවස පොසොන් පෝ දිනක සිරිලකට වැඩම කළ සේක.

ධර්මදූත මෙහෙවරේ ආරම්භය...

අධර්මයෙන් මිනිසුන් මුදවා, ධර්මයේ පිහිටුවීමේ මූලික අභිප්‍රායයෙන් අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මදූත මෙහෙවර ආරම්භ කළහ. උන්වහන්සේ දෙවනපෑතිස් රජුලවා මහා විහාරය කරවූහ.

දෙවනුව මිහින්තලේ සෑගිරියත්, තෙවනුව ථූපාරාම සෑරදුන් වහන්සේත් ඉදිකර වූහ. සිව්වනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර වූ අතර පස්වනුව රුවන්මැලි මහ සෑ රදුන් වහන්සේ ඉදිවන ස්ථානයේ ගල්ටැඹ පිහිට වූ සේක.

සයවනුව ඉසුරුමුණි විහාරය මෙන්ම පඨමක චේතියත්, වෙස්සගිරිය විහාරයත් කරවීමට අනුශාසනා කළ සේක. එදා පටන් ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය අපට උරුම විය.

එමෙන්ම ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීම ආදියෙන් භාණක පරම්පරා බිහිකොට ලංකාදීපය බැබළ වූ උන්වහන්සේ අප ලක් දෙරණට මහත් සරණක්, පිහිටක් ලබා දුන් සේක. භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා යන සිව් පිරිස ම මිහිඳු මහ රහතන් වහන්සේ ලක් දෙරණෙහි පිහිටු වූ සේක. උන්වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමානව ලොවට යහපත පිණිස බොහෝ කටයුතු සිදුකොට වදාළහ.

මිහිඳු මහරහතන් වහන්සේ ලක් දෙරණට වැඩම කළේ අවුරුදු 32 දී ය. උන්වහන්සේ අවුරුදු අසූවක් ආයු වැළඳූ සේක. ඒ අතර කාලයේ දී උන්වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කළ බවට සඳහනක් නැත. උපසම්පදාවට සැට වසරක් පිරී තිබුණි. ඒ කාලයේ උන්වහන්සේ වැඩ සිටියේ සෑගිරි වෙහෙරේ ය.

හිරු මඬල බැස යයි...

දෙවන පෑතිස් රජුගේ සොහොයුරු වූ උත්තිය රජු එකල මෙරට පාලනය කළේ ය. ඒ කාලයේ දී සියලු ධර්මයන් අනිත්‍ය බව පසක් කරමින් අපගේ කල්‍යාණ මිත්‍ර වූ ආධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේ වූ මිහිඳු මා හිමියෝ පිරිනිවන් පා වදාළ සේක. එදින වප් මාසයේ පුර පක්ෂයේ අටවක දවස යි. එනිසා ම එදින, එකල හෙළ බොදුනුවන් හැඳින්වූයේ “ශ්‍රී මිහිඳුපුර අටවක” නමිනි. ඒ බුද්ධ වර්ෂ 284 දී ය.

මිහිඳු මාහිමි පිරිනිවන් පෑ බව ඇසූ උත්තිය රජු මහත් ශෝකයට පත් විය. මිහින්තලේ සෑගිරියට ගොස් මහ රහතන් වහන්සේගේ නිසල ශ්‍රී දේහයට වන්දනා කොට උන්වහන්සේගේ ගුණ කියමින් නොයෙක් ආකාරයෙන් හඬා වැළපුණේ ය.

ඉන්පසු රජු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය සුවඳ තෙල් පිරවූ රන් දෙනක තැන්පත් කරවා දේහය වසා රන්වන් කුළු ගෙයක් මත තබා එය කූඨාගාරයක් වෙත සාධු නාද මධ්‍යයේ තැම්පත් කොට ඉතා අලංකාරව මඟ දෙපස සරසා නොයෙක් පූජා පවත්වමින් අනුරාධපුරය දක්වා වැඩම වූහ.

මඟ දෙපස ධජ පතාක ඔසවා, තොරන් බඳවා, මල් මාලාවන්ගෙන් මාවත සරසා, පුන් කලස් තබ්බවා නගරය අලංකාර කරන ලදහ. මා හිමියන්ට කෘතගුණ දැක්වීමට බොදුනුවෝ නන් දෙසින් ඇදී ආහ. ශ්‍රී දේහය කූටාගාරයේ තැන්පත් කරවා සත් දිනක් පුරා අපමණ පූජෝපහාර පවත්වන ලදහ. දෙවිවරු අහස් ගැබෙන් මල් වරුසා වැස්සවූහ. දින සතකට පසු උත්තිය රජු නැඟෙනහිර දිසාවට මුහුණලා මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා බද්ධමාලක නම් ස්ථානයේ සුවඳ දරින් චිතකයක් කරවීය. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ භූමියට ගෞරව පිණිස ඉසිභූමංගන යන නාමය තබන ලදී. උත්තිය රජු විසින් එහහි අරහන්තක ධාතුන් වහන්සේ තැන්පත් කොට සෑයක් ඉදිකරවන ලදී.

අනුබුදු මාහිමි කෘතගුණ පූජා...

අනුබුදු මිහිඳු මාහිමියන් පිරිනිවීමෙන් පසු වසර 560 ක් ගත වූ තැන මෙරට රජ වූ මේඝවර්ණ නම් රජු විසින් මිහිඳු මා හිමියන්ගේ ගුණ සමරා මිහිඳු පුර අටවක දින මහා පින්කම් සිදුකොට ඇත. පසු කලෙක රජ වූ සිරිමෙවන් රජතුමා ද මිහිඳු මාහිමි ගුණ සමරා මහත් වූ පුද පූජා කළ බව මහාවංශයේ සඳහන් ය.

එහි සඳහන් පරිදි රජු විසින් මිහිඳු මා හිමියන්ගේ සිරුරෙහි පමණට ම තනි රනින් පිළිම වහන්සේ නමක් කරවා වප් මස පුර අටවකට පෙර දින මිහින්තලයට වැඩමවා අම්බස්ථලයෙහි වැඩ සිටීමට සැළැස්වීය.

පසුදින ලංකාදීපයේ බොහෝ භික්ෂූන් වහන්සේ ද, සිවුරඟ සේනාව ද, නගරවාසීන්ද කැටුව අපට අනුබුදු රුවන බඳු ලංකාදීපයට ශාස්තෘන් වහන්සේ බඳු මිහිඳු මහ රහතන් වහන්සේ වන්දනා කිරීමට ගියහ. එමෙන්ම නගරයේ සිරගෙවල්වල සිටි සිරකරුවන් ද නිදහස් කොට, මහා දන්සල් පවත්වා මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා සියලු උපහාරයන්ගෙන් යුත් අපමණ පූජා පවත්වා ඇත.

අම්බස්ථලයෙහි පටන් අනුරාධපුර දක්වා මාර්ගය ඉතා පියකරුව සරසා මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිම වහන්සේ වැඩමවන දා භික්ෂු, භික්ෂුණී උභය සංඝයා වහන්සේ උදෙසා සිවුපසයෙන් දන් පූජා කොට දුගී මගී යාචකයන්ට ද මහ දන්සල් දී

“ජනතාවනි, අපගේ මිහිඳු මා හිමියන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරන අයුරු මෙසේ බලව“

කියමින් සිරිමෙවන් රජතුමා මහත් වූ හරසරින් පිළිම වහන්සේ වැඩමවා ගෙනැවිත් නගරයේ නැඟෙනහිර දොරටුව අසල කරවන ලද විහාරයෙහි තුන් දිනක් වඩා හිඳුවාලී ය.

එම මන්දිරයේ ම ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන හා භණ්ඩුක රහතන් වහන්සේගේ ද පිළිම වහන්සේ කරවා එහි වඩා හිඳවූහ. එලෙසම වාර්ෂිකව මෙවැනි උපහාර පූජෝත්සව පවත්වන්නට රාජ නියෝග ද කළේ ය.

ඉන්පසු සිරිමෙවන් රජුගේ පරම්පරාවෙන් පැමිණි ලක්දිව රජවරු එම මිහිඳු පුර අටවක පෝදා උපහාර පූජාව නොකඩවා වසර තුන්සියයක් පවත්වා ඇති බව සඳහන් වේ.

මෙවර මිහිඳු පුර අටවක පෝදා දිනය යෙදෙන්නේ අද (03) දිනට ය.

ලක්වැසි අපි සියලු දෙනා අපට ශාසන දායාදය ලබා දුන් ඒ උත්තම මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සමුදාය සිහි කරමු. උන්වහන්සේට නමස්කාර කරමු. උන් වහන්සේ හඳුන්වා දුන් ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් සුවපත් කර ගනිමු.