Print this Article


පව මිහිරි යැයි සිතන තාක් විපාකය අමිහිරිය

පව මිහිරි යැයි සිතන තාක් විපාකය අමිහිරිය

සැවැත් නුවර සිටු දියණියක් වූවා. ඇය උපුල් මලක් වගේ ඉතා ම පැහැත්. ඒ සිටු දියණිය පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ නැණ ගුණැති මහ උවැසියක් ව සිටියා. ඒ බුදුරජාණන් වහන්සේ මෙහෙණින් වහන්සේ නමක් අගසැවි තනතුරෙහි පිහිටුවන සැටි ඇය දැක්කා. එය සිතේ තබා ගනිමින් සත් දිනක් පුරා මහ දන් පිදුවා. ඒ පුණ්‍ය මහිමයෙන් “මම ද මතු බුදුවන ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට අගසැවි වේවා“ යි ප්‍රාර්ථනා කළා.

මරණින් මතු ඇය සසර ගමනේ දෙව්, මිනිස් සැප ලැබුවා. ඒ ඇයගේ ප්‍රාර්ථනාව ද සමඟිනියි. එසේ සැරි සැරූ එක් භවයක ඇය නැවත ලොව ඉපදුණා. දිනක් පසේ බුදු රජාණන් වහන්සේ නමකට ගරු බුහුමන් කොට උපුල් මල් පූජා කර ගැනීමේ පින්බර අවස්ථාවක් උදාකර ගත්තා. ඒ අවස්ථාවේ ද ඇය ප්‍රාර්ථනාවක් කළා. ඒ උපනූපන් භවයෙහි ම මාගේ සිරුර උපුල් මල් මෙන් කැලුම් ඇතිවේවා“යි යනුවෙනුයි. එසේ ඇය කළ ප්‍රාර්ථනාව මේ අත් භවයෙහි ඉටු වුණා.

මෙලෙසින් උපුල් පැහැ කැලුමෙන් වැඩෙන සිටු කුමරිය කෙරෙහි උසස් පවුල්වල තරුණයන්ගේ සිත් නෙත් ඇළුණා. පිනට, දහමට හිතැතිව වැඩෙන තම දියණිය කැඳවා දියණිය සරණ පාවාදීමේ ගිවිසුම් සඳහා ඇයගේ අදහස් විමසුවා. එහෙත් ඇයගේ ප්‍රාර්ථනාව ලස්සන යුග දිවියක් නොවෙයි. ඇය මවුපියන්ට මෙලෙස පැවසුවා. “අම්මේ තාත්තේ ඔබ මට දෙන එක ම සරණ නම් මහණවිමට අවසර දීමයි“ ඇය ඉල්ලා සිටියා. දියණියගේ එම ඉල්ලීම ඉටු කිරීමට මවුපියන් කැමැත්ත පළ කළා. දියණියගේ කැමැත්ත උසස් අයුරින් ඉටු කිරීම සඳහා කටයුතු කළා. මහ පෙරහර පවත්වා, මෙහෙණින් වහන්සේ වෙසෙන ආරාමයක දී පැවිදි කරවූවා.

එසේ පැවිදි වූ සිටු දියණිය ටික කලෙකින් ම කෙලෙස් බැමි සිඳ දමා රහත් බව ලැබුවා. පසු කාලයක දී උන්වහන්සේ භාවනා පිණිස අන්ධ වනයට වැඩම කළා. කුඩා කුටියක වාසය කළා.

නන්ද නම් තරුණයෙක් ගිහි කාලයෙහි සිට ම උපුල්වන් මෙහෙණින් වහන්සේ කෙරෙහි පෙම් බැඳ සිටියා. එහෙත් ඇයට ඒ කෙරෙහි කිසිදු හැඟීමක් වූයේ නෑ. නන්ද නම් තරුණයා මෙහෙණින් වහන්සේගේ ගිහි කල නෑකමට මස්සිනා වූවා. එසේ හෙයින් නෑනාට මේ ගැන බලකිරීමේ අදහසක් ඔහුගේ සිතේ ඇති වුණා. ඔහු රාගයෙන් පීඩිත වුණා. අන්ධ වනයට පැමිණියා. මෙහෙණි ආරාමය අසල සැඟවී සිට මෙහෙණින් වහන්සේ පිඬු සිඟා වඩින කාලයෙහි කුටියට ඇතුළුව සැඟවුණා. පිඬු සිඟා වැඩි මෙහෙණින් වහන්සේ නැවත කුටියට පැමිණියා. දන් වැළඳීමෙන් අනතුරුව කුටියේ දොර වසා සැතපීමට සැරසුණා.

නන්ද නම් තරුණයා එසැණින් ඇය වෙත පැමිණියා. එවිට මෙහෙණින් වහන්සේ “අනුවණ ය, පවිටු කම් කොට නො නැසව, නො නැසව‘යි හඬ නඟද්දී ම මද අවසරයක් ද නො තබා තම අදහස ඉටු කර ගත්තා. එසේ හැසිරුණු නන්ද පොළොව මත පා තැබූ සැණින් පොළොවෙහි ගිලී අපායෙහි වැටුණා.

මධුවා මඤ්ඤතී බාලො
යාව පාපං න පච්චති
යදා ච පච්චතී පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති

“අකුසලය යම්තාක් කල් විපාක නො දේ ද ඒතාක් කල් බාලයා ඒ මිහිරි‘යි සිතනවා. “

අප ජීවත්වන සමාජයේ ද මෙවැනි පුද්ගලයන් නැත්තේ නොවේ. ධර්මයෙහි හැසිරෙන උත්තමාවියක් පමණක් නොව යම් පතිවෘතාවක් දරන කාන්තාවක් හෝ කුඩා මල් කැකුලක් වන් දියණියක් විනාශ කිරීමේ පාපය කොතෙක් දැයි වැටහෙනවා ද? අන් පුද්ගලයෙක් නොව තම පියා, සහෝදරයා, සීයා, ගුරුවරයා අතින් මෙවැනි අකටයුතුකම්වලට මුහුණ දෙන අසරණ දරුවන් වර්තමානයේ කොතෙක් සිටිනවා ද? මේ හැම පුද්ගලයකුගේ ම අවසානය මොනතරම් අවාසනාවන්ත අයුරින් නිමවෙනවා ද කියා දැක ඇත්තෙමු.

යම් වූ ද පාප කර්මයක් කිරීමට සිත් පහළ වේ ද එහි ආදීනවය තමන් විසින් ම විමසා බැලිය යුතු වනවා. නුවණැති පුද්ගලයා පව්කම් කිරීමෙන් කිසිදු අදහසක් ඉටු කර ගැනීමට, ලාභයක් ලැබීමට කැමැති වන්නේ නෑ. ඒ ඔහු පවෙහි විපාක දන්නා නිසයි. අනුවණයා තමන් විසින් කළ අකුසලය මිහිරි රසයක් යැයි සිතනවා.

බුදුරජාණන් වහන්සේ මේ කරුණ නිමිති කොට දේශනා කළේ

පව විපාක නො දෙන තෙක් අනුවණයා එය මිහිරි කොට සිතන බවයි. විපාක දෙන විට බොහෝ සෙයින් දුකට පැමිණෙන බවයි.