Print this Article


බලාපොරොත්තු ඉටුවන තුරුම වෑයම් කළ යුතු ය

බලාපොරොත්තු ඉටුවන තුරුම වෑයම් කළ යුතු ය

“උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසොභිවඩ්ඪති”

පින්වතුනි,

කුම්භඝෝෂක නම් තරුණයෙක් අරමුණු කර ගෙන දේශනා කළ ගාථාවක් මා විසින් ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ. මෙය ධම්මපදයෙහි අප්පමාද වර්ගයේ සඳහන් වන ගාථාවක් වන අතර, මෙහි අර්ථය මෙසේ ය.

නොපසුබස්නා වීර්යය, මනා සිහිය, පිරිසුදු ක්‍රියා ඇති බව, විමසා කටයුතු කිරීම, තැන්පත් ගතිය, දැහැමි දිවි පෙවෙත, අප්‍රමාදය යන කරුණු සත මෙලොව දියුණුව සැලසීමට සමත් කරුණු බව ය.

නොපසුබස්නා වීර්යය නම් කිසියම් දෙයක් කිරීමට පටන් ගත් කල්හී කොතරම් අවහිර බාධා පැමිණිය ද ඒ කිසිවක් ගණනකට නොගෙන තම අදහස් මුදුන් පත් වන තුරුම අතරමඟ නතර නොකොට කර ගෙන යාමයි. මහ බෝසතුන් වුව ද බුද්ධත්වය අවබෝධ කර ගැනීමේ අරමුණෙන් ඇසතු බෝ රුක මුල හිඳ ගනු ලැබුවේ

“මාගේ ශරීරයෙහි මස් ලේ වියළී, සම් මස් නහර ඇට පමණක් ඉතිරි වුවත් මාගේ අරමුණ මුදුන් පත් කර නොගෙන මේ ස්ථානයෙන් නොනැඟිටිමි” කියන බලවත් අධිෂ්ඨානයෙන්ම. තම බලාපොරොත්තුව සඵල වන තුරුම වෑයම් කළ යුතු බවයි ඉන් අර්ථවත් වන්නේ.

හොඳ සිහියෙන් විසීම සෑම මොහොතක දී ම අවශ්‍ය දෙයකි. යම් වේලාවක දී සිහියෙන් තොරව කටයුතු කළ හොත් මොනම තරමේ අනතුරකට, විපතකට අලාභයකට මුහුණ දීමට සිදු වේ'දැයි කිව නොහැකි ය.

කටු සහිත බිමක පාවහන් නොමැති ව ඇවිදින කෙනකු පයෙහි කටු ඇණෙනවාට බියෙන් මොන තරම් සිහියෙන් යුතුව පරෙස්සමෙන් ඇවිදිය යුතු ද එතරම් ම වූ සිහියකින් යුතුව භික්‍ෂුව ගමෙහි හැසිරිය යුතු බව ථේර ගාථා පාලියේ සඳහන් වේ.

එබැවින් ගිහි පැවිදි කාහට වුව ද නියම ඵල ප්‍රයෝජන ලබා ගැනීමට සිහිය අවශ්‍යම දහමකි. සිහිය කෙතරම් වටිනවා දැයි වැටහෙන්නේ සිහිය නැති උමතු අය දකින විටයි. එතරම් වටිනා සිහිය රැක ගන්නවා විනා සමහරෙක් සිහිය විකෘති වන මත් ද්‍රව්‍ය ආදිය පරිහරණය කෙරෙති. එය අඥානයින්ගේ ක්‍රියාවක් බව ද අමතක නොකළ යුතු ය.

හොඳ වැඩ සියල්ල පිරිසුදු ක්‍රියා ය. ඒ අනුව නරක වැඩ සියල්ල අපිරිසුදු ක්‍රියා බව පැහැදිලිය. මෙම කාය කර්මයන්ගෙන් වැළකෙන අතරම පිරිසිදු වචනයෙන් යුක්ත වීමත් වැදගත් ය.

බොරුව ,කේළම, පරුෂ වචන, හිස් වචන යන සතරයි. එබැවින් කයේ හා වචනයේ සංවරය ඉතාම වැදගත් ය .

විමසා ක්‍රියා කිරීම නම්, සෑම වැඩක්මත් සෑම කතාවක්මත් කිරීමට පෙර ඒ නිසා ලැබෙන ප්‍රතිඵලය ගැනත් සිතලා බලන්න ඕනෑ. බුදු දහම තුළින් ප්‍රකාශ වන්නේ නොවිමසා, අවිචාරයෙන් කිසි දෙයක් කරන්නට හෝ කියන්නට සුදුසු වනබවයි .

සඤ්ඤත බව නම් ගොරෝසු ඇවතුම් පැවතුම්වලින් තොරකමයි. විනීත, ශික්‍ෂිත හැසිරීමයි . එදා අශෝක මහ රජු පවා පහන් වූයේ නිග්‍රෝධ සාමණේරයන්ගේ සංසුන් පැවැත්මටයි “ අසඤ්ඤතො පබ්බජිතො න සාධු ” සංසුන් කමෙන් තොර පැවිද්දා නුසුදුසු බව දේශනා කොට තිබේ.

දැහැමි දිවි පෙවෙත නම් ජීවත් වීම සඳහා ධනය රැස් කිරීමේ දී මී මැස්සෙක් මලටත්, මලෙ පැහැයටත් කිසිදු හානියක් නොකර රොන් ගන්නා සේ බාහු බල වෙහෙසා උත්සාහයෙන් දැහැමිව කරනු ලබන රැකියාව හෝ වෙළඳාම නිවැරැදි ලෙසින් ම කළ යුතු ය යන්නයි . වැරදි වෙළඳාමෙන් තොරව කටයුතු කළ යුතු ය. අදැහැමි විදියට මුදල් රැස් කිරීම පහසු ය. ගිහියකුට තිබිය යුතු සැප අතුරෙන් ‘අනවජ්ජ සුඛය’ කිසිදාක නිවැරැදි ලෙසින් ජීවත් නොවුණොත් නොලැබේ.

අධර්මයෙන් ජීවත් වනවාට වඩා දැහැමිව මිය යාම ඉතා හොඳ බව සඳහන් වේ .

අප්‍රමාදය නම් ප්‍රමාදයෙන් තොර බවයි. පමා වීම කිසිදු දෙයකට හේතු නොවෙයි බුදුරදුන්ගේ අවසන් බුද්ධ වචනය වන්නේත් “ අප්පමාදෙන සම්පාදේථ” පමා නොවී කුසල ධර්ම පිරිය යුතු බවයි

මේ ගාථාවෙහි කියවුණු පරිදි යම් පුද්ගලයකු ඉහත කී කරුණු හත ප්‍රගුණ කරන්නේ නම්, ඔහුගේ යසස වර්ධනය වන බව කියැ වේය. යසස කියන්නේ අන් කිසිවක් නොව අධිපතිකම භෝග සම්පත්තිය, කීර්ති සමිපත්තිය, පරිවාර සම්පත්තිය, ඥාති සම්පත්තිය, ඒ වගේ ම ගරු බුහුමන් යන සියල්ල යි.

ඒ නිසා මේ කියූ කරුණු තේරුම් ගෙන යමෙක් තම ජීවිතයට පුරුදු පුහුණු කර ගන්නේ නම්, මෙලොව පරලොව දියුණුව සලසා ගෙන ඒ උතුම් ප්‍රතිපත්ති බලයෙන් නිවන් සුව ලැබීමටත් අධිෂ්ඨාන කෙරෙත්වා.