Print this Article


සාඩම්බර අභිමානයකට උරුමකම් කියන සල්ගල වන සෙනසුන

සාඩම්බර අභිමානයකට උරුමකම් කියන සල්ගල වන සෙනසුන

සතර කෝරළයට අයත් බෙලිගල් කෝරළයෙහි රහතුන් වහන්සේගේ පාදස්පර්ශය ලද කෑගලු පුරවරයේ තවත් එක සංස්කෘතික නිකේතනයක් පිළිබඳ සාඩම්බරනීය මතකයක් මෙසේ සනිටුහන් කරමු.

අවුරුදු දෙදහස් ගණනක පුරාණ ඉතිහාසයක් පිළිබඳ අපූරු කතාන්දරයකින් විශිෂ්ටත්වයට පත් සල්ගල ආරණ්‍ය සේනාසනය මෙරට බෞද්ධ සංස්කෘතියේ සත්‍ය ප්‍රතිමූර්තියකි.

වැඩියෙන් සිසිල් නොවූත්, වැඩියෙන් උණුසුම් නොවූත් බැලු බැලූ තැන්හි අහස්ගව්ව ගෑවෙන නොගෑවෙන තරමට ලොකු මහත් වූ තුරු පෙළින් සැදුම්ලත් කැටහිල්ල මූකලානෙහි මෙකී ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ. බොදු දරුවෙක් රකින්නාක් මෙන් තරගයට මෙන් හිස එසවූ ගස් කොළන් නිසා 1931 දී රාජ්‍ය නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක මැතිතුමා මුල් වී එළි පෙහෙළි කරන තුරු මෙම සල්ගල වන සෙනසුන වන රක්ෂිතයෙහි සැඟවී සිට ඇත.

කඳු හෙල් පර්වත සුලබ දසුන් වන මෙම ප්‍රදේශයේ සල්ගල වන සෙනසුන වෙත යා යුතු මඟ රබර් වතු යායකින් වටලාගත් කඳු මුදුනක් වන අතර, දුෂ්කර ගමන පයින් ම යාමට සිදු වූවත් බොහෝ දෙනා එම කටුකත්වය පවා භුක්ති විඳින්නේ අපරිමිත බැති සිතිනි.

විශේෂයෙන්ම කිව යුතුව ඇත්තේ ශ්‍රී ලාංකීය ආරණ්‍යවාසී සම්ප්‍රදායේ අගනා ප්‍රතිපත්තිමය හර පද්ධතියක් තවමත් මෙම සල්ගල සෙනසුනෙහි ආරක්ෂිතව පවත්නා බවයි.

මෙම විහාර භූමිය වළගම්බා රාජ්‍ය සමයේ රාජකීය නවාතැනක් බවට පත්ව තිබූ බවට අද වන විට සාධක ලැබී ඇත. එතුමාගේ රාජ්‍ය වකවානුව බු.ව 440 පමණ අතීතයට දිවෙන අතර ඊට පළමුව ද භික්ෂුන් වහන්සේ මෙහි වැඩ සිටි බව තහවුරු කෙරෙන ලිපියක් ගිජ්ජකූට ලෙනෙහි කටාරමට යටින් “භාතෘ ධර්ම ගුප්ත ලෙන” යන ලිපියෙහි සඳහන් වී තිබීමෙන් එහි සත්‍යතාව තහවුරු කෙරෙයි.

ජනගහනයෙන් තොර වූ වනගහන කලාපයක ඇති නිසාදෝ මේ වන තුරාවට ස්වභාවිකත්වය නොකෙලසුන චමත්කාරයක් මෙහි තිබේ. වට අඩි හැටක් වන වෘක්ෂ රාජයෙක් මෙම රක්ෂිතයට තවත් ආඩම්බරයක් එක් කරයි.

මෙම ආරණ්‍ය සේනාසනයෙහි භික්ෂූන් වහන්සේ වැඩ සිටිනුයේ කළු ගලින් සෑදුනු කුටි සමූහයක ය. එකකට එකක් ඈතින් පිහිටා තිබීම නිසාවෙන් කිසිදු ඝෝෂාවක් එහි නොවේ. කුරුලු නාද ,සුළඟ හා මුසු වූ පරිසරයේ නාද හැරුණු විට භික්ෂූන් වහන්සේගේ දැහැන බිඳින්නට සමත් වූ සමතෙක් නැත. ගල් ලෙන් තුළ භාවනායෝගී වන උන්වහන්සේගේ නිරාමිස භුක්තිය බාහිරින් දකින අපට මැන බැලිය හැකි නොවෙයි,

එමෙන්ම ආරණ්‍යවාසී වූ උන්වහන්සේගේ දින චර්යාව ග්‍රාමවාසී සම්ප්‍රදායට වෙසෙසින් ම වෙනස් ස්වරූපයක් දරයි. එමෙන්ම මෙම සල්ගල වන සෙනසුනෙහි පිප්ඵලී, වේහාර, ඉසිගිලි, වේපුල්ල, ඇතුබැඳි ලෙන ආදී කටාරම් කොටා ඇති ලෙන් හයක් තිබේ. ඊට අමතරව බැලුම්ගල ,අතාවුද , මහව කුටිය , අරණායක කුටිය, හේමාලෝක හා හෙය්යන්තුඩුව කුටිය ලෙස නම් කරන ලද කුටි බොහෝ ප්‍රමාණයක් මෙහි වේ.

පොළෝ තලයෙහි තැනිතලාවෙක සිට බැලුව හොත් සල්ගල සේනාසනය උස්ව ගොඩනැඟුණු කඳු කපොල්ලකි. මෙම කඳු කපොල්ලෙහි මුදුන් කුටිය වෙත නැඟුªණු කල සකස් කරන ලද සක්මන් මලුවක් දැක ගත හැකි ය.

මෙම විහාරස්ථානය පිළිබඳ අදහස් දක්වන සල්ගල ආරණ්‍ය සේනාසනයේ සුජාත ලොකු හාමුදුරුවෝ විස්තරය කළ ආකාරයයි මේ.

“මේ ආරණ්‍ය සේනාසනය දැවැන්ත ඉතිහාස කතාවක් එක්ක ලොකු මහත් වෙච්ච එකක්. මහාවංශ කතාවෙ එන විදියට වළගම්බා රජතුමා හැංගිලා හිටපු තැනක් තමයි මේ.කාලෙ වෙනකොටත් මේ විහාරයේ භික්ෂූන් වහන්සේ වාසය කරල තියෙනවා. ගොඩක් වෙලාවට මේ වනවාසී ආරාමයේ ගමන, නිවන අරමුණු කර ගත් එකක්...”

“මෙහි ගන්ධ කුටියෙ තියෙනවා එක්තරා සමාධි පිළිමයක්. මෙම පිළිම වහන්සේ තුළ සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටිනවා . ඒ වගේම මේ විහාරයට ඇතුළු වෙන තැන තියෙන ගල් උළුවස්ස ඩී.එස් සේනානායක මහතා පූජා කරපු එකක්.”

අතීතයෙන් අපට හිමි වූවා සේ වර්තමානයෙන් අනාගතයට තිළිණ වන සල්ගල වන සෙනසුන නම් ආරණ්‍ය සේනාසනයේ තේජාන්විත හර පද්ධතිය නොදන්නා වූ බොහෝ දෙනාට දැන්වීම පිණිස මෙසේ කරුණු ගොනු කළෙමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි බෞද්ධ අධ්‍යනාංශයේ
කේ.ඒ ශෂී සඳලංකා ධර්මරත්න