Print this Article


නිකිණි සුපුන් සඳ දුටු සඳ සිහිවන දරමිටි පෝදා අතීත කතාව

නිකිණි සුපුන් සඳ දුටු සඳ සිහිවන දරමිටි පෝදා අතීත කතාව

වියැළුණු ඉපනැලි හා ඉරිතැළුණු වැව් තාවුලු සිපගෙන එන සුළඟ නියඟයේ අසිරිය කියයි. සියවසකට එපිට දුර්ග මංමාවත් දිගේ ගොන් කුර හඬත් සමඟ හැඬවුණු මිණිගෙඩි නාදය තවමත් ඒ සුළඟේ මුසුව ඇත. රජරට කොත්කැරළි අතරින් නිකිණි සඳ මෝරන විට අද ජීවිතයේ සැඳෑ සුවය විඳීන අයගේ මතකය දරමිටි පෝය තෙක් ගෙනයනු නිසැක ය.

12වැනි සියවසින් පසු රජරට ශිෂ්ඨාචාරය බිඳවැටී රාජධානිය නිරිතදිගට සංක්‍රමණය විය. එතැන් සිට සියවස් ගණනාවක් තිස්සේ අනුරාධපුරයේ සිද්ධස්ථාන අභාවයට ගියේ ය. මුලදී දකුණු ඉන්දීය ආක්‍රමණ හා වෙනත් පරසතුරු උවදුරු නිසාත්, පසු කාලයේ යුරෝපා ජාතින්ගේ ආක්‍රමණ නිසාත් අනුරාධපුරයේ සිද්ධස්ථාන අභාවයට ගියේ ප්‍රදේශයේ ජන ගහනය ද හීන වෙමිනි.

1869 වසර වනවිට නුවරකලාවියේ ම ඉතිරිව තිබුණේ බෞද්ධ විහාරස්ථාන 113කි. අනුරාධපුර පූජා නගරයේ විහාරස්ථාන දෙකකි. ඒ ශ්‍රි මහා බෝධී ස්ථානයත් රුවන්මැලි මහා සෑයත් ය. මේ පරිහාණි කාල වකවානුවේදීත් ජනීජනයා මහ බෝ මලුව රැක ගැනීමට භික්ෂූන් වහන්සේ හා එක්වූහ.

විශේෂයෙන් බෝමලුවේ ආරක්ෂක රාජකාරීයේ නියැළි විහාර ගම්වාසීහු ද, අවට පදිංචිකරුවෝ මෙන් ම, අවට ගම්වැසියෝ ද බෝ මලුවට රැකවරණය දෙන්නට දිවා රෑ කැපවූහ. අගෝස්තු මාසය රජරට නියං සමය වේ. ඒ වනවිට වැව් අමුණු සිඳී වියළී යයි. කෙත්වතු පාළුවන සමයකි. ජල හිඟය ද උත්සන්න වෙයි. සිසිලසක් ඇත්තේ බෝ මලුවේ පමණි. ආහාර හා ජල හිඟයට මූණපාන්නත් අතර වන සතුන් ද වේ. මේ සතා සිව්පාවා අතර කෑම් බීම් සොයා ගම්වදින අලි ඇතුන් බෝ මලුවට ද කඩාපනිති. ඔවුන්ගේ ප්‍රියතම ආහාරයක් වන්නේ බෝ දලු ය.

බෝ මලුව ස්ථර තුනකි. ඒ වැලිමලුව, මැද මළුව හා උඩමලුව වශයෙනි. අද මෙන් එදා වැලි මලුව වටා ප්‍රාකාරයක් නොවිණි. අද දක්නට ඇති ගල් ප්‍රාකාරය වැලි මලුව වටා ඉදිකරනු ලැබුවේ මහ නුවර යුගයේ දී රාජ්‍ය අනුග්‍රහය ලැබූ ඉලුපැන්දෙනියේ අත්ථදස්සී හිමියන්ගේ මූලිකත්වයෙනි. ඊට හේතුව ද අලි ඇතුන්ගෙන් බෝමලුව රැක ගැනීම ය.

වන අලි බෝ මලුවට කරන හානිය වැළැක්වීමට රජරට ගැමියෝ රෑ නොනිදා බෝ මලුවේ මුර කළහ. එහි දී ඔවුන්ට අවැසි වූ ප්‍රධාන ද්‍රව්‍යයක් වූයේ ගිනිමැල දැල්වීමට දර ලී ය. දුර ඈත සිටින ගැමියෝ ද මේ අවශ්‍යතාව හොඳීන් දැන සිටියෝ ය. එහෙත් අද මෙන් බර වාහනවලින් දර කඳු පිටින් පටවා ගෙන යාමේ හැකියාවක් එදා නොවිණි. එමෙන් ම සිතූ සැණින් අනුරාධපුර පූජා නගරයට පිවිසීමේ ගමන් පහසුව ද නොවිණි. මං මාවත්, වන දුර්ග , ගිරි දුර්ග, ජල දුර්ගවලින් පමණක් නොව අලි කොටි වලසුන්ගෙන් ද ගහන ය. ඒ නිසා බෝ මලුව වන්දනාවේ එන්නන්හට වන්දනා නඩ වශයෙන් ගොනුවී දින ගණනක් තිස්සේ පිය නැඟීමට සිදුවේ.

අගෝස්තුව වන විට ගොවිතැන් බත් කිරීම සිදු නොවේ. ජනයා එකලට යොමුව සිටින්නේ කෙත්වතු, හේන් හා වගාබිම් අස්වැද්දවීම හා පොදු වැඩකටයුතු වෙනුවෙනි. ඔවුන් පින් දහම් කිරීමට හා වන්දනාවේ යාමට ද රුචි මේ සමයට ය. ශුද්ධ නගරයේ වන්දනාවේ යාම ද ඔවුන්ගේ විනෝදාස්වාදය හා කාන්සිය මාන්සිය නැති කිරීමේ මහත් බලාපොරොත්තු ඉටු කර ගැනීමකි.

අඹරාව බැඳී ගොන් කරත්ත මේ ගමනට සූදානම් කර ගැනේ. අඹරාව යනු වියන ලද පොල් අතුවලින් කරත්තයට සකසා ගන්නා අර්ධකවාකාර වහළයයි. මේ සමය පූජාව සඳහා මල් සොයා ගැනීම පවා දුෂ්කර සෘතුවක් බැවින් කොළපත් සහිතව පුවක් මල් ගැලේ ඉදිරියේ එල්ලා ගන්නා අතර සුළු වශයෙන් කනබොන දෑ වතුර හා ගවයින්ට පිදුරු කට්ටයක් වැනි දෑ ද ගැල පිටුපස එල්ලාගැනීම මේ සංචාරකයින්ගේ පුරුද්ද ය.

මේ ගැලේ පුරවා ගන්නා බඩු බාහිරාදිය තුළ වැදගත්ම දෙය දරමිටි වෙයි. ඒ සඳහා හොඳීන් අවිලෙන එළිය හා රශ්මිය විහිදෙන වීර, සේරු හා දෙමට ආදී දෘඪ දැව ගස් වර්ගවලින් දර කඩාගෙන මිටි බැඳගනී. රාත්‍රී එළියට හා ආරක්ෂාවට හුලු අත්තක් සදා ගන්නේ දෙමට දර කීරි එකතු කර ගැනීමෙනි.

පසුදා පූජා නගරයෙන් එළිවන්නට කල්වේලා බලා ගමන පිටත් වන්නේ පේවී, සුදු වස්ත්‍ර ද පොදි බැඳගෙන ය. කාන්තාවන් හා කුඩා දරුවන් කරත්තයේ ඇතුළට නඟින අතර පිරිමි පුද්ගලයෝ පසුපසින් ගමන් කරති. රෑ බෝවන විට වන ගොමු මැදින් කෑකෝගසමින්, ගී සින්දු කියමින් ගමන් කරන පිරිස බෝ සමිඳුගේ ගුණ ද ගායනා කරති. මේ එවන් එක් සීපදයකි.

අහසේ පුන් සඳ සේ බැබළෙන  බෝ
අහසේ ගුණ නුවණින් පැතිරුණු  බෝ
හිරුගේ සවනක් රැස් විහිදෙන  බෝ
සොඳැ සේ වඳීමූ ජයසිරිමා     බෝ

අලුයම් කාලයට බසවක්කුලම වැව අසලට පැමිණෙන ගැල නවතා ගොන් බානට කන්න බොන්න මෙන් ම විවේකය දෙන වන්දනාකරුවෝ එතැන් සිට සූදානම් වී බෝ මලුවට යති. ඔවුන් හිසේ තබා ගෙන වන්දනා ගාථා කියා සාධු හඬින් මුමුණමින් රැගෙන යන දරමිටි බෝ මලුව වටා තැන්පත් කෙරේ. ඒ දවස බොහෝ විට නිකිණි පුර පසළොස්වක් පෝය දා ය. ඒ නිසාම නිකිණි පෝය රජරටට ‘‘දරමිටි පෝය‘‘ වෙයි.

බෝ මලුවේ ආගමික වතාවත් සිදුකර තමන්ට නිදුක් නීරෝගී භාවය හා ගමට රටට ආශිර්වාද කර ගොවිතැන් සශ්‍රීකවීමට බෝ සමිඳුන්ගේ පිහිට අයැද සිටීමට සැදැහැවත්හු වගබලා ගනිති. රාත්‍රී කාලයේ මලුවට නිතිපතා එකතුවන ගැමියෝ දර මිටි ගෙනා පිරිසට පින් දෙමින් ඒවා දල්වා ආලෝකය හා තාපය සපයා ගනිති.

බිනර පොහොය පසුවන තුරු මේ ව්‍යායාමය උත්තම පූජාවක් ලෙස එදා සිදු කෙරිණි. ඒ නිසා අදත් නිකිණි සරා සඳ මෝරන විට බෞද්ධයින්ට දරමිටි පෝය සිහියට නැගේ. එය බෝධි සංස්කෘතියටත් ඉතිහාසයටත් එක්වූ අපූර්ව සංසිද්ධියකි.

අව්, වැසි කුණාටු ආදි නොයෙකත් උපද්‍රව, පරසතුරු උවදුරු, රෝග වසංගත හා සාගතයන් ආදී දහසකුත් අභියෝග හමුවේ මෙලෙස අප හා ආරක්ෂා වූ සිරිමා බෝ සමිඳුන් ඒ සියලු අභියෝග පැරදවීමට අපට ශක්තිය දෙමින් අදත් මහ මෙවුනා උයනේ විරාජමාන ව වැඩ සිටී. ඒ බෝධි සංස්කෘතියේ මහිමය අවබෝධ කර ගන්නට නිකිණි පුර පොහොය අපට වටිනාම මංසන්ධියකි.

බෞද්ධ ඉතිහාසයේ නිකිණි පෝය වෙනුවෙන් සටහන්වූ සුවිශේෂී අංග ලෙස ප්‍රථම සංගායනාවත්, ආනන්ද මහ තෙරුන්ගේ රහත් අවබෝධයත් වැදගත් ය. අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ ද නිකිණි පොහොය දින බව සඳහන් වෙයි. බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම ද මෙදින සිදුවූවකි. පෙරවස් මඟ හැර ගිය භික්ෂුන් වහන්සේ පසුවස් සමාදන්වීම නිකිණි පුර පසළොස්වක පොහොය දින සිදුවේ