Print this Article


ජාතියේ උදාරත්වය විදහා දක්වන හෙළයේ මහා කලා මංගල්ලය

ජාතියේ උදාරත්වය විදහා දක්වන හෙළයේ මහා කලා මංගල්ලය

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සිදු කෙරෙන වාර්ෂික සතර මංගල්ලයන් අතුරෙන් සුවිශේෂී පූජා මංගල්ලයකි. දළදා පූජෝපහාරය, සිවුමහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය හා කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණු කොට ගෙන මෙම උතුම් මංගල්ලය වාර්ෂිකව පැවැත්වේ.

ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ කිත්සිරිමෙවන් රජු දවස පටන් වසර එක්වා දහස් සත්සිය පස්වසරක් සපුරන ජාතියේ ප්‍රෞඪත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය විදහා දක්වන හෙළ මහා කලා මංගල්ලය සේ දෙස් විදෙස් ජනීජනයාගේ සිත්සතන් සැදැහැයෙන් පුරවන මෙම මංගල්ලය චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව සුභ නැකැත් මුහුර්තීන්ට අනුව පැවැත්වේ.

විසිතුරු ඇසළ පෙරහර මංගල්ලයේ මූලික කටයුත්ත වනුයේ පෞරාණික සිරිත් ප්‍රකාර පණස වර්ගයේ කිරි වෑහෙන ගසක ඵල නොදරන පුරුෂ ලිංගික කොස් පැළයක් තෝරා ගෙන එය වටා පිරිසුදු කොට වටතිර අදවා වියන් බඳවා සඳුන් දියර ඉස, දුම්මල අල්වා, පහන් දල්වා පේකර අලුත්නුවර පොරෝකරුවා දෙහි ඇඹුල් ගා ස්නානය කොට ස්තෝත්‍ර ගායනා මැද්දේ ගස කපා හෙළීමයි.

කැපූ ගසින් වියත් තුනක පමණ ප්‍රමාණයක් පිරිසුදු කරයි. එය සුදු රෙද්දකින් ඔතා පෙරහරින් ඇතකු පිටින් මහනුවර විෂ්ණු දේවාලයට රැගෙන ඒම සිරිතයි.

එහිදී නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුමහා දේවාලයන්ට කොටස් කර සතර දේවාලවල බස්නායක නිලමේවරුන් හමුවේ බෙදා දෙන අතර, ඒ ඒ දේවාලයන්හි කපුවන් විසින් කප රැගෙන සුදු රෙද්දකින් ඔතාගෙන ඇතකු පිට නැඟී පෙරහරින් වැඩමවීම සිදුකෙරේ.

කප සිටුවීමට දේවාලයේ නියමිත ස්ථානය පිරිසුදු කොට වට තිර වියන් බඳියි. ගොක් කොළ මලින් සරසා ඉන්‍ද්‍ර දෙවියන් සංකේතවත් කොට දෙපස පොල්ගෙඩි දෙකක් මත තැබූ පහන් දල්වා ස්තෝත්‍ර ගායනා මැද්දේ කප සිටුවීම සුභමුහුර්තියෙන් සිදුකෙරේ.

මෙවර එම කප් සිටුවීමේ මංගල්ලය වර්ෂ 2022 වැන්නේ ජූලි මස 29 වැනි කිවි දින පෙරවරු 3 පසුවී විනාඩි 03 ට උතුරු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද පණස වෘක්‍ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිවු දේවාල ප්‍රධාන කොට ඇති සියලු දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ කප සිටුවීමෙන් ඇරඹුණි.

එසේ කප සිටුවීමෙන් අනතුරුව ඒ ඒ දේවාලයේ දුන්න, ඊතලය සහිත දේවාභරණ කෙටි පෙරහරකින් වඩමවා කප වටා ප්‍රදක්‍ෂිණා කිරීම සිදුවේ. දේවාල අභ්‍යන්තර පෙරහර ඇතුලේ පෙරහර වශයෙන් ද භාවිත වේ. එය ඉතා කෙටි පෙරහරකි. පන්දම් විලක්කු ගෙන ප්‍රධාන කපුවා විසින් දේවාභරණ කප වටා වැඩමවීම එහි සිරිතයි.

මෙහි අරමුණ වන්නේ පෙරහර මංගල්ලය කිසිම උපද්‍රවයකින් තොරව සාර්ථකව පැවැත්වීමට හා සහභාගි වන කලාකරුවන් ඇතුළු සියලු දෙනාගේ ආයුරාරෝග්‍ය සම්පත්තිය හා සුභශාන්තිය වඩා වර්ධනය කර ගැනීම ය.

ඉන් අනතුරුව වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලී පෙරහර පහක් ද, අවසන් රන්දෝලි මහ පෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රියෙහි ගෙඩිගේ විහාරයට පෙරහර කරඬුව වැඩමවන පෙරහරක් ද, පසු දින දහවල් පෙරහරක් ද පැවැත්වීමෙන් පසු ගෙවැදී ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය සමාප්ත වේ.

අනතුරුව රටේ පාලක ප්‍රධානයා වන ගරු ජනාධිපතිතුමා වෙත පෙරහර සංදේශය පිළිගැන්වීම ද, ශ්‍රී විෂ්ණු දේවාලයේ පැවැත්වෙන වළියක් නැටුම ද යන සුවිශේෂී කරුණුවලින් පෙරහරේ කටයුතු සපුරා අවසන් වේ.

ඇසළ පෙරහරේ පළමුව ගමන් කරනුයේ ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරයි. වර්තමානයේ මෙම පෙරහරේ වැඩමවනුයේ දළදා වහන්සේ නොව සධාතුක ධාතූන් වහන්සේ තැන්පත් කළ පෙරහර කරඬුවයි. දෙවනුව නාථ, විෂ්ණු, කතරගම හා ශ්‍රී පත්තිනි දේවාල පෙරහර අනු පිළිවෙළින් ගමන් කරනු ලැබේ.

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්ලයකි. මෙකී පෙරහර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් මහරජු (ක්‍රි.ව 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟය.

මහාවංශයේ සඳහන් වන අයුරු

“රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේයි. “අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. “නියෝග කළේ ය යන්නෙන් එය සනාථ වෙයි.

පාහියංගේ දේශාටන වාර්තාවෙහි රජතෙමේ තුන් වන මස මැද දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා, නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. “බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා, පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක.

අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මඟ සම කෙරෙත්වා. කෝවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙළ කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එ දවස ඇසළ පෙරහර සංවිධානය වු ආකාරය කියවෙයි.

අනුරපුර රාජධානියෙන් අනතුරුව පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගඟසිරිපුර, කෝට්ටේ, සීතාවක යන රාජධානියන්හි ද නොකඩ කොට ඉපැරැණි චාරිත්‍රානුකූලව පෙරහර මංගල්ලයන් පැවැත්වූ අයුරු මූලාශ්‍රයන්ගෙන් හෙළිවේ.

ඇතැම් සතුරු උපද්‍රව සමයන්හි පෙරහර වීදිසංචාරය නොකළ ද මේ පෙරහර චාරිත්‍රයන් අඛණ්ඩව පවත්වාගෙන ඒමට අපේ රජවරු හා දියවඩන නිලමේවරු සමත්වූහ.

වර්ෂ 1592 දී පළමු වැනි විමලධර්මසුරිය රජු දවස ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව වර්තමානය දක්වා අඛණ්ඩව පවත්වාගෙන ආ බවක් දක්නා ලැබේ.

මහනුවර රාජාවලියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව 1747 - 1781) දවස ක්‍රි.ව 1753 දී දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්ලය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වා ම මෙම පෙරහර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානුකුලව ශ්‍රී දළදා මාළිගාව පෙරටුකොට පැවැත්වීම සිරිතයි.

චිරාගත සම්ප්‍රදායානුකූල ව පවත්වා ගෙන ආ මෙම මංගල්ලය අපේ රජවරුන් හා ඔවුන්ගෙන් අනතුරුව දියවඩන නිලමේවරුන් විසින් ද නොකඩ කොට පවත්වාගෙන විත්, වර්තමානයට දායාද කොට ඇත.

දියවඩන නිලමේවරයකු සතු ප්‍රධානතම නිල කාර්යභාරයක් වන්නේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානුගත පුදසිරිත්වලට අනුගතව ම පැවැත්වීමයි. වර්තමාන දියවඩන නිලමේතුමන්ගේ දසවසරක නිලකාලය තුළ චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව ම මුළු හෙළයම අසිරිමත් කරවන මෙම පෙරහර මංගල්ලය වඩාත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තම දායකත්වය හා ඇපකැපවීම මැනවින් ලබා දීම ජාතියේ වාසනාවකි.