[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුම ා- 74 කොටස: යුද ජයග්‍රහණයට දීඝාභයගේ සහය අවශ්‍යයි

දුටුගැමුණු මහ රජතුමා- 74 කොටස:

යුද ජයග්‍රහණයට දීඝාභයගේ සහය අවශ්‍යයි

භික්ෂූන් වහන්සේ සතු බලය ලෝකයට ප්‍රකාශ කරන මහාසිව මාහිමිපාණන් වහන්සේත්, ත්‍රිපිටකතිස්ස තෙරුන් වහන්සේත් ගැමුණු කුමරු හදා වඩා ආරක්ෂා කර ගත් ආකාරය සිරිනාගට සිහිපත් විය. එමෙන්ම මිත්‍ර මහ සෙනෙවිගේ පාපකාරී සිතිවිලිවලට නතු වීම නිසා තමාගෙන් සිදුවන්නට ගිය විපත සිතට නැඟී මහත් පසුතැවීමක් ඇතිවිය.

තමා විසින් මිත්‍ර මහ සෙනෙවිට කෙටූ කඩුව තවමත් අධිකරණයේ ය. ඝාතකයා තවමත් සොයාගත නොහැකි වී ඇත. සුමන මහ සිටුතුමාගේ අවතාරයට එය පවරමින් අමතක වන්නට හැරීම කාගේත් මානසික සුවයට හේතු වූ බව ඔහු කල්පනා කළේ ය.

බෝධිනාගට පියා යැයි කියන්නට ලැබීම සිරිනාගට ආඩම්බරයකි. ඔහු උතුම් මිනිසෙකි. සැබෑ සිංහලයෙකි. විමලීගේ මරණයෙන් පසුව ඊට වගකිව යුත්තන්ගෙන් ඔහු පළිගන්නට ගියේ නැත. ඔහු එසේ කළේ මරණාසන්නව සිටියදී ඇය කළ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. සිය ආදරණීය බිරිඳට ගරු කළ හැකි එකම මඟ එය විය.

බෝධිනාග සත්‍ය දැන නොගත්තා නම් තමාත්, මෑණියන් මෙන්ම අත්තන ඇටවලින් මිය යන්නට තිබුණායි ඔහු වේදනාවෙන් අතීතය සිහිපත් කළේ ය.

“පුතා බර කල්පනාවක. ඇයි රාජකාරී කටයුතු බහුල ද? සමන්තී මාතාව පැමිණියේ සිරිනාග තේ මේසයට කැඳවන්නට ය.

“නැහැ මෑණියනි, ජීවිතයේ බැරෑරුම්කම ගැනයි කල්පනා කළේ. දැන් යුද්ධය අත ළඟ. ජය පරාජය ගැන සිතන්නට බැහැ. මට මුලින්ම මෑණියන් රැක ගන්නට ඕනෑ. ඒ වගේම ජයනාථ සිටුතුමා, සිටුදේවිය සිටු දියණිය අමිතාටත් ආරක්ෂාව ලබා දෙන්නට ඕනෑ.

“මෑණියනි, අමිතා වචනයෙන් ප්‍රකාශ නොකළත් මට ආදරය කරන බව හැඟෙනවා. මමත් ඇයට කැමතියි.” විලිබරව සිනාසුනු සිරිනාග කීවේ ය.

“මහ සිටුතුමාත්, සිටු දේවියත් මට මව්පියන් වගෙයි.”

“අද රාත්‍රී භෝජන සංග්‍රහයට සිටුතුමා අප එහි කැඳවා තිබෙනවා. පුතා කීවත් නැතත් අපි හිතාගෙන ඉන්නේ අමිතා ගැන සිටුතුමාත්, සිටු දේවියත් සමඟ කතා බහ කරන්නයි.”

“මෑණියනි, මා ඉදිරිපිට දී නොවෙයි. මා නැති තැනක දී කතා කරන්න.”

සිරිනාග බියටපත් වූවකු මෙන් කීවේ ය. සමන්තී මාතාව සිනා නැඟුවා ය.”

“පුතා, ඔබගෙන් මම ප්‍රශ්නයක් අසනවා. එයට අවංකවම උත්තරයක් දෙනවා ද?” “ඇයි මෑණියනි, මා ගැන සැකයක් තිබෙනවා ද?.

“සැකයක් නැහැ පුතා. මගේ සැනසීම සඳහා දැනගත යුතු කරුණක්.”

“මෑණියන් අසන්නට යන්නේ පුණ්ණා ගැන ද?”

“නැහැ. ඒ ගැන මගේ සැකයක් නැහැ. මිත්‍රගේ අදහස ඉටුවුණාවේ. උපතිස්ස - පුණ්ණා දෙදෙනා කැමති දිනක විවාහය සිදු කරනවා.

“එසේනම් මෑණියනි, කුමක්ද? කාරණය”

“පුතා මෙයයි මට දැනගන්නට වුවමනා. දුටුගැමුණු රජතුමා මහවැලි ගඟින් මෙගොඩව අනුරාධපුරයට පහර දෙන්නට පටන් ගත් විට පුතා ඇත්තටම ගන්නේ කාගේ පිල ද?” දිය යුතු පිළිතුර කුමක්ද? ඔහු කල්පනා කළේ ය.

“මෑණියනි, මට සමාවෙන්න. මිත්‍ර මහ සෙනෙවි මෙන් මට දැන දැන වැරැදි කරන්නට බැහැ. පටු වාසි තකා මට ජාතිද්‍රෝහී වන්නට බැහැ. මගේ හෘද සාක්ෂියට අනුව මම සේවය කරන්නේ දුටුගැමුණු රජතුමාට.”

සමන්තී මාතාව සැනසුම් සුසුමක් හෙලුවා ය. මඳ සිනා පෑවා ය.

“පුතා හරි, මගේ හිතේ නිතරම තිබුණේ පුතාට ගත යුතු නිවැරැදි මඟ කියන්නයි. නමුත් පුතාගේ නිලතලවලට, සැප සම්පත්වලට හානි කරන්නට මට සිතුණේ නැහැ.”

“මෑණියනි, මට නිවැරැදි මඟ පෙන්වා දුන්නේ මගේ පියා. ඔබේ සහෝදරයා බෝධිනාග. කුඩා කාලයේ දී ඔහු මට වෛර කළා. නමුත් මා නිවැරැදි මාර්ගයේ ගමන් කරන විට ඔහු මට ආදරයෙන් සැලකුවා.

මා ගමන් ගත් වැරැදි මාර්ගයෙන් මුදා ගත්තේ මහාසිව මාහිමිපාණන් වහන්සේ යි.”

“පුතා සිරිනාග. මේ රට අපේ. එළාර ආක්‍රමණිකයෙක්. හැකි තරම් කාලයක් මේ රට සුරා කෑම ඔහු ඇතුළු පිරිසගේ අදහසයි. බොරුවෙන්, වංචාවෙන් ඔවුන් කරන ජාතික ආගමික විනාශය නතර කරන්නට ඕනෑ. පරසතුරන්ට මේ රට යටත් කර ගන්නට දිය යුතු නැහැ.”

“මෑණියනි මා දැනටමත් සේවය කරන්නේ දුටුගැමුණු මහ රජතුමාට යි. මගේ පරවි දූතයා ඉටුකරන්නේත් ඒ සේවයේ කොටසක් තමා.”

සමන්තී මෑණියන්ගේ සිතට අප්‍රමාණ සතුටක් දැනිණි. සිරිනාගගේ හිස අතගා තම සතුට පළ කළා ය. ඇගේ සතුට සිරිනාගට ද සතුටක් විය.

විවෘතව තිබුණු කවුළුවෙන් පියාඹා ආ පරෙවියා සිරිනාගගේ උරහිස මත ලැග්ගේ ය. සිරිනාග ඌ අතට ගෙන පියාපත් පිරිමැද කකුළක බැඳ තිබුණු තල්පත ලිහා ගත්තේ ය.

“පරෙවියෝ උඹ කැමති පලතුරුවලටද? වී පොරි වලට ද? වැලිතලප වලට ද?”

ඔහු රිදී තැටියක් රැගෙන ඒ මත වැලිතලප කැබැල්ලක් හා පලතුරු කිහිපයක් තබා පරෙවියාට ළං කළේ ය. වී පොරි ටිකක් සාදාගෙන එන ලෙස සේවිකාවකට කීවේ ය.

“පරෙවියෝ උඹ ආපසු යන්නේ හෙට. අද කැමති විදිහකට විවේක ගනින්. හැබැයි ඇවිදින්නට යනවා නම් පරෙස්සමින්.”

සමන්තී ද පරෙවියා දෙස බලා සිටියේ ආදරයෙනි. සිරිනාග දවටනය ලිහා තල්පත් දෙකක් අතට ගත්තේ ය. සමන්තී මෑණියන්ට ද ඇයෙන ලෙස එය කියවීය.

විහාර මහා දේවියත්, දුටුගැමුණු රජතුමාත් සියලු හමුදා බල සේනා සමඟ ළඟදීම මහියංගණයට පැමිණ කඳවුරු බඳීවි. මහියංගණය බලකොටුව ජයගෙන එහි වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට මාස කිහිපයක් ගනීවි. ඊට පසු දකුණු ඉවුරේ බලකොටු බිඳිමින් කසාතොට දක්වා යාවි. එතැනින් මහවැලිය තරණය කර එන්නේ විජිතපුරයට.”

“මාත් ත්‍රිපිටකතිස්ස හිමියනුත් දින කිහිපයක් මහියංගණ මහ විහාරයේ නතර වෙනවා. හදිසි දෙයක් සිදුවුණොත් පරෙවියා මෙහි එවන්න, ඌ මෙතැන දන්නවා.”

“කසාතොටින් ගඟ තරණය කළ පසු සිංහල සෙබලුන්, සිංහල පුරවැසියන් අපට පක්ෂපාතී කර ගැනීමේ කටයුතුවල භික්ෂූන් වහන්සේ නිරත වේවි. දීඝාභය උපතිස්ස දෙදෙනා වෙනස් කර ගැනීමට උපාය යොදන්න. ඒ සඳහා කුණ්ඩල බ්‍රාහ්මණතුමාගේ උපකාර ලබා ගත්හ.”

පුතා දීඝාභයගේ සිත වෙනස් කළ හැක්කේ දන්තී කුමරියට පමණයි. උපතිස්ස වෙනස් වෙන්නේ දීඝාභය අනුව. දැන් මේ දෙදෙනාම තමන් ඉන්නේ වැරදි පිරිසක් සමඟ බව තේරුම් අරගෙන. ඒත් දීඝාභයගේ සිත තුළ දුටුගැමුණු රජතුමා කෙරෙහි දැඩි වෛරයක් පවතිනවා. ඒකට හේතුව මාගම රාජ්‍ය පිළිබඳ අවුලක් බවයි පුණ්ණා පැවසුවේ.

නිකිණි පුර අටවක

 අගෝස්තු 05 සිකුරාදා පූර්වභාග 05.08 පුර අටවක ලබා 06 සෙනසුරාදා පූර්වභාග
03.57 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]