Print this Article


සමාජයක දියුණුව සමගිය තිබෙනතුරු පමණයි

සමාජයක දියුණුව සමගිය තිබෙනතුරු පමණයි

නීතිගරුකත්වය හා සාමය අන්‍යොන්‍ය වශයෙන් ඒකාබද්ධ වූ වචන දෙකකි. නීතිගරුක සමාජය දියුණුවෙන් දියුණුවට යන බවත්, නීතිගරුකත්වයෙන් තොර සමාජය පරිහානියට පත්වන බවත් දී.නි. මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්ත අපරිහානී ධර්ම යටතේ දක්වා ඇත.

ප්‍රාථමික සමාජයන් තුළ නීතිරීති පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බව ප්‍රකටව පෙනේ. එයට හේතුව එම සමාජ තත්වයන්හි සාමූහික ක්‍රියාකාරකම් හා ගැටුම් නොමැති වීම හා අවම වීමයි. නීතිරීති අවශ්‍ය වන්නේ සමූහයක් ලෙස සාමූහිකව කටයුතු කිීරීමේ දී

සැපදායක ලෙස ජීවිත ගතකිරීම පිණිසයි. නීතිරීතිවල අපේක්‍ෂාව වන්නේ ද සාමූහික ජීවිතයේ පහසු පැවැත්ම ඇති කිරීම බව දේශනාවේ ද දැක්වේ.

බුදු සමය තුළ ආරම්භයේ දී ම විනය ශික්ෂා (විනය ප්‍රඥප්ති) පනවා නොතිබුණි. විනය ශික්ෂා පනවන්නේ ආසවට්ඨානීය ධර්ම පහළ වීමෙන් පසුව බව ද පෙළ සාහිත්‍යයේ දැක්වේ.

එම ආසවට්ඨානීය ධර්ම නම්, රත්තඤ්ඤු මහන්තතා - බොහෝ කල්ගත වීම, වේඵුල්ල මහන්තතා - පිරිස බහුල වීම, බාහුසච්ච මහන්තතා - බහුශ්‍රැතයන් වැඩිවීම, ලාභග්ග මහන්තතා - ලාභ සත්කාර වැඩි වීම, මෙම කරුණු මුල් කරගෙන විනය නීති පැනවීම ශාසනයේ චිර පැවැත්මට හේතු වූ බව කිව යුතු ය.

නීතිගරුකතාවයේ අවශ්‍යතාව ශික්ෂා පද පැනවීමේ පරමාර්ථ විමසීමෙන් ද පැහැදිලි කර ගත හැකි ය. විනය පනවා ඇත්තේ සංඝ සමාජයේ කටයුතු කරන්නන්ට පහසුව පිණිසත්, (සංඝ ඵාසුතාය) සංඝයාගේ යහපත පිණිසත් (සංඝ සුට්ඨුතාය) සලකාගෙන ය.

එබැවින් භික්ෂූන් වහන්සේ, විනය නීති තම යහපත වෙනුවෙන් පනවා ඇති කරුණු ලෙස සලකා ගෞරවයෙන් ඒවා ආරක්ෂා කරන්නට පුරුදු වූහ. සාමාන්‍ය ජන සමාජයේ ද නීතිරීති ක්‍රියාත්මක වේ. එම නීති රීති පනවා ඇත්තේ සාමාජික කටයුතු නිරවුල් කිරීමටත්, පහසු කිරීමටත් ය. එබැවින් සමාජගත පුද්ගලයා නීතිගරුක වීම එම සමාජයේ යහපතට හේතු වේ.

එබැවින් බෞද්ධ උපදේශය වන්නේ පුද්ගලයා නීතිගරුකත්වයෙන් ක්‍රියාකළ යුතු බවයි.

හිංසනයට විරුද්ධ වූ බුදු සමය පවා විනය නීති උල්ලංඝනය කරන්නන්ට දඩුවම් ලබාදීම ප්‍රතික්ෂේප නොකරයි. එසේ ලබා දෙන දඩුවම් අතර බ්‍රහ්ම දණ්ඩනය - සමාජයෙන් ඉවත්කොට තැබීම, මානත් පිරීම - තත්වයෙන් පහතට දැමීම, පරිවාස - ආයති සංවරය පිණිස කල් ලබාදීම හා ආවරණ කර්ම - සාමණේරයෝ ඇසුරෙන් ඉවත් කිරීම යනාදිය ප්‍රමුඛ වේ.

මෙසේ දඩුවම් ලබා දුන්න ද මේ කිසිවක් අමානුෂීය දඩුවම් නොවේ.

මෙම දඬුවම් පවා හිමි වන්නේ සමූහයාගේ පැවැත්මට බාධා වන අයුරින් නීතිරීති බිඳීන්නන්ට පමණි.

කෙසේ වෙතත් බුදු සමය දඬුවම, නීතිගරුත්වය ඇති කිරීමේ එකම සාධකය ලෙස නොසලකයි. බෞද්ධ ආකල්පය වන්නේ නැවත වැරැදි කිරීමෙන් වළක්වා ආයති සංවරය ඇති කරවීමට ක්‍රියා කිරීමයි.

නීතිය යනු සමාජ සම්මතයකි. සමාජ සම්මතයන් ඉක්මවා නොයෑම සදාචාර සම්පන්න සමාජයේ ප්‍රබල යුතුකමක් හා වගකීමකි. සමාජ සම්මතයන් බිඳීන පිරිස ඉන් වැළැක්වීමට නම් වැරැදි කරන පිරිසට නිග්‍රහ කිරීමත්, නීතිගරුක අයට ප්‍රශංසා කිරීමත් අවශ්‍ය වේ.

මිනිස් සමාජය ප්‍රශංසා ලැබීමට කැමති වන අතර නිග්‍රහ ලැබීමට අකැමැති ය. එවිට නීතිගරුත්වයට යොමු වී ප්‍රශංසනීය පුද්ගලයකු බවට පත් වීමට සමාජය නිරන්තරව යොමු වේ.

බුදු දහම සමාජ විරෝධී ක්‍රියාවන් නැති කිරීමට ඒකායන ක්‍රමවේදය ලෙස දඩුවම නොදක්වනවා සේ ම නීතිය ද එකම ක්‍රමය ලෙස නොදක්වයි. නීතිරීති ක්‍රියාත්මක කරන අතරම මිනිසා වරදට යොමු වීමේ හේතු නැති කිරීමට ද පාලන තන්ත්‍රය විසින් ක්‍රියා කළ යුතු වේ. ඒබ ව දී.නි. කූටදන්ත, චක්කවත්ති සීහනාද ආදී සූත්‍රවලින් ප්‍රකාශ වේ.

සමාජයක දියුණුව පවතින්නේ සමගිය හෙවත් සාමග්‍රිය පවතින තුරු ය. සමගිය ඇති වීමට නීති ගරුකත්වය ඍජු ලෙසම බලපායි. භික්ෂු සමාජය සාමයෙන් හා සහජීවනයෙන් ක්‍රියාත්මක වන්නේ ඔවුන් තුළ ඇති නීතිගරුක ලක්ෂණ නිසා ය.

භික්‍ෂු ශාසනයේ ආයුෂ ලෙස සැලකෙන්නේ ද (විනයෝ නාම සාසනස්ස ආයු) විනය හෙවත් නිතිගරුකත්ව යයි. මේ ආදී කරුණු තුළින් නීතිගරුක වීම සමගියට හා සහජීවනයට අවශ්‍ය වන වැදගත්ම කාරණාවක් බව පැහැදිලි වේ.