Print this Article


කෑගලු පුරවරයේ පින්බර පින්බිම ගනේගොඩ පුරාණ රාජ මහා විහාරය

කෑගලු පුරවරයේ පින්බර පින්බිම ගනේගොඩ පුරාණ රාජ මහා විහාරය

දුටු නෙත් ඇසිල්ලෙන් ආනන්දයට පත් කරන පින්බර පින්බිමක් කෑගලු පුරවරයේ දී අපට මුණගැසෙයි. බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අලවතුර ගම්මානය සමීපයට වන්නට මෙකී විහාරය දැක ගත හැකි ය. මෙය නමින් ගනේගොඩ පුරාණ රාජ මහා විහාරය නම් වෙයි.

ගනේගොඩ ගම්මානයෙන් ගොස් දෙගොඩතලා යන දිය පහර මැදින් ටික දුරක් ගිය විට මෙම රාජකීය විහාරය කළු ගල් මස්තකයේ සාඩම්බර ලෙස වැඩ සිටින අපූරුව දැකගත හැකි ය. අතීතයේ රාජකීය නරපතීන්ගෙන් පවා අභිෂේක ලද මෙකී පුද බිම අද නිස්කාරණයේ නිහඬ වී ඇති සැටි ශෝකජනක ය. එකී නිහඬතාවයේ බැරෑරුම් බව පැවසීමට මත්තෙන් එම විහාරය සතු වටිනාකම් පැහැදිලි කිරීම සුදුසු යැයි සිතමි.

මෙම විහාරයේ ආරම්භක කතා පුවත තරමක් මතභේදාත්මක ය. ඒ සඳහා වන ජනප්‍රවාද එකිනෙකට වෙනස් ය. බොහෝ දෙනාගේ මතය වන්නේ මෙය වළගම්බා රජු දවස ඉදි කළ බවයි. මහාවංශයට අනුව වළගම්බා රජුගේ රාජ්‍ය කාලය වන්නේ ක්‍රි. පූ 103 - ක්‍රි .පූ 77 දක්වා කාල සීමාවයි.

මෙම විහාරය දෙස බැලූ බැල්මට එය එසේ යැයි හැඟීම වරදක් නැත.නමුත් යමක් නිත්‍ය වශයෙන් පැවසීමට නම් එය සාධනය කිරීමට අත්‍යවශ්‍ය සාධක පූරණය විය යුතු ය. එහෙත් සාධක නොමැතිව වුව ද මෙම ජනප්‍රවාදය පිළිගැනීමට කිසිවෙක් මැළි නොවෙති. එය කෙසේ වුවත් මෙකී විහාරස්ථානය පිළිබඳ ලිඛිතමය සාක්ෂි ඉදිරිපත් වේ.

සද්ධර්මරත්නාකරය තුළ මෙම විහාරය පිළිබඳ සටහනක් එයි. එහි එන පරිදි මෙම විහාරය ගොඩනංවා තිබෙන්නේ සීලවංස ධර්මකීර්ති හිමියන් විසිනි. එහි කියැවෙන ආකාරයට සීලවදස තෙරුන් වහන්සේ ඉන්දියාවේ ධාන්‍යකටක යන විහාරයක් හා ලංකාවේ අලවතුර ප්‍රදේශයේ ඉදිකර වු විහාරයක් පිළිබඳ එහි කියැවේ. “තවද දේශාන්තරයෙහි ජරාවාසව තිබූ ශ්‍රී ධාන්‍යකටක නම් ගල් විහාරයක් කර්මාන්තයෙන් පෙර පරිද්දෙන්ම ප්‍රකෘතිමත් කරවමින්....ද ස්වදේශය වූ සිංහලද්වීපයට වැඩ බොහෝ පින් රැස් කරමින් අලවතුරේ පර්වතාග්‍රයෙහි වාල් මෙහෙවරින් විසිතුරු විහාරයක් ද....” ආදී වශයෙන් පූර්ණ හෙළිදරව්වක් මෙහි වෙයි.

කෙසේ වෙතත් මෙයින් අපට සිතිය හැක්කේ මෙම විහාරය සීලවංස තෙරුන් ඉදිකළ බවකි. සමහර විටෙක මේ මතයන් දෙකම වුව ද සත්‍ය විය හැකි ය. මෙය සීලවංස තෙරුන් විසින් ඉදිකළ පසු වළගම්බා රජු විසින් සතුරන්ගෙන් සැඟවී සිටීමට භාවිත කළා විය හැකි ය.

මෙහි විහාර වස්තු හා කලාවන් පිළිබඳ සලකා බැලීම අතිශයින් වැදගත් ය. විහාරස්ථානය පිහිටා තිබෙන්නේ සුන්දර පරිසරයක ය. එය ජනගහණය අධික නොවූ කලාපයකි. ආරම්භය ලබන්නේ ආකර්ෂණීය ගල් පඩිපෙළකිනි. එහි ගල් පඩි 250 කි. විහාරය මුළුමනින් ම පාහේ නිර්මාණය වන්නේ දැවැන්ත කළු ගලකිනි. එහි පවතින්නේ ආරූඪ කරගත් පුහු ආඩම්බරයක් නොව සැබෑ ලෙස ස්ථාපිත වූ අභිමානයකි.

එච්.සී.පී බෙල් මහතා කෑගලුකෝරළ වාර්තාවට මෙම විහාරය පිළිබඳ විස්තර සපයයි. එච්.සී.පී බෙල් මහතා දෙදිනක් පුරා ගම් වාසීන් සමඟ එක්ව නටබුන් සොයා බලා ඒවා එකතු කොට විහාර බිමට ගෙන ගොස් දමා තිබේ. එතුමන් එහි සඳහන් කරන බොහෝ කොටස් අද එහි දක්නට නැත.

එතුමන් එකතු කරන ලද නටබුන් අතර කුළුණු හිස් කුළුණුවල බඳ කොටස් ආදී අංග තිබී ඇත. එමෙන්ම මෙම විහාරය කළු ගල් වේදිකාවක් මත තනි ඵලයකින් නිර්මාණය කර ඇත. සමස්ත විහාරය ම පාහේ දැවැන්ත වහළයකින් වැසී තිබේ. මෙලෙස මෙහි ගෘහ නිර්මාණ ශිල්පය ඉහළ තත්වයක පවතින බව කිව හැකි ය.

ඊට අමතරව මෙහි කලාංගයන් පිළිබඳ අවධානය යොමු කරන්නේ නම්, මෙහි ඇති කැටයම් සුළුවෙන් තැකිය නොහැකි ය. මෙහි විසිතුරු මල් කැටයම්, මොණර රූප, බුද්ධ රූප ආදිය දක්නට ලැබේ. මෙහි ද්වාර මණ්ඩප දෙකක් දැකගත හැකි ය.

එහි බාහිර ද්වාර මණ්ඩපය අඩි 18 × 21ක් වේ. එමෙන්ම ඇතුළත ද්වාර මණ්ඩපය අඩි 14 × 20 ක් තරම් වේ. මෙහි ඇති කළුණු තුනක පාදම සකස් වී ඇත්තේ සිංහයකු විසින් එය උසුලා සිටින ආකාරයටය. එය යන්තමින් හෝ වෙනස් වන්නේ නම් සිංහයාගේ වලිගයේ නැම්මෙන් පමණි. එසේම මෙම ගල් බිත්තිය චිත්‍රාවලියකින් සපිරී තිබීම වැදගත් ය. මෙම චිත්‍ර සඳහා බෙහෙවින් උපයෝගී කරගෙන ඇත්තේ රතු පැහැයයි. ශ්‍රී ලංකාවේ බොහෝ විද්වතුන් දක්වන්නේ එම චිත්‍ර තුළ නුවර කලා ආභාසය එහි ඇති බවයි.

ලාංකීය සංස්කෘතික අනන්‍යතාවක් සහිත මෙම සුවිශේෂී කලාගාරය ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලෝකය අභිමුව ප්‍රකාශට පත් කරන එක් පුරුකකි. රාජකීය ඉතිහාසයක් සහිත මෙම ජාතික ආගමික සංස්කෘතික නිධානය රැක ගැනීම අප සතු වගකීමකි.

කඩතොලු වූ භෞතිකත්වය පිළිසකර කෙරෙමින් අනාගත උරුමයක් සුරැකීමේ මෙහෙවරට අපිත් දායක විය යුතු ය. මෙවන් ආගමික වටිනාකම් සහිත සංස්කෘතික නිකේතනයක් වෙනුවෙන් සැබෑ බෞද්ධයන්ගේ දෑස් විවර වේවා’යි පතමු.