Print this Article


ලෝකයම දහම් සිසිලෙන් නිවා දැමීම භික්ෂූන් වහන්සේට පැවරෙන කාර්යභාරයක්

ලෝකයම දහම් සිසිලෙන් නිවා දැමීම භික්ෂූන් වහන්සේට පැවරෙන කාර්යභාරයක්

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනයේ ආයතනාධිපති ජොහානස් ගුටන්බර්ග් සරසවියේ කථිකාචාර්ය කරුණා සමාධි සංවිධානයේ අධ්‍යක්ෂ ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තී ශ්‍රී රත්මලේ පුඤ්ඤරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

බුදුදහමෙන් ලොවට හෙළිකළ ශාන්තිය මානව වර්ගයාගේ යහපත උදෙසා ලෝක ජනතාවට ගෙනයාමේ ප්‍රධාන භූමිකාව වන්නේ භික්ෂුවයි. මනා භික්ෂු චර්යාවෙන් සෝභමාන වියත් භික්ෂුවක් වශයෙන් සිදුකරන එකී මහානීය සේවාව පාඨකයා වෙත දැනුවත් කරමින් සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරුවනේ,

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව හිඟුරක්ගොඩ ජයමග පිරිවෙන,දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙන යන පරිවේණාස්ථානවල පරිවේණාචාර්යවරයකු ලෙස සිදුකළ ධර්ම ශාස්ත්‍රීය සේවය ලෝකාර්ථ චර්යාව පිණිස පෘථුල කිරීමට අවස්ථාවක් උදාවුණා. 1996 වර්ෂයේ දී ශ්‍රී ලංකා ජර්මන් ධර්ම දූත සංගමයේ ආරාධනාවකට අනුව අතිපූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද නායක හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ජර්මනියේ බර්ලින් විහාරයට වැඩම කළා.

එහිදී ඒකාකාරී කාර්යබහුල ජීවන රටාව නිසා විශාල මානසික පීඩනයට හසුවූ යුරෝපීය ජනයාගේ දහම් පිපාසයට දහම් ඔසුවක් වෙමින් ඔවුන්ට භාවනාව පුරුදු පුහුණු කළා වගේම බර්ලින්හි පාඨශාලා,ආරෝග්‍ය ශාලා හා බන්ධනාගාර සිරකරුවන් වෙනුවෙන් භාවනාවේ ආධ්‍යාත්මික සුවය ළඟා කර දුන්නා.

බර්ලින් ප්‍රාන්තයේ Frankfurt වැඩම කර බුද්ධ ප්‍රඥා විහාරයේ වැඩ වෙසෙමින් එම නගරය ආශ්‍රිතව වෙසෙන ශ්‍රී ලාංකික,තායි, වියට්නාම් වගේම ජර්මන් ජාතිකයන්ගේ දහම් පවස නිවමින් ආධ්‍යාත්මික සුවතාවය ළඟාකර දීමට කටයුතු කළා. 2014 වර්ෂයේ දී උතුරු ජර්මනියේ සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භ කරමින් හැම්බර්ග්,බ්‍රේටන්,හැනෝවා නගර ආශ්‍රිත බෞද්ධ සැදැහැවතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරමින් ථේරවාදී භික්ෂුවක් වශයෙන් බුරුමය,වියට්නාමය,තායිවානය,ඉන්දියාව,මැලේසියාව,සිංගප්පූරුව රටවල් වගේම චෙකොස්ලෝවැකියාව, අයර්ලන්තය, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල ජාත්‍යන්තර සමුළු රාශියක් නියෝජනය කරමින් ථේරවාදී බෞද්ධ දර්ශනය ලෝකයා වෙත රැගෙන යාමට කටයුතු කළා. ලෝකාර්ථ චර්යාවෙහි නියැළී සිටින ධර්මදුතයන් වහන්සේ නමක් වශයෙන් ඔස්ට්‍රියාව,ප්‍රංශය,ස්විට්සර්ලන්තය ඉතාලිය ආදී රටවල වැඩම කරමින් එම ජනතාව වෙත බුදු දහමේ හරය තුළින් ලබන පණිවිඩය ලබා දීමට කටයුතු කරමින් වර්තමානය වන විට ජර්මනිය තුළ භාවනා උපදේශකවරයකු ලෙස කටයුතු කරනවා.

බුද්ධ ප්‍රඥා විහාරය, දකුණු ජර්මනියේ බුදුමග විහාරය,වගේම ශ්‍රී ලංකා මහා විහාරය කේන්ද්‍රකරගෙන එම භාවනා වැඩ සටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. 2005 වර්ෂයේ සිට ජර්මනියේ මයින්ස් නුවර ජොහානස් ගුටන්බර්ග් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කරමින් ඒ හරහා ජර්මන් ජාතික සිසුන්ට බෞද්ධ දර්ශනය, සිංහල,පාලි භාෂා අවබෝධය ලබාදෙනවා. 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනය ආරම්භ කරමින් ආයතනාධිපති වශයෙන් විදේශීය භික්ෂූන් වහන්සේලාගේ වාර්ෂික පරීක්ෂණ සිදුකරමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, අභිවෘද්ධිය වෙනුවෙන් ලෝකාර්ථ චර්යාවෙහි නියැළෙමින් නිර්මල බුදුදහම ලෝකය පුරා ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබෙන පරිපූර්ණ භික්ෂු පිරිසක් දායාද කළා. ඒවගේම සිත හදන බණ කතා, බුදුදහම සහ දර්ශනය ආදී ග්‍රන්ථ රචනා කරමින් බෞද්ධ ලෝකයට දායාද කළා. 2004 වර්ෂයේ දී කරුණා සමාධි සංවිධානය ආරම්භකරමින් විශාල සමාජ සේවා රාශියක් සිදුකරගෙන යනවා. ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ශිෂ්‍යාධාර,පෙර පාසල් අධ්‍යාපන සේවා, නිවාස ආධාර,වෛද්‍යාධාර සැපයීම, වෘත්තීය පුහුණු පාඨමාලා ලබා දෙමින් ස්වයං රැකියා සඳහා උපකාර කළා. උගත් බුද්ධිමත් භික්ෂූ පරපුරක් වෙනුවෙන් සාමණේර කැපකරු දායක ක්‍රමයට හා පිරිවෙන් සංවර්ධනයට අවශ්‍ය ආධාර කරුණා සමාධි සංවිධානය හරහා සිදුකරගෙන යනවා.

භාෂාන්ත්‍රඤාණයෙන් පිරිපුන් ශික්ෂාකාමී බහුශ්‍රැත භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් මේසා විශාල කාර්යභාරයක් සිදුකරන්නට ගුරු හාමුදුරුවන්ගෙන් ලැබුණු ආභාසය සිහපත් කරන්න නායක හාමුදුරුවනේ,

සැදැහැති මව්පියන්ගෙන් ලැබුණු ශාසනික උරුමයත් ,පූර්වෝපචිත පුණ්‍ය ශක්තියත් අනුව පූජනීය රත්මලේ ශ්‍රී ගුණරතන නාහිමි,පල්ලවදම්පිටියේ චන්ද්‍රජෝති නාහිමි,හා රත්මලේ සෝමරතන යන සුපේශල ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1979 මැයි මස 10 වැනි දින රත්මලේ පුඤ්ඤරතන යන උතුම් ශාසනික නාමයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. අනතුරුව ධර්මවිනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේලාගේ අනුශාසනා වගේම පිරිවෙන් අධ්‍යාපනය තුළින් ලැබූ ශික්ෂණයත් පැවිදි ජීවිතය ඔපවත් කර ගනිමින් පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමාන වෙමින් 1990 ජූනි මස 23 වැනි දින මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයෙ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වීමට තරම් පින්වන්ත වුණා.

දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙන්පතිව වැඩසිටි අපවත්වී වදාළ රඹුක්වැල්ලේ ශ්‍රී පඤ්ඤාසාර නාහිමි, හිඟුරක්ගොඩ ජයමග මහ පිරිවෙන්පති අපවත්වී වදාළ කුඹුක්කඩවල ශ්‍රී ධිරානන්ද නාහිමි යන සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් සංඝ සෝභන ගුණාංගයන්ගෙන් සම්භාවනාවට පාත්‍ර වූ ආදර්ශවත් මහා යතිවරුන්ගේ ඇසුර පැවිදි ජීවිතයට පරමාදර්ශයක් වුණා.

වාරණ මංගලගිරි පිරිවෙන,දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙන යන පරිවේණාස්ථානය තුළ ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරමින් 1984 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1990 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී උපාධියත් 1993 වර්ෂයේ දී ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන 1999 වර්ෂයේ දී ජර්මනියේ Goethe Institut ආයතනයෙන් ජර්මන් භාෂාව පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගත්තා. 2014 වර්ෂයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ කැලිපෝනියා ග්ලෝබල් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ගැනීමට කටයුතු කළා. ලංකා ශාසනම්බරය ආලෝකවත් කරමින් නිවැරැදි ශසනික ප්‍රතිපදාව අනුගමනය කළ සුපේශල ශික්ෂාකාමි අර්ථ චර්යාවෙන් සම්භාවනාවට පාත්‍රව වැඩ විසු ගුරු දේවෝත්තමපාදයන් වහන්සේලාගේ සෙනෙහස,රැකවරණය, දූරදර්ශී මඟපෙන්වීම, වගේම උන්වහන්සේලාගෙන් ලැබුණු උත්තුංග ධෛර්ය නොලැබෙන්නට අද මේ තැන්වල නොසිටින්න පුළුවන්. උන්වහන්සේලාගේ ආශිර්වාදය පැවිදි ජීවිතය ප්‍රභාස්වරවීමට මූලික හේතුව වුණු බව පුණ්‍යානුමෝදනා පූර්වකව කෘතවේදීව ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කළ යුතුයි.

බුදුදහමේ ආලෝකයෙන් ලෝකයා සැනසීමට අනාගත භික්ෂූන් වහන්සේ හැඩගැසිය යුතු ආකාරය පිළිබඳ ඔබ වහන්සේ දරන මතය කෙබඳුද?

සමාජයට යම් සේවාවක් සිදුකිරීම භික්ෂුවගේ උරුමයක් වගේම යුතුකමක්. එකිනෙකාට යුද ප්‍රකාශ කරගෙන ගිනිගෙන දැවෙන සමස්ත ලෝකයම කටයුතු කරන කාලයක දහම් සිසිල ජන මනසට ලබාදීමේ කාර්යභාරය බෞද්ධ භික්ෂුන් වහන්සේට පැවරී තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ තරම් මානව දයාව යථාර්ථවත්ව ගැඹුරින් සාකච්ඡා කළ ආදර්ශයෙන් ක්‍රියා කළ ශාස්තෘන් වහන්සේ නමක් ලෝක ඉතිහාසයේ හමුවන්නේ නැහැ. මෛත්‍රි, කරුණාවේ දහම් පණිවිඩය ජනතාව වෙත ලබා දීමේ වගකීම බෞද්ධ භික්ෂූන් වහන්සේට තිබෙන නිසා එම වගකීම හා යුතුකම මොකක්ද කියන එක භික්ෂූන් වහන්සේලා වඩාත් ගැඹුරින් තේරුම් ගත යුතුයි. මෛත්‍රී,කරුණාව, ප්‍රඥාව පදනම වූ බුද්ධ ශාසනයේ ශ්‍රමණයන් වහන්සේ දැකීමත් මහා මංගල කාරණයක් නිසා බුද්ධ චීවරය පොරවාගෙන දමනය වූ ඉඳුරන්ගෙන්, සන්සුන් ගමනින් වැඩම කරන භික්ෂූන් වහන්සේ නමක් යුරෝපය තුළ පයින් වැඩම කිරීමත් ධර්මදූත සේවයක්.

භික්ෂූන් වහන්සේගේ සන්සුන් ඉරියව් දකින විට ආතතියෙන් පෙළෙන ජනතාව මහා සංවේගයකින් පුදුමාකාර නිවීමකට පත්වෙනවා. ඔවුන්ගේ ජීවිතය සුඛිත මුදිත කර දීමට සැනසිලිදායක නිවීමකින් අභ්‍යන්තරික සාමයකින් සාමාදානයකින් ජීවත්වන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ප්‍රායෝගිකව ඔවුන්ගේ ජීවිත තුළට ළඟාකර දීම භික්ෂූන් වහන්‍සේ අනුගමනය කළ යුතු කාර්යභාරයක් ලෙසයි මා දකින්නේ.