Print this Article


පහන් සිතක කවි

ඇසළ අසිරිය

පතමින් බුදු පදවි හැර දා ලද නිවන
දිවකුරු සමිඳු තබමින් විවරණ සවන
ඉපදී බෝසතුන් තුසිතයෙ දෙව් විමන
මව් කුස පිළිසිඳුනි අත්කරගෙන සෙවණ

සැප විඳ දිවියෙ කුමරුන් කළ කිරුණ සැනින්
පුතු රාහුල ඉපිද ඇති බව අසා කනින්
අභිනික්මනය කර මහ රෑ ඇසළ දිනින්
බෝසත් බවුන් වැඩුවා තවුසකුව නිතින්

බුදු බව ලබා ඉසිපතනෙ දි දහම් දෙසයි
බුදු රැස් අසිරි විඳ නර දෙවි දහම් අසයි
මඟ ඵල නිවන ඇතිකර හදවතට තොසයි
ආලෝකයෙන් දිලුනේ දම් එළිය නිසයි

****

දළදා හිමි තවම මගෙ හද මඬල තුළයි

අවටින් ඇදෙන සිසිලස රන් ස්වරයක් ය
එහි ඉපදීම මා ලද මහ වරයක් ය
ලොව තුළ වෙන නොමැති ඉමිහිරි හරයක් ය
ඒ තම්බපණ්නිය මට සුර පුරයක් ය

වැසුණත් දදය සසරෙ ම ඒ සිහිනවලයි
මනසට මැවේ මුතු පාවඩ පෙරට එළයි
මතකය දැනෙද්දී දෙනෙතට කඳුළු ගලයි
දළදා හිමි තවම මගෙ හද මඬල තුළයි

හිත සතුටින් කියමි අද මම එදා ගැන
කරඬුව වඩමවන මොහොතක උදා උන
කැළලක් නොදුන්නෙමි යුතුකම බෙදා ගෙන
මතක ද ගියා පාවාඩෙත් හදා ගෙන

දරුවකු සේ හිතා තත්පරයක් ගානේ
කලු මාමා පියකු උනි අමතක නෑනේ
හද පතුලෙන් කියන්නෙමි මම මගෙ හීනේ
සසරෙම මට ඔබේ පුතු වෙන්නයි ඕනේ

සිහි වෙයි නිතර හැම පෙරහර නිසැකව ම
නොහැකි ය එදා සේ එතැනට ළඟා වු ම
මා කළ පිනෙන් මට හිමි තැන ගෙනාව ම
ඉපදෙමි යළිත් දළදා මාලිගාවෙ ම

විඳගමි සතුට දුක සමඟින් කතා වෙමි
මා සිහි කළ ඔබට සෙනෙහස ඔතා දෙමි
ඉඩ ලද සැනෙන් හමුවෙන්නට හිතා ගමි
සමුගමි මම නැදුන්ගමුවේ ඇතා වෙමි

****

හිමි සඳ වැඩි සඳ

හිමිගෙ සරණ පිහිට ඇති මුත්
එමඟ නොයනා මිනිසුනේ
නොගිය ඒ නුඹලාටමයි මේ
සසර ගමනේ වැරදුණේ
අනේ සම්බුදු හිමියනේ
සත්‍යමයි හිමි දෙසු දහම්.....

ධර්මයේ මඟ යනෙන අයහට
කිසි දිනක නෑ වැරදුණේ
හිමි දෙසූ සදහම් මඟ ම ගොස්
සදාකල්හි ම සැනසුනේ
අනේ සම්බුදු හිමියනේ
සත්‍යමයි හිමි දෙසූ දහම්.....

****

දානය

බෙරහඬ වාදනය යොදුනක් දුර ඇසෙන
හෙණ හඬ යොදුන් දොළොසක් දුර පැතිර යන
දෙන හඬ යමක් කෙනකුට දානය ලෙසින
මහ හඬ නැඟෙනවලු තුන්ලොව එකලු වන

කරදිය ලබා දෙන වැසි දිය ලොව රැගෙන
සරු දෙය ලොව තනා යළි මුහුදට එවන
දෙන දෙය මෙසේ කෙනෙකුන්හට කර දෙගුන
ලැබෙතිය තමන් වෙත ඒ ගැන සැක නොවන

අරිමින් පිට වාන සැලකිලි මත බැලෙන
ජලයෙන් සපිරි වැව් සුරැකී තව දිලෙන
විලසින් යමක් ඇති නුවණැත්තන් යෙදෙන
දීමෙන් මෙලොව පරලොව යහපත සැදෙන

හැම විට තමන් සතු සම්පත් සඟවගෙන
තම පරිභෝජනය වෙනුවෙන් වත් නොගෙන
කැමැතිව වෙනත් අයෙකුන් හට හෝ නොදෙන
එම අය “තණ පඹයො” මෙනි කුඹුරේ සිටින

****

අචභිනිෂ්ක්‍රමණය

දැක දැන මෙලොව දන දුක විඳවන කරුණු
නෙක පැන අතර සිදුහත් තනිවුණි තුරුණු
දැක පුතු නිදන යුරු මව් තුරුලට වැදුනු
දුක මැඩ නිම කළා කල ගිහිගෙය රැඳුනු

රියසක විලස බාලේ සිට ළඟ උන්න
කරුණක් පවසමින් සුමිතුරු හට ඡන්න
කන්ථක අසුපිටින් නේරංජන පැන්න
අමතක කළා සැම අරමුණ වෙත යන්න

උනමින් පැළඳි සළුපිළි අභරණ සිදුහත්
තබමින් එ සැම තම හිතවත අත නැණවත්
කරමින් සිරස මුඩු ගෙන අසිපත මුවහත්
ඇඳුමින් සැරසුණා බඹු සක්දෙවි පුදලත්

අතහැර උරුම සැප සම්පත් සැම දේ ම
තනිකර තමන් යනු දුටු හිමි නොකියා ම
දියකර හදෙහි දුක හෙළු නෙතු අග බෝ ම
සුරපුර ගියා කන්ථක එම මොහොතේ ම

සම්බුදු පදවි ලැබ පිස දැන දුක කඳුළ
තිලොවග සතට පෑ සෙනෙහස මෙත් සිසිල
අභිනික්මන් කළේ පෝ දිනයක ඇසළ
බොදු සිත මැකී නැත නේරංජන ගඟුල

****

සැනසීම

නිමක් නොදැක ඇවිදින බව සසරේ
නැවතුමක් පමණ ම ය මා ලද මිනිස් බව
මෙලොවේ.....
හිස් ලූලූ අත දිව යන සිත
චණ්ඩ මාරුතය සේ
බැඳ දමයි මා
යනෙන බෝ දුර
රුදුරු මේ සසරේ....
වසාලූ සිත අඳුරු සළුපට
මුදා හැර බෝ සේ
බැඳ දමා සිත කුසල් දමකින්
දුක පිරුණ සසරේ
ගමන නිම කර
සදා සැනසෙමු
අමා දම් සෙවණේ