Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 73 කොටස: දුටුගැමුණු රජු ජය ගතහොත් බුදු සසුන සුරක්ෂිතයි

දුටුගැමුණු මහ රජතුමා - 73 කොටස:

දුටුගැමුණු රජු ජය ගතහොත් බුදු සසුන සුරක්ෂිතයි

රාජ සභාව අවසන් විය. මාළිගයෙන් එළියට පැමිණි සිරිනාගට සිහි වූයේ පෙරදා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලදී රජ කුමරිය කළ ඉල්ලීමයි. ඒ සමගම ඔහු අසලට පුණ්ණා පැමිණියා ය.

"සිරිනාග අසු පිටින් රාජකීය උද්‍යානයට යන්න. එහි නෙළුම් කුළුණ ළඟ කෘෂ්ණා කුමරිය ඉන්නවා. ,මාත් දන්තිත් තව සුළු මොහොතකින් එතැනට එන්නම්."

රාජංගනයේ දොරටුව අසල ගැට ගසා සිටි අසු පිටට නැඟී සිරිනාග දුටුවේ දන්තිත්, පුණ්ණාත් දීඝාභය සහ උපතිස්ස සමග කතාබහක යෙදෙන අයුරු ය. ඒ ගැන සැලකිල්ලක් නොදැක් වූ ඔහු රාජකීය උද්‍යානය දෙසට අසු මෙහෙය විය.

උයන් දොරටුවේ අසු රඳවා, මුරකරුට පවරා ඔවුන් පෙන්වූ දෙසට පිය නැඟුවේ ය.

කැළඹුණු සිතින් නෙළුම් පොකුණ වෙත යන ඔහු දැක, පොකුණෙහි පඩි පෙළ මත හිඳ ගෙන සිටි කුමරිය නැගිට ගත්තා ය. ඒ සමගම පුණ්ණා ද, දන්තිද උද්‍යානයේ අනෙක් පැත්තේ සිට පැමිණියහ.

"පිය රජතුමා රජ මාලිගයට යන්නට ප්‍රථම රජ මාලිගයට ගියොත් හොඳයි. "

"ඔව්, පුණ්ණා රාජ සභාවේ අලුත් තීරණ ටික සිරිනාගගෙන් අහගෙන ඉක්මණට යමු ."

"අමුතු කිසිවක් නැහැ. යුද්ධයට සුදානම් වෙන්නට අණ කළා. තුණ්ඩිලට පනවා තිබුණු තහනම ඉවත් කළා. මහවැලි තොටමුණුවල කඳවුරු දීඝාභය මහසෙනෙවිතුමාට පැවරුවා. අභ්‍යන්තර ආරක්ෂාව තුණ්ඩිලට. විජිතපුර බලකොටුව උපතිස්සට. සමස්‌ත උතුරු ප්‍රදේශයේ ම නිරීක්ෂණය සිරිනාග මහා සෙනෙවිට කියමින් ඔහු සිනාසුණේ ය.

"බොරු, දීඝාභය මහා සෙනෙවිතුමා ඒකට කැමති නැහැ. ඒක පැවරෙන්නේ සිරිනාග මහා සෙනෙවිතුමාට" දන්ති කීවා ය.

"අද රාජ සභාව ගත් තීරණය මම කිවේ. ඒවා වෙනස් වෙන්නට පුළුවන් යුද්ධ මණ්ඩලයේ දී . "

"උපතිස්ස සෙනෙවි පන්නා ගැනීමට දීඝජන්තු මහා සෙනෙවිට තිබෙන වුවමනාව කුමක්ද ?" පුණ්ණා ඇසුවා ය.

"ඔහු ඉහළ නිලයකට පත් කර රහස් දුත මෙහෙවරක යොදවන්නටයි හදන්නේ. "

"එතකොට විජිතපුර බලකොටුව ?"

"දීඝජන්තු මහා සෙනෙවි යෝජනා කාළේ තුණ්ඩිල පත් කරන්න. නමුත් මහ රජතුමා කැමති නැහැ "

විජිතපුර මේ රාජධානියේ ආරක්ෂණ මුණත අපි සියලු දෙනාටත් වැටහේවි. මෙයින් බේරෙන මගක් කවුරුත් හිතන්නේ නැහැ. යුද ගිනි දැල්වෙනවා ද ? නිවා දමනවා ද ? කුමක්ද හොඳ ?"

"කුමරියනි, එයට පිළිතුරු දෙන්නට කැමති නැහැ. උද්ගතවන අවස්ථාව අනුවයි එය තීරණය කරන්නේ. "

"සිරිනාග, මම මේ යුද්ධයට කැමති නැහැ. මේ රාජධානිය අයිති දුටුගැමුණු රජතුමාට. ඒ ඔහුගේ පාරම්පරික උරුමය. අපි මේ රට ආක්‍රමණය කළ විදේශික සතුරු පිරිසක්. අපේ පිරිස අතින් මේ රටට, ජාතියට, ආගමට සිදු වී ඇති හානිය විශාලයි. ඒ බව දැන දැනත් දුටුගැමුණු රජතුමාගේ හිතවතකු වෙන්නට පියරජතුමා කැමති නම් මේ යුද්ධය අහෝසි වෙයිද ?"

සිරිනාග පුදුමයෙන් බලා සිටියේ ය. කුමරියගේ තර්කය මෙන්ම නිගමනයද සාධාරණය. එහෙත් ක්‍රියාවට නැඟිය නොහැකි ය.

"කුමරියනි, අප‍ රජතුමා එබඳු බාල්දු වීමකට කොහෙත්ම කැමති නැහැ. "

:"ඒකම තමයි මහා අවාසනාව සිරිනාග. මම මගේ පියාණන්ට ආදරෙයි. මගේ පියාත් ඔහු. මවත් ඔහු. ඉතින් මට ඔහුගේ විනාශය ඉවසන්නට පුලුවන් ද ?"

"අපේ එකම අරමුණ රජතුමා බේරා ගැනීමයි කුමරිය "

"එහෙත් ඒ නිසා ගැමුණු කුමාරයාට කිසිදු හානියක් විය යුතු නැහැ. අද සිරිනාගට මෙහි එන්නට කිවේ එය අවධාරණය කරන්නයි . අපි යනවා "

"සිරිනාග පුදුමයට පත් විය. මේ කෘෂ්ණා කුමරිය කුමක් කියන්නේ ද? ඇයගේ මේ අදහස් රජතුමා දන්නවා ද ? කුමරිය මෙහෙයවන්නේ කවුරුන්ද ? පුණ්ණා දන්ති දෙදෙනාත් මේ අදහස අනුව යමින් සිය පෙම්වතුන් තම අරමුණට නම්මා ගනීද ?"

සිරිනාග මහත් විමතියෙන් කල්පනා කළේ ය.

ස්වකිය මන්දිරයෙන් ආ සිරිනාග , මෙතෙක් තමන් එනතුරු දිවා භෝජනය නොගෙන සිටි සමන්ති මෑණියන් සමග භෝජනාගාරයට ගොස් ආහාර ගැනීමට හිඳ ගත්තේ ය.

"මෑණියනි රජ කුමරියගේ පැවැත්ම ඉතා අමුතුයි. ඇය මාගම තොරතුරු අපට වඩා හොඳීන් දන්නවා. ගැමුණු රජතුමාගේ සේනාංක ගමන් ගන්නා මාර්ග, ලැගුම් ගන්නා ස්ථාන දැනට සිටින ස්ථානය සියල්ල නිවැරැදි ලෙස කියනවා. ඇයට මේවා දන්වන්නේ කවුරුන්ද ?"

"ඔව් පුතා, පුණ්ණාත් පුදුම වෙනවා. එළාර රජතුමා , තුන්ඩිල සොළී රටින් ගෙන්වා ගෙන සිටින්නේ දු කුමරියගේ ආරක්ෂාවට. යුද්ධය ජයගත් පසු ඔහුට කුමරිය විවාහ කොට දී සොළී රටට යැවීමලු රජතුමාගේ අදහස. ඒත් කෘෂ්ණා කුමරිය දුටුගැමුණු රජතුමා හැර වෙන කිසිම කෙනකු සමඟ සරණ බන්ධනයකට කැමති නැහැලු."

සිරිනාගගේ සිතෙහි බලපෑ වික්ෂිප්ත භාවය ලිහිල් වුව ද මේ තරුණියන් තිදෙනාට අපේක්ෂිත විමුක්තියට ළඟා විය හැකි දැයි වේදනාවෙන් යුතුව කල්පනා කළේ ය.

"සිරිනාග, පුතා අමතක කරන්නට එපා කෘෂ්ණා කුමරිය, පුතාගේ අක්කණ්ඩි. විමලිගේ අක්කා සුමලිගේ දියණිය. පුතාගේ වැඩිමහල් සහෝදරිය ."

"මෑණියනි, මෙතෙක් මගේ කල්පනාවෙහි නොරැඳුණු කරුණක්. ඒත් ඇගේ ජන්මය ඇගේ ඉලක්කයට බාධා කරාවි. කෙසේ නමුත් මෑණියන් මේ ඥාතිත්වය මගේ මතකයට නැංවූ එක නම් හොඳයි."

දිවා භෝජනයෙන් පසු විවේකාගාරයට ඇතුළු වූ සිරිනාගගේ සිතට විවේකයක් නොවිය. පුටුවක හිඳගත් ඔහු දෑස් පියාගෙන කල්පනාවට වැටුණේය.

"මාගමට යැවූ පරෙවියා තවම අවේ නැහැ. මහාසිව මාහිමියනුත් යුද පෙරමුණේ ගමන් කරනවා ද ? මහවැලි ගං තීරයේ තොටමුණුවල ආරක්ෂක බලකොටු බළ සේනාවෙන් හරි අඩක් එතෙර දීම විනාශ කරන්නට පුළුවනි. ගැමුණු රජතුමා මගේ යෝජනාව අනුමත කළා. "

"කසාතොට බළකොටුව අවසන් වරට බිඳ දමා , මහවැලි ගඟින් මෙතෙර වූ පසු , ගැමුණු රජතුමා එන්නේ විජිත පුරයට. ඒ එන විට එම බළකොටුව තුළ අවුලක් ඇති කළ හැකි නම්........."

"උපතිස්ස එතැනින් ඉවත් කොට තුන්ඩිල පත් කළහොත් සිංහල සෙබළුන් තුළ කලකිරීමක්, භේදයක් මතු කරන්නට පුළුවන්. "

"දීඝාභය මහා සෙනෙවි දැන් දැන් මා දෙස බලන්නේ සැකයෙන්. මාගමින් මා ලබා ගන්නා රහස් තොරතුරු ඔහුට පුදුමයක්. මහා රජතුමා මා කෙරෙහි තබා ඇති විශ්වාසය ඔහුට මදිකමක්. දීඝාභය ගං ඉවුරට තල්ලු කළහොත් විජිත පුරය පහසුවෙන් ජය ගන්නට පුළුවන්. එයින් මගේ සේවයෙහි අඩක් සාර්ථක වෙනවා."

සිංහලයාට ලජ්ජාව වසා ගන්නට , තමන්ට අයත් දිවයිනේ නිදහසේ සැරිසරන්නට. ස්වාධින හැඟීමෙන් හිස ඔසවන්නට නම් මේ ආක්‍රමණික පිරිස පන්නා දමන්නට ඕනෑ. මේ සත්‍යය මට වටහා දුන් මහාසිව මහා ස්වාමින් වහන්සේට මම ණය ගැතියි. ඒ ණය ගෙවන්නට නම් ගැමුණු රජතුමාට ජය ලබා දෙන්නට උදව් දී එමඟින් බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට ඕනෑ. "

"අපේ භික්ෂුන් වහන්සේලා එළාර රජුගේ ව්‍යාජ ධර්මිෂ්ටකම තේරුම් ගෙන, ජාතියේ විනාශය, සිංහල සංස්කෘතියේ පරිහානිය ජනතාවට අවබෝධ කිරීමෙහි යෙදුනා නම් මේ අරගලය අනුරාධපුර රාජධානියේ අභ්‍යන්තර අරගලයක් බවට පත් කරන්නට තිබුණා."