Print this Article


වස්සානයේ පින් පුරම

වස්සානයේ පින් පුරමු

දායකයන් විසින් වස් ආරාධනා කරනු ලැබුව ද, නොලැබුව ද භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීම සිදු කරති. දායකයෝ උන්වහන්සේට වස් ආරාධනා කොට තමන්ට පින් රැස් කර ගැනීමට මාර්ගයක් සකසා ගනිති.

දායකයා විසින් වස් ආරාධනා කොට වස්තුන් මාසය තුළ හාමුදුරුවන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට පොරොන්දු වූ පසු චීවරයක් පූජා කරන්නේ වස් අවසානයේ දී ය. කඨින සිවුර කියා පූජා කරන්නේ එම සිවුර යි. ඒ අනුව චීවර පූජාව සිදු කරනු ලබයි. එහෙත් අනෙකුත් පින්කම් මුල සිටම සිදු කරයි.

චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යනු සිව්පසය යි. මෙහි පිණ්ඩපාත යනුවෙන් අදහස් කරන්නේ දානය යි. වස් වසා වැඩ සිටින භික්ෂූන් වහන්සේට දායකයන් විසින් වස් කාලය තුළ දානය ගෙනැවිත් පූජා කළ යුතු ය. උන්වහන්සේට වස් කාලයේ පිණ්ඩපාතයේ වැඩම කිරීම කැප නැත. එනිසා දායකයින් මෙම කාලයේ අනිවාර්යයෙන් ම දානය ගෙනැවිත් පූජා කිරීම සිදුකළ යුතු ය.

සේනාසන පූජා කිරීම යනු හාමුදුරුවන් වහන්සේට වැඩ සිටීමට අවශ්‍ය ආවාසයක් පූජා කිරීම යි. බොහෝ විට සිදු වන්නේ විහාරස්ථානයේ වැඩ සිටින ලෙස ආරාධනා කිරීම යි. භික්ෂූන් වහන්සේ එම විහාරස්ථානයේ හෝ ආරණ්‍ය සේනාසනයේ ඇති කුටියක හෝ ආවාසයක වැඩ සිටිති. එහෙත් අපේ දායක පින්වතුන් වස් කාලය අවසානයේ කඨිනයට පෙර විහාරස්ථානය හුණු පිරියම් කිරීම හෝ තීන්ත ගෑම, කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරීම වැනි දේ සිදුකොට ආවාස පූජාව වෙනුවට ආවාස නඩත්තුවට හෝ දායක වීම සිදු කරති.

ගිලන්පස යනු බෙහෙත්වලට නමකි. අද අපේ බෞද්ධයෝ ගිලන්පස යනුවෙන් හඳුන්වන්නේ තේ, කෝපි, සුප් හෝ හාමුදුරුවන් වහන්සේ වළඳන පලතුරු බීම වැනි දේ යි. එවැනි දේ ගිලන්පස ලෙස පූජා කිරීම ද වරදක් නැත.

එහෙත් ගිලාන යනු ලෙඩාට කියන නමකි. පස යනු ප්‍රත්‍යය යි. ලෙඩාට දෙන බෙහෙත් ගිලන්පස වේ. එමනිසා භික්ෂූන් වහන්සේට වස් කාලය තුළ අසනීප වුවහොත් බෙහෙත් ගෙනැවිත් දීම ආදිය සිදුකළ යුතු ය. එය ගිලන්පසවලින් සංග්‍රහ කිරීමකි.

ඒ අනුව දායකයා දිනපතාම නොව එම කාලය තුළ අවශ්‍ය වේලාව බලා තමන් සිවුපසයෙන් සංග්‍රහ කිරීම නියම පිළිවෙළයි. එසේ පින් රැස් කර ගන්නා අතරම දායකයා ද සිල්වත්ව එම කාලය ගත කළ යුතු ය.

මෙහිදී සිව්පසය පූජා කිරීම පිළිබඳ බොහෝ දායකයන් කැපවීමෙන් ක්‍රියා කරන බව පෙනේ. අඩුම තරමින් වස් කාලයේවත් හාමුදුරුවන්ට දානයක් පූජා කරන්නට ඕනෑ යනු බොහෝ දෙනකුගේ අදහසකි.ඒ වස්කාලයේ දානය පූජා කළාම වැඩියෙන් පින් සිදුවනවා කියන නිසයි.

ඒ කාරණය ඇත්ත ද? එහි සත්‍යයක් තිබේ. වස් කාලයේ දානය පූජා කළාම වැඩියෙන් පින් සිදුවීමට හේතුව එම කාලයේ හාමුදුරුවන් වහන්සේත් වඩාත් සිල්වත්ව ගත කරන කාලය යි. දායකයින් ද සිල්වත්ව ගත කරන කාලය යි. සිල්වතුන් විසින් සිල්වතුන්ට දෙන දානයෙහි අනුසස් වැඩි බව බුද්ධ දේශනාවයි. ඒ අනුව එම කියමනෙහි වරදක් නොපෙනේ.

උදේ පාන්දර විහාරස්ථානයට කැඳ රැගෙන ගොස් පූජා කිරීම, හීල හා දවල් දානය පූජා කිරීම, හවසට දැහැත්, ගිලන්පස හෝ පලතුරු බීමක්, සුප් එකක් වැනි දෙයක් පූජා කිරීම කළ හැකි ය. එය කළ යුත්තේ ද හාමුදුරුවන් වහන්සේගෙන් විමසා කැමැත්ත අනුව ය.

සමහර හිමිවරු හවස්වරුවේ සුප් ආදිය වළඳන්නේ නැත. එහෙත් අසනීප හාමුදුරුවන් වහන්සේ සමහරවිට වළඳනවා වන්නට පුළුවන. එනිසා විමසා බලා ක්‍රියා කිරීම වැදගත් වේ.

හාමුදුරුවන් වහන්සේට ඇප උපස්ථාන කොට පින් සිදුකර ගන්නවා මෙන් ම, තමන් ද භාවනා කරමින් හැකි තරම් නිවනට ළඟාවීමට උත්සාහ ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි අවධියේ සමහර දායකයන් භික්ෂූන් වහන්සේ සමඟම භාවනා කොට රහත් වූ පුවත් අසන්නට ලැබේ.

අදත් සමහර ප්‍රදේශවල උපාසක උපාසිකාවන් භික්ෂූන් වහන්සේ වස් වසා සිටින මාස තුන තුළ ඔවුන් ද අටසිල් හෝ දස සිල් සමාදන් ව වාසය කරන අයුරු දක්නට ලැබේ. මෙසේ කිරීමට යමකුට හැකියාවක් වේ නම් එය මහත් භාග්‍යයකි.

නිවෙස්වල ඇති කරදර කම්කටොලුවලින් මිදී තම ජීවිත කාලයෙන් මාස තුනක් හෝ කැප කිරීමට ලැබීම මොන තරම් භාග්‍යයක් ද?

බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ එක් උපාසිකාවක් ද හාමුදුරුවන් වහන්සේගෙන් භාවනාව ඉගෙනගෙන භාවනා කරන්නට පටන් ගත්තා ය. ඇය හාමුදුරුවන්ටත් ප්‍රථමයෙන් අනාගාමී වූවා ය. ඇය හාමුදුරුවන් වහන්සේට අවශ්‍ය කරන දානාදියත්, හාමුදුරුවන් වහන්සේ කැමැති දේත් ගෙනැවිත් දුන්නී ය. මෙහිදී භික්ෂූන් වහන්සේ තම සිතේ ඇති දේ මේ උපාසක අම්මා දකිනවා කියා බියට පත්වී එහි සිටීමට නො හැකි බව බුදුරජාණන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ එහි ම ගොස් භාවනා කරන ලෙසට දන්වා සිටියහ.

මෙම කතා පුවත දෙස බැලීමේ දී අපට පෙනී යන්නේ සමහර විට හාමුදුරුවන් වහන්සේටත් කලින් ගිහි ඇත්තන්ට වුව ද මාර්ගඵල ලැබිය හැකි බවයි. ඒ සඳහා උනන්දුවන අයට මෙය ඉතා හොඳ අවස්ථාවකි.

භික්ෂූන් වහන්සේ සමඟ මෙම මාස තුන සිල්වත් ව හා ගුණවත් ව ගෙවනවා යන අධිෂ්ඨානය ඇතිව යම් කෙනෙක් කටයුතු කරන්නේ නම් එය වස් කාලයේ පින් පුරවා ගැනීමකි.