Print this Article


මල්දමක් ගොතන්නා සේ කුසල් රැස් කරන්න

මල්දමක් ගොතන්නා සේ කුසල් රැස් කරන්න

දඹදිව අගුරට භද්දිය නුවර මැඬ නම් මහ සිටුවරයෙක් විය. ඔහු මහා ධනවතෙකි. ඒ ප්‍රමාණය කොපමණ දැයි කියා නිම කළ නොහැකි ය. සෑම සැපතින් පිරී යස ඉසුරු භුක්ති විඳිමින් ජීවත් විය. ඒ සිටුවරයාගේ පුත් රුවන ධනඤ්ජය නම් විය. ඔහු ද සිටුවරයෙකි.

සුමනා දේවිය ධනඤ්ජය සිටුතුමාගේ දේවියයි. සිටුතුමාගේත්, දේවියගේත් දියණිය වූයේ පින්වත් විශාඛාවෝ ය.

දිනක් බුදුරජාණන් වහන්සේ භද්දිය නුවරට වැඩම කළ සේක. එහිදී මැඬ මහ සිටාණෝ ද මිණිබිරිය වූ විශාඛාවන් ද ධර්මය අසා සෝවාන් වූහ.

සැවැත් නුවර මිගාර සිටුතුමාගේ පුත් වූ පූර්ණවර්ධන සිටුතුමා සමඟ විශාඛා දේවියගේ සරණ මංගල්‍යය සිදුවිය. මහා පින් ඇති විශාඛා කුමරියට පරම්පරාවෙන් උරුම වූ නව කෙළක් පමණ වටිනා මහලිය පළඳනාවක් තම පියා වූ ධනඤ්ජය සිටුතුමාගෙන් ලැබුණි. විශාඛා දේවියගේ බාල සොහොයුරු වූ මිගාර සිටාණෝ ද සෝවාන් ව මොක් මඟ පහස ලැබූ අයෙකි.

විශාඛාවන්ගේ නැණ ගුණ බලය ලෝ පරසිදු විය. ඇය පුත් කුමාරවරුන් දස දෙනෙක් හා දූ කුමරියන් දස දෙනෙක් ආදී ලෙසින් දරුවන් විසි දෙනකුගේ මවක් විය. ඒ කෙසේ වෙතත් ඇය තුළින් කිසිම විටෙක වයෝවෘද්ධ පෙනුමක් නොවීය. තුරුණු පෙනුම ම විය. පෙහෙවස් පිරීමෙහි නියැළුණු මහ උවැසියන් අතරින් විශාඛාවෝ ඉදිරියෙන් ම වූවා ය. ඒ වගේම ඇය තම මන්දිරයේ නිරතුරුව ම භික්ෂූන් වහන්සේ උදෙසා මහා දන් පූජා කළා ය.

විශාඛාවෝ තම පරම්පරාවෙන් උරුම වූ මහලිය පළඳනාව ඉතා විශාල මුදලකට අලෙවි කළා ය. විහාරයක් සැදීමේ භූමිය ගැනීමට කහවණු නව කෙළක් ද, විහාරය සෑදීමට කහවණු නව කෙළක් ද, විහාරය පිදීමේ උළෙලට කහවණු නව කෙළක් ද වශයෙන් පූජා කළ ධනය කහවනු සත්විසි කෙළකි. එලෙසින් ගොඩනැඟූ විහාරය පූර්වාරාමය නම් විය.

එම විහාරයෙහි වැඩ නිම කොට ශාසනයට පූජා කිරීමෙන් අනතුරුව විහාරය වටකොට සතුටු සිතින් තම දරු මුණුබුරු, පිරිස් පිරිවරා සතුටු ගී ගයමින් හැසිරෙන අයුරු දැකීම මහත් වූ පුදුමගෙන දෙන සුළු විය.

කිසිම දිනක එවැන්නක් නොදුටු භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ, “ විශාඛා මහා උපාසිකාව තම දරු මුණුබුරු පිරිස් සමඟ විහාරය වටා සතුටු සිතින් ගී ගයමින් මේ හැසිරෙන ආකාරය කිමෙක් දැයි නොදනිමු’යි පවසා සිටියහ.

ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ විශාඛාවෝ ගයන ගීයක් නැත. පෙර පැතුම් ඉටු වී අග උවැසි තනතුරු ලැබීමෙන් හැඟුණු පසන් සිත පැතිරීමකැයි භික්ෂූන් වහන්සේට දේශනා කළ සේක.

“යථා පි පුප්ඵරාසිම්හා
කයිරා මාලාගුණේ බහූ
ඒවං ජාතෙන මච්චේන
කත්තබ්බං කුසලං බහුං”

“මල් රැසකින් බොහෝ මල් දම් ගොතන්නේ යම් සේ ද එසේ ම උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතු ය.”

යම් මල් කරුවකු විසින් වියළුණු, මැලවුණු, පණුවන් කෑ, පැල්ලම් ගැසුණු මල් තෝරා ඉවත දමා මනා වූ පැහැයෙන් හා සුවඳින් යුත් මල් රැසක් කැටි කොට බොහෝ මල්දම් තනන්නේ වේ ද එපරිද්දෙන් ම උපන්නා වූ මනුෂ්‍යයා විසින් බොහෝ කුසල් කටයුතුයි වදාළ සේක.

මනුෂ්‍ය ජීවිතයක් ලද අප ද, මේ ලැබූ ජීවිතය අර්ථවත් කර ගැනීමේ දී මල්කරුවා විසින් මැනවින් තෝරා ගන්නා වූ පැහැයෙන් හා සුවඳින් යුත් මල් සේ අප ද අපගේ ජීවිතයට මැනවින් කුසල් දහම් එකතු කර ගත යුතු ය. එවිට මේ ලැබූ මනුෂ්‍යත්වය වඩා අර්ථවත් වනු ඇත.