Print this Article


පහන් සිතක කවි

සිත නිවෙන තැන

පන්සල් බිම ම ඇතිරුණු ගල් තලාවයි
බැලු බැලු අතින් හැම තැන තුරු ලතාවයි
දලු ලා වැඩුණු බෝධිය හරි කලාවයි
පන්සල් බිම කාගෙත් සිත් නිවාලයි

බෝ මැඩ සෙවණෙ මොහොතක් කල් ගෙවන විට
පන්සල් බිම පුරා සක්මන් කරන විට
මගෙ පොඩි කුටියෙ හිඳ විදසුන් වඩන විට
නැත කිසි පාලුවක් අරමෙහි හිඳින විට

ගම කෙළවරයි පන්සල් බිම තියෙන්නේ
චිත්ත විවේකාරාමය කියන්නේ
එන සැම දෙනාගෙ ම තුන් සිත නිවෙන්නේ
එ නිසයි පන්සලට මේ නම කියන්නේ

පන්සල් බිමට මේ ලස්සන නම දුන්න
එය ඉදිකරන්නට සහයෝගය දුන්න
මට නිදහසේ වැඩ ඉන්නට ඉඩ දුන්න
සැමට ම පතමි නිවනට මඟ පෑ දෙන්න


මෙතේ බුදු හිමියනි

මෙත් මුනි සමිඳේ ....
මධුර මනෝහර
මුනි බණ පදයක්
අහන්න
වැඳ වැටිලා

අවසර නැතිවෙද
මතු ලොව බුදුවන
අප මහා සම්බුදු
මෙත් මුනි සමිඳේ....
සතර දෙසින්
ඇවිලෙන දුක් ගිනි දැල්
දවමින් මා පසුපස එන්නේ
බිහිසුණු ගිනි දැල්
කෙලෙස නිවන්න ද
නැත මා හට නම්
වැටහෙන්නේ
නිම නැති මේ සසරේ
අප මහා සම්බුදු
මෙත් මුනි සමිඳේ....
දුක් ගිනි නිවනා
බුදු බණ අසනට
මා පැමිණෙන දා
දෙව්රම සොයලා
සසරින් එතෙරට
යන්නට සිතකට
පින් සිත් වැඩිල ද
දෙසනු මැනවි මට
සමාවෙලා
අප මහා සම්බුදු
මෙත් මුනි සමිඳේ......
බුදු බණ අහලා
සිත මගෙ නිවිලා
අනන්ත ගුණයෙන් සැනසීලා
නිවන් පුරේ සුව විඳිනට අවසර
සසරින් එතෙරට පිය මැනලා
අප මහ සම්බුදු
මෙත් මුනි සමිඳේ....


අමා දම් මිහිර

පව්වෙන් මිහින්තල සදහම් ගඟුල ගලා
හෙළයේ දනන්ගේ සිත් පින් පුරවාලා
සිවුපා සියොත් කැළ පණ නල රැකෙනු බලා
අනුබුදු සමිඳු හෙළ අභිමන් ජනිත කළා

අමා දම් රසෙන් ඔකඳ ව බොදු දනන් සිතුම්
මිහින්තලාවෙන් ඇරැඹේ සදහම් උතුම්
පන්සල විහාරේ දන් සිල් බවුන් වැඩුම්
අනුබුදු මිහිඳු හිමි සමරා තුම් පින්කම්

පොසොන් සඳ කිරණ සමඟින් ලොව නැහැවූ
සිව් සැට කලා අගනා මිණිමුතු දිස් වූ
දෑස් පුබුදවා සදහම් වෙත හැරවූ
නමදිමි ඔබෙ දෙපා හිමියනි අනුබුදු වූ


සුජාතා සිටුදියණිය

මෙම කප පතළ දඹදිව මහ නුග ගසකී
හැම දෙන පුදන නමදින රුක් දෙවි කෙනෙකී
නම ගිය සුජාතා නම් සිටු දියණියකී
දරුවකු ලැබීමට පුදකළ භාරයකී


දහම් මඟට පැමිණේවා

පන්සාළිස් වසක් පුරා
ලොවට දම් කඳ දෙසා
පිරිනිවනට පෑ බුදු හිමියනි
ලොව විසූ බොහෝ දන
ශ්‍රී සදහම් අසා
මඟ ඵල ලැබුවා.
දෙව් ලොවට ගියා
නිරයෙන් ගැලවුණා
හුඟක් කුසල් කරලා
මග ඵල ලබන්නට
දෙව් බඹු මිනිස් ලොව
ඉපදෙන්නට හැමෝට ම
හැකි වේවා කියා පතනවා.

එල්.පී.ඩී. සදීෂ් නෙතුෂ බණ්ඩාර


සසර...

භවයෙන් භවය සත සසරේ ගමන් යත
කළ කම් අනුව ජීවිතයක් ලැබී ඇත
සිරුරක් සමඟ ඇත ඒ හා බැඳුණු සිත
නම් රූ දහම් හැර එහි වෙන කිසිත් නැත


මෙත් මල් පිපිලා

හිරු නැඟිටින්න පෙර අලුයම අවදි වෙලා
සිල් රැකීමට සුදුවතින් සැරසී පන්සල වෙත පිටත් වෙලා
පරුෂ වචන නෑ මුවග නිවුන වදන් ඇත රැඳිලා
දුදන ගති වෙන් වෙලා සිත් තුළ මෙත් මල් පිපිලා


පොසොන් සඳ

තිස්ස තිස්ස හඬ ඇසුණා
මගෙ නම කියන්නෙ කවුදැයි බැලුවා
දෙව්පෑ නිරිඳුන් සදහම් ඇසුවා
දුනු ඊතල බිමට දමා දොහොත් මුදුන් දී වැන්දා

පොසොන් පෝදා දෙවන බුදුන් ලක් දෙරණට වැඩම කළා
දහමින් ලක් මව පෝෂණය කළා
පොසොන් සඳ කිරණ ලක්දිව එකලු කළා
අනුබුදු මිහිඳු මා හිමි ගුණ සමරමු සැමදා


වෙනස් වීම

සම්බුදු පිරි නිවුම සිදුව
වසර දෙතිස් හයක් ඉක්ම
මිහිඳු සමිඳු සදහම් ඔසු
සිරි ලක් මව වෙතට ගෙනේ

දෙව් පියතිස් රජු හා දන
තෙරුවන මනුදම් අතරට
දුනු ඊතල බාල සිතුම්
වහල් දාස ගති ඉවතට

දාගැබ් මහ පිළිම ථූප
මහ වැව් වන උයන් තැනේ
සුදු සළු පිළි සැරසි පිරිස
සැඳෑවෙ වෙහෙරෙහි ගැවසේ.

සාධු නාද පිරිත් සරින්
වැඩිහිටි මනුදම් පළවේ
දන් සැල් මහ පින්කම් සැම
ගම් බිම්වල නිති සිදුවේ

වැලි මලුවේ දිගු කොඩිවැල්
සිලි සිලියකි බෝ සෙවණේ
සාර සසුන් පිළිවෙත් දැන
සමහරු විදසුන් ගත වේ