Print this Article


සතුට දැනෙන ගති නිමිති පහළවන හැටි

සතුට දැනෙන ගති නිමිති පහළවන හැටි

දුටුගැමුණු රජතුමා මරණ මංචකයේ දී ඉල්ලීමක් කළ බව සඳහන් වෙනවා. ඒ තමන් ගොඩනඟන්න අඩිතාලම දැමූ රුවන්වැලි සෑ මලුවට තමන් රැගෙන යන ලෙස යි. රුවන්වැලි සෑරදුන්ගේ වැඩ අවසන් ව නොතිබූ නිසා සද්ධාතිස්ස කුමරු ලී ගෙනැවිත් සෑයේ හතරැස් කොටුව සකසා, කොත්කැරැල්ල සාදා සුදු රෙදිවලින් වසා චෛත්‍යයේ වැඩ නිම කළ සේ සැරසීමට ලක් කළා.

අනන්ත සංසාර ගමනේ විවිධාකාර ආත්මභාව ලබමින් ලෝක සත්වයා දුක්බර ගමනක යෙදෙනවා. ඒ ආත්ම අතර මනුෂ්‍ය බවයක් ලැබීම ඉතාමත් ම ශ්‍රේෂ්ඨයි. බුදු බව ලබන්නේ මනුෂ්යේයක්. පසේ බුදු බව ලබන්නේ මනුෂ්‍යයෙක්. මහරහත් බව ලබන්නේ මනුෂ්‍යයෙක්.

මේ උත්තරීතර තත්වයන් ලබන්නට ශක්තිය ලබන්නේ මනුෂ්‍යයන් පමණි. ඒ නිසයි මේ මනුෂ්‍යය ජීවිතයේ වටිනාකම හැම අයෙක් ම අවබෝධ කර ගත යුතු වන්නේ. එය අවබෝධ කර ගැනීමට මහන්සි විය යුතුවනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව උදාර මනුෂ්‍යය ජීවිතයක් ගොඩනඟා ගන්නේ කෙසේ ද? මේ ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයන් සෑම දෙයක් ම ලස්සනට සිදු කර, එහි ලස්සන බලා සතුටු වෙනවා.

කෙනෙක් මල් පැළයක් සිටුවා පොහොර, වතුර දමා ආරක්ෂා කරනවා. එහි මල් පිපී සුවඳ හමන විට, මලේ ලස්සන දකින විට සතුටක් ලබනවා. ඒ වගේ ම ජීවිතයේ සෑම කාර්යයක් ම නිවැරැදිව සිදු කර එහි හොඳ ප්‍රතිඵල ලැබෙන විට ඉතාමත් සතුටට පත් වෙනවා. ඒ නිසා අප විසින් ම අපේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගොඩනඟා ගන්නේ නම් එයත් කවදා හෝ අපට සතුටු විය හැකි කාරණයක් වනවා.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ජීවිත කාලය පුරා ම පින් දහම් කළ උපාසකයෙක් සිටියා. ඔහු නමින් ධම්මික. ධම්මික උපාසකතුමා පමණක් නොවෙයි, බිරිඳත්, දරුවනුත් ද ආගම දහමට ලැදියි.

නිතර පින්කම් කළ, පින්වන්ත ජීවිත ගත කළ අය. කලකට පසු ධම්මික උපාසක රෝගාතුර වුණා. ඒ රෝගී තත්වයෙන් ම ඔහු ඉතා දුර්වල වුණා. උපාසකතුමාගේ රෝගී තත්වය බලා ආශිර්වාද කිරීම සඳහා භික්ෂූන් වහන්සේ උපාසකතුමාගේ නිවසට වැඩියා. අසනීපව, දුර්වලව සිටි උපාසකතුමා භික්ෂූන් වහන්සේගේ වැඩමවීමෙන් බොහෝ සතුටට පත්වුණා. තමන් ඉතා කැමැති, තමන් නිතර සජ්ඣායනය කළ සතිපට්ඨාන සූත්රභය දේශනා කරන ලෙස භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරමින් සිටි අවස්ථාවේ දී ධම්මික උපාසකතුමා ගේ අවසාන මොහොත එළැඹුණා. ගති නිමිති පහළ වුණා. එනම් මරණින් පසු ප්‍රතිසන්ධිය ලබන තැන දැනෙන්නට වුණා.

තමන් සුගතියක, දිව්‍ය ලෝකයක, මනුෂ්‍යය ලෝකයක උපදිනවා නම්, මරණාසන්න මොහොතේ ඒ තැනැත්තාගේ සිතට මහා පුදුමාකාර සතුටක් ඇති වෙනවා.

ඒ වගේමයි ජීවිත කාලය පුරාම පව් කළ අයටත්, අපරාධ කළ අයටත් මරණ මංචකයේ දී ගති නිමිති පහළ වෙනවා. එය ඉතා භයානකයි. දුටුගැමුණු රජතුමා ද මරණ මංචකයේ දී ඉල්ලීමක් කළ බව සඳහන් වෙනවා. ඒ තමන් ගොඩනඟන්න අඩිතාලම දැමූ රුවන්වැලි සෑ මලුවට තමන් රැගෙන යන ලෙස යි. රුවන්වැලි සෑරදුන්ගේ වැඩ අවසන් ව නොතිබූ නිසා සද්ධාතිස්ස කුමරු ලී ගෙනැවිත් සෑයේ හතරැස් කොටුව සකසා, කොත්කැරැල්ල සාදා සුදු රෙදිවලින් වසා චෛත්‍යයේ වැඩ නිම කළ සේ සැරසීමට ලක් කළා. දුටුගැමුණු රජතුමා ඇඳක තබා සෑ මලුවට රැගෙන ආවා. එතුමා කිරි බුබුළක් සේ දිස්වන රුවන්වැලි සෑරදුන් දුටුවා. අනෙක් පස බැලූ කල මිරිසවැටිය ද, තවත් පසෙක බැලූ තැන ලෝවාමහා ප්‍රාසාදය පෙනෙනවා.

මහාපාලි දානශාලාවේ දී තමන් දන් දුන් ආකාරය රජතුමාට මතක් වෙනවා. අවසානයේ තමන්ගේ පින් පොත කියවන ලෙස ද ඉල්ලීමක් කළා. පින්පොත කියවන විට මේ මම කළ පින්කම් නේ ද කියා, තමා ගැන ම නේද මේ කියන්නේ කියා සතුටට පත්ව සිනා පහළ වුණා. එවිට ගති නිමිත්ත පහළ වුණා. මිය ගොස් දෙවියෙක් ව උපත ලැබුවා.

ඒ වගේ ම ධම්මික උපාසකතුමාට භික්ෂූන් වහන්සේ සතිපට්ඨාන සූත්ර ය දේශනා කරන විට, උපාසකතුමා එක විට ම

“ටිකක් නිවතින්න, ටිකක් නවතින්න," යැයි පැවසුවා. සූත්‍ර දේශනාව සජ්ඣායනය නවතන ලෙස පැවසුවේ යැයි සිතා භික්ෂූන් වහන්සේ පිරිත් දෙසුම නතර කළා.

සිනා පහළ කළ උපාසකතුමා දෑස පියා ගත්තා. භික්ෂූන් වහන්සේ ආපසු වැඩම කර මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට විස්තර කළා. එහි දී බුදුරජාණන් වහන්සේ කරුණු පහදා දෙමින් දේශනා කොට වදාළේ,

“ටිකක් නවතින්න, ටිකක් නවතින්න යැයි කීවේ ඔබ වහන්සේට සූත්‍ර දේශනාව නතර කරන්න නොවේ. ඒ අවස්ථාවේ දී දෙව්ලොව දෙවියන් පැමිණ ධම්මික උපාසකතුමාට එන්න කියා අඩගැසූ නිසයි. සූත්‍ර දේශනාව අවසන් නොමැති නිසා “ටිකක් නවතින්න“ යැයි උපාසකතුමා පැවසුයේ දෙවියන්ට බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක “ඉධමොදති පෙච්ච මොදති කත පුඤ්ඤෝ උභයත්ථ මොදති“ පින් කළ මනුෂ්‍යයා මෙලොව සතුටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා.

“සො මොදති සෝ පමෝදති“ නැවත නැවත සතුටු වෙනවා.

පිරිසුදු - කුසල කර්මයන් දැකීමෙන්, සිතීමෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රතිඵල ලැබීමෙන් සතුටට පත් වෙනවා. මෙම කාරණය අප කවුරුත් සිතිය යුතුයි.

මේ අනන්ත සංසාර ගමනේ අපි සැවොම අපේ ම කර්මය දායාද කර ගෙන ගමන් කරනවා.

කර්මය නැදෑයා වෙනවා. කර්මය පිළිසරණ වෙනවා. කර්මය දායාද කරගෙන මේ සසර ගමන් කරනවා. මෙලොවට අප ගෙනාවෙත් අපේ ම කර්ම ශක්තියයි. මේ ජීවන ගමන තුළ තමා විසින් කළ කුසල කර්මයක් දැකීමෙන්, සිතීමෙන් මෙලොව ජීවිතයේ ඉමහත් වූ සන්තුෂ්ටියක් ලබනවා. තමා ගැන ම සිතා, කල්පනා කර සතුටු වෙනවා.

මනුෂ්‍යයන් හැටියට අපි ද ඉතා ම හොඳ ගුණවත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍යයයි. ගුණවතකුට තමා ළඟ තිබෙන ගුණවත්කම, මනුස්සකම ගැන තමන්ට ම සතුටක් ඇති වෙනවා. තමා තුළ තිබෙන ගුණය තමාට තිබෙන වත්කමක් ලෙස කල්පනා කරන්න. මේ ලෝකයේ මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්්ඨ ම මනුෂ්‍යය රත්නය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි. බුදුගුණ අනන්තයි. ඒ අනන්ත ගුණ පිරුණු බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය අපි සරණ යනවා. හැම සිතක ම පින් සිතිවිලි පහළ කර ගන්න උත්සාහ කළ යුතුයි. කතා කරන සෑම වචනයක් ම පිරිසුදු ප්‍රිය යුතුයි. තමන්ට තමන් ගැන සතුටු විය හැකි වාසනාවන්ත ජීවිතයක් ගොඩනඟා ගත යුතුයි. මෙලොව දී සතුටු වී එහි ප්‍රතිඵලයක් ලෙසින් පරලොව දෙව් මිනිස් සැප ලබන්නට මාර්ගය සකසා ගත හැකි තමන්ට ම යි. ඒ තමන්ගේ සිතිවිලි හා ක්‍රියාකාරකම්වලට වගකිව යුතු තමන් ම නිසා ය.