Print this Article


පිරිහීමෙන් වළකින්නට ධනාත්මක සිතිවිලි

පිරිහීමෙන් වළකින්නට ධනාත්මක සිතිවිලි

අසජ්ඣාය මලා මන්තා
අනුට්ඨාන මලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං
පමාදො රක්ඛතො මලං
(ධම්මපද මල වග්ගය)

ධනාත්මක චින්තනය අලුත් ම මාතෘකාවක් වෙලා. බොහෝ දෙනා මෙය ජනපි‍්‍රය මාතෘකාවක් බවට පත් කරගෙන තියෙන්නේ මහා කුසීත, අලස ජනතාවක් නැඟිටවන්නට ඉදිරිපත් කෙරෙන අලුත්ම බලවේගයක් ලෙසින්. බොහෝ ජනපි‍්‍රය දේශකයන් බටහිර ධනාත්මක සිතිවිලි සමාජගත කරන්න උත්සාහ කරන්නේ අපේ වැදගත් ආගමික ඉගැන්වීම් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිවයි.

සත්‍ය වශයෙන් ම බණ පොතට පිවිසෙන කෙනකුට ලෝකයේ පරමාදර්ශී ජීවිතයකට අවශ්‍ය සියලු පිළිවෙත් මනාව විවරණය වෙනවා. සූත්‍ර දේශනා විමසා බලන්න නොහැකි නම් විස්තරාර්ථ සහිත “ධම්මපදය” පොතක් සාවධානව පරිශීලනය කර බලන්න. අපට තවත් මොනම විජාතික දර්ශනයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනුව ධම්මපදයේ මල වග්ගයේ එන ඉහත දැක්වූ ගාථාව විමසා බලන්න. මේ ගාථාවේ වචනාර්ථ මෙසේයි.

මන්තා – උගත් දහම් හෝ හදාරන ලද කවර හෝ ශාස්ත්‍රයක් , අසජ්ඣාය – නිතර නිතර භාවිතයට හෝ පුරුදු කිරීමට නොගත හොත් , මාලා – කිළිටි වේ. පිරිහෙයි, ඝරා – නිවෙසක, අනුට්ඨාන – උත්සාහය, වීර්යය නොමැතිකම , මාලා – කිළිටි බව, පිරිහීමට හේතුවයි , වණ්ණස්ස – ශරීරයේ පැහැය හෙවත් රූපශ්‍රීයට, ප්‍රසන්න බවට ,කො සජ්ජං – කුසීතකම, කම්මැලිකම, මලං – පිරිහීමට හේතු වෙයි, රක්ඛතො – යමක් හොඳින් ආරක්ෂා කරන්නකුට, පමාදො මලං – ප්‍රමාදය නිසා පිරිහීමට ලක්වෙයි. පසුතැවිල්ලට ලක් වෙයි

මේ අනුව

උගත් දේ නිතර නිතර සිහිපත් කරමින් භාවිතයට නොගතහොත් එය පිරිහීමට හේතු වෙයි.

ගෙදරක දෙමහල්ලන් උත්සාහයෙන් තොරවීමෙන් ඒ ගෙදර පිරිහෙයි

මනා රූපශ්‍රීය ඇත්තකුගේ කුසීත බව එම රූපශ්‍රීය පිරිහීමට හේතුව වෙයි.

යමක් රකින්නකුට පමාව හෙවත් වේලාවට වැඩ නොකිරීම පිරිහීමට හේතුව වෙයි.

බලන්න මෙම කරුණු හතර ඔස්සේ ධම්මපදයේ කුඩා ගාථාවකින් විශාල සමාජයක පිරිහීම වළක්වාලන්නට ප්‍රබල දර්ශනයක් ඉස්මතු කරනවා නොවේද? පුද්ගලයකු හදාරන දෑ, ජීවත්වන නිවස, ශරීරය හා රාජකාරිය නිසි සේ පවත්වා ගන්නට අවබෝධයෙන් මෙම ධර්ම කාරණාවලට යොමු වන පුද්ගලයකුට නොහැකි වේද?

මේ අනුව උගත් දෑ නිතර නිතර භාවිතයට ගත යුතු බව සිහිපත් කළ යුතු බව බුද්ධ නියමයයි. අපේ අතීත අධ්‍යාපන ක්‍රමය තුළ වනපොත් කිරීම නම් උසස් පාඩමක් පැවතුණේ මේ සඳහායි. වනපොත් කිරීම නම් අලුත් දේ කටපාඩම් කිරීම මෙන් ම, උගත් දේ නැවත නැවත මෙනෙහි කිරීමයි. අතීත භාණකවරු මුළු ත්‍රිපිටක ධර්මය ම කටපාඩමින් පවත්වා ගෙන ආවේ මෙම ක්‍රමය භාවිතයට ගැනීමෙනි.

අපේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තුළ මේ වනපොත් කිරීම ප්‍රධාන අංගයක්. ඒත් ජාතික අධ්‍යාපන තලයෙන් එය ගිලිහී ගොස් තිබෙනවා. ඒ නිසා කොතෙක් දැනුම ලැබුවත් බොහෝ දරුවන්ගේ ධාරණ ශක්තිය නැතිව ගොස් මනෝමය හැකියාව මුළුමනින් ම බිඳ වැටිලා.

තාක්ෂණය ඔස්සේ කැල්කියුලේටරයක් දරුවන්ගේ අතට පැමිණීම මේ විනාශය වඩාත් තීව්‍ර කළා. මීට දශක කීපයකට පෙරත් පාසල් අභ්‍යාස පොතක දෙකේ සිට දොළහ දක්වා චක්‍රයක් තිබුණා.

ඒ චක්‍ර කටපාඩම් කිරීම අවශ්‍ය වුණා. ඒත් අද එවැන්නක් අපේ අධ්‍යාපනය තුළ තිබේද? මේ අනුව අපේ මානසික ශක්තිය යන්ත්‍රයකට බාර දීම පිරිහීමේ කාරණාවක් නොවන්නේද?

දෙවැනි කරුණ වන්නේ ගෙදරක දෙමහල්ලන්ගේ අලසකම හේතුවෙන් ගෙදරක් පිරිහී යාම සිදුවන බවයි. බුදුසමයේ නිර්දේශ කරන්නේ උත්සාහයෙන් ගෙදර දොරේ වැඩ කළ යුතු බවයි.

මෙතැන උත්සාහය කියන්නේ සල්ලි හම්බ කරන එක කියලයි බොහෝ දෙනා සිතා ඉන්නේ. ඒ ගැනත් බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී ඉතා පැහැදිලිව කියල තියෙනවා.

කවර රැකියාවක වුව ද දක්ෂව, අනලස්ව උපාය විමසා බලමින්, යෝග්‍ය දේ යෝග්‍ය වෙලාවලට, යෝග්‍ය සැලැස්මකට අනුව යෙදිය යුතු බවයි කියැවෙන්නේ.

උත්සාහය කායික හා මානසික වශයෙන් දෙකොටසකට බෙදෙනවා. දෑතේ මහන්සියෙන්, දහදිය හෙළා ධාර්මික ජීවන ක්‍රමයක නිරත විය යුතු බව කියා තිබෙනවා. මේ නිවැරැදිව ආර්ථිකය ගොඩනඟා ගන්නට උත්සාහ කළ යුතු පිළිවෙළයි.

අපේ පින්වතුන් බොහෝවිට මේ උත්සාහය තිබුණත් ගෙදර සදාචාරය රැක ගන්න. පිරිසුදු බව රැක ගන්න, සහජීවනය ගොඩනඟා ගන්න වෙහෙසෙන්නේ නැහැ. ආගමික සුවය ගැන තැකීමක් නැහැ.

උතුම් මිනිසුන් ලෙස ජීවත් වෙන්න හොඳටම මඟ තියෙද්දී යක්ෂයින් රාක්ෂයන් මෙන් දුෂ්ට ව, නපුරු ව ජීවත් වෙනවා. හිත්වලට කිසිම සහනයක් නැහැ. ඒ නිසා උත්සාහය, සල්ලි හම්බ කරන්න වගේ ම ආධ්‍යාත්මික ධනයත් සොයන්නටත් යොදන්න.

මනා රූපශ්‍රීය ඇති කෙනකු එය වර්ධනය කර ගැනීමට වෙහෙස විය යුතු බව අවධාරණය කළා. රූපය අනිත්‍ය වෙනස් වෙන දෙයක්. මෙහි රූපය කියා කීවේ හමේ පැහැය නොවෙයි. පුද්ගලයාගේ ප්‍රසන්න පෙනුමයි.

යමෙක් තමන්ගේ හිස, මුහුණ, අත. කට ආදියත් අඳින ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රසන්නව පවත්වා ගන්නට උත්සාහ විය යුතු වෙනවා. ඒත් අපේ සමහර දෙනා කොණ්ඩය නිවැරැදිව ලස්සනට තියා ගන්න දන්නේ නෑ.

සමහර තරුණයන් හිස බූ ගානවා. සමහරු හිස මුදුනේ ටිකක් තබා ඉතිරි ටික බූ ගානවා. සමහර තරුණයන් කොන්ඩේ පසුපසට වවා ගොතනවා, බඳිනවා. පිරිමිකම පවා ප්‍රශ්නයක් වෙන විදියට කොණ්ඩේ හදාගෙන. සමහර ගැහැණු ළමයි කොණ්ඩේ පාට කරනවා.

විලාසිතා කරලා බටහිර ගැහැනියක් බවට පත්වෙන්න හදනවා. සමහරු ඇඟ පුරා පච්ච කොටන්න පටන් අරන්. සමහරු ඇඳුම අඳින්නේ ඇඟට නොවෙයි. කළිසම තියෙන්නේ ඉනේ නොවෙයි. ඊට පහළින්.

මේ සියල්ල අපට කියන්නේ තමන්ට උපතින් උරුම වූ සිරුර විකෘති කර ගන්නා හැටි. මේ සඳහා ගන්නා උත්සාහය චාම් ඇඳුමකින් සැරසී ප්‍රසන්න විදියට ජීවත් වෙන්න යොදනවා නම් කොච්චර වටිනවා ද?

අපේ ගාථාවේ හතරවැනි කාරණාව වූයේ යමක් රකින්නකුට පමා වීමෙන් බලවත් හානියකට පසුතැවිල්ලට පත් විය හැකි බවයි. එහි දී තමන්ගේ රැකියාව, ව්‍යාපාරය හෝ ආත්ම ගෞරවය වුවත් එක පොඩි පමාවකින් හානියට පත් වෙන්න පුළුවන්. එනිසා යෝනිසො මනසිකාරය හෙවත් හොඳ සිහිය පිහිටුවා ගන්න උත්සාහ කරන්න. එවිට පමා නොවී නිසි වෙලාවට වැඩ කරන්න පුළුවන් වේවි.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම වගේ තමන්ටත් බණ කියන්නට පුළුවන් යැයි පාරම් බෑ ලාලුදායි තෙරුන් ජනයා ඉදිරියේ බණ කියාගත නොහී ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ අවස්ථාවේ දී ඒ හිමියන් මුල් කොට බුදුහිමියෝ මේ ගාථාව වදාළා.

ඒ අනුව උගත් දෑ නිතර භාවිතයට නොගැනීමෙන් ද, ගෙදර පිරිහීම ගෙහිමියන්ගේ අලසකම හේතුවෙන් ද, කුසීතකම නිසා ශරීර ප්‍රසන්න බව නැති වන බව ද, යමක් රකින්නා පමාව නිසා උවදුරට ලක්වන බව ද පෙන්වා දුන්නා. මේ ගැන සිතන්න ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා.