Print this Article


පද්මාකාර ජීවිතයකට පුරුදු කළ යුතු ගු ණධර්ම

පද්මාකාර ජීවිතයකට පුරුදු කළ යුතු ගුණධර්ම

වඩු වැඩ කරන්නා පුටුවක් මේසයක් සෑදීමේ දී පළමුව ලී කොටයේ පොත්තත්, ඵලයත් ඉවත්කර තමාට සුදුසු අරටු කොටස පමණක් තෝරාගෙන එයින් අවශ්‍ය ගෘහ භාණ්ඩ තනයි. එම ගෘහ භාණ්ඩ ගුල්ලන් වැනි කෘමීන්ගෙන් සුරක්ෂිත ව බොහෝ කාලයක් පවතිනු ඇත.

ඒ අයුරින් ම අපේ ජීවිතය තුළ ඇති වැරැදි අඩුපාඩු හඳුනාගෙන ඒවායින් ඉවත්ව අපේ ජීවිතය හොඳ දේවලින් අලංකාර කර ගැනීමට අපි අධිෂ්ඨාන කර ගනිමු.

හොඳ හා නරක තීරණය කිරීම විවිධාකාර ය. කෙනකුට හොඳ දේ, තවත කෙනකුට නරක ය. කෙනකුට නරක දේ, තව කෙනකුට හොඳ ය. මුලින් හොඳ යැයි පිළිගත් දේ පසුවට නරක ය. එසේත් නැතිනම් නරක යැයි මඟ හළ දේ පසුවට හොඳ ය.

හොඳ නරක තීරණයෙහි ලා බොහෝවිට අප මෙහෙයවන්නේ දැනුම, උගත්කම, අත්දැකීම්, සමාජ පිළිගැනීම්, ආගමික ඉගැන්වීම් සහ සංස්කෘතිය වැනි සාධකයන් ය. රටින් රටට, ජාතියෙන් ජාතියට, ආගමෙන් ආගමට, සමාජයෙන් සමාජයට හොඳ නරක පිළිබඳ දැක්ම විවිධ ය.

පුද්ගල වශයෙන් ළමා, තරුණ වැඩිහිටි, මහලු වයස් මට්ටම්වල දී හොඳ නරක මිනුම් ක්‍රම වෙනස් වේ. තරුණ වියේ යහපත් යැයි අල්ලා ගන්නා දේ, මහලු වූ කල අයහපත් ලෙස දකියි. කවර ආකාරයෙන් බැලුව ද සමාජයේ වැඩිදෙනා හොඳ යැයි පිළිගන්නා දේ පිළිගන්නට බොහෝ දෙනා සූදානම් ය.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව හොඳ, නරක තීරණය කළ යුතු වන්නේ තමන් ය. අන් අය කීවත්, කවර බලපෑමක් ආවත් ඒ අනුව පරාදීන නොවී තමන්ගේ අවබෝධය හා තේරුම් ගැනීම මත හොඳ නරක තීරණය කළ යුතු බව බුදුරදහු පෙන්වා දුන්හ.

අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයට අනුව හොඳ නරක තීරණය කළ යුතු වන්නේ යම් දෙයක ප්‍රතිඵලය දෙස බැලීමෙනි. තමන්ගේ අයහපත පිණිස වේ නම්, අන්‍යයන්ගේ අයහපත පිණිස ද වේ නම්, ඒ තුළින් දෙපාර්ශ්වයටම අයහපතක් වේ නම් එය හොඳ දෙයක් නොවේ.

යම් යෙදක ප්‍රතිඵලය තමන්ගේ යහපතට මෙන් ම අනුන්ගේ යහපතට ද එනම් දෙපාර්ශ්වයේ ම යහපත පිණිස පවතී නම්, එය කළ යුතු හොඳ දෙයකි. හොඳ නරක නිරාකරණය කරනු ලබන මෙම මිනුම් දණ්ඩ මේ ලොව වෙනත් කිසිම ආගමක, දර්ශනයක හෝ චින්තනයක ඉදිරිපත් කර නැත.

කිසිවකුගේ බලපෑමක් නැතිව, ස්වාධීන ව සිතා යහපත අයහපත තීරණය කිරීමේ බලය එම පුද්ගලයා සතු කර, ඔහු වෙත ම වගකීම පවරා තිබීම මොනතරම් වටිනා මානුෂික අයිතිවාසිකමක් දැයි සිතා බලන්න.

එය ඕනෑම මිනිස් ප්‍රජාවකට සාධාරණ මිනුමක් ලෙස පිළිගන්නට සිදුවේ. එය සමාජය තුළ ඇතිවන ප්‍රශ්න, ගැටුම් නැති කර සාමය, සමගිය වර්ධනය කරන වටිනා ක්‍රමවේදයක් බවට ඕනෑම කෙනකුට එකඟ විය හැකි ය.

බුදුරජාණන් වහන්සේ පෙන්වාදී තිබෙන්නේ යමක් කළ පසු එයින් පසුතැවීමට පත්වේ නම්, එය කිරීම සුදුසු නැති බවත්, යමක් කළ පසු එහි ප්‍රතිඵලය සතුටින් භුක්ති විඳිය හැකි නම් එය කිරීම සුදුසු බවත් ය. මේ පණිවිඩය සමාජයට ඉතා වැදගත් ය. පුද්ගලයා කළ යුතු, නොකළ යුතු දේ තෝරා බේරා ගැනීමේ දී තමන් ගැනත් සිතන, අනුන් ගැනත් සිතන, මෙලොව පරලොව සැනසීම ලබා දෙන මේ දැක්ම මොනතරම් වැදගත් දැයි සිතා බලන්න. එය අපගේ ඉදිරි සැප හෝ දුක තෝරා බේරා ගැනීමේ අවස්ථාවකි.

යම් දෙයක ප්‍රතිඵලය එහි ස්වරූපය අනුව ම ය. අඹ ඇටයක් සිටුවූයේ නම් එයින් අඹ පැළයක් ලබා දෙයි. පැළ කළ බීජයට අනුව ඵලය ලැබෙනු ඇත. මෙම හේතු ඵල න්‍යාය පදනම් කරගෙන හොඳ දෙයින් හොඳ ප්‍රතිඵලත්, නරක දෙයින් නරක ප්‍රතිඵලත් ලැබේ. මෙය කිසිදු අන්‍ය බලපෑමකින් තොරව, ස්වභාවිකව ලෝක ධර්මතාව අනුව සිදුවන්නකි.

තමන් විසින් තමන්ගේ ම සිරුරට පහරක් ගැසුවේ නම්, රිදුම තමන්ට ම ය. වෙනත් කෙනකුට පහර දුන්නේ නම්, බැණ වැදුණේ නම්, මරණයට පත් කළේ නම්, ඒ විපාකය තමන්ට ය. එක්කෝ සිරගෙදර, එසේත් නැතිනම් මරණීය දණ්ඩනය හිමි වන්නට පුළුවන. එය මෙලොව ප්‍රතිඵලයන් ය. සිතෙහි උපදින ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වැනි සිතිවිලි මෙලොවත් පීඩනයට පත් කරමින්, පරලොව ද දුක්ඛදායක කරයි. අනුන්ගේ දියුණුව, සුව පහසුව, සැනසිල්ල ගැන සිතා යම් සත්කාරයක් කළ හැකි නම් එය දෙලොවට ම වැඩදායක ය. ආර්ථික අපහසුතා ඇති අසරණ රෝගීන්, ඉගෙනීමේ දක්ෂතා ඇතත් ආර්ථික අපහසුතා ඇති දරුවන් කොපමණ සිටිනවා ද? ඔවුන් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරන්නට පුළුවන. ධනය නැති වුව ද ශ්‍රමය පරිත්‍යාග කළ හැකි අවස්ථා ද ඇත. ගමට පාරක්, අසරණයකුට නිවහනක් සදන්නට, ශ්‍රමදානයකට, තව කෙනකුගේ යහපතට තමන්ගේ වටිනා ශ්‍රමය දානය කරන්නට පුළුවන.

බෞද්ධයින් වන අපගේ පරමාදර්ශය විය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ උතුම් චරිතාපදානය ආදර්ශයක් කර ගැනීමයි. බුදුදහම අනුව අපගේ සිතුම් පැතුම් හා හැසිරීම් රටාව සකස් කර ගැනීමයි.

පුද්ගලයා නැමැති නෙලුම විකසිත වන්නේ මිනිස් සමාජය නමැති පොකුණෙහි ය. අපි සෑම දෙනා ම එම පොකුණෙහි හැදුණු වැඩුණු මිනිසුන් වෙමු. අපගේ උපත, පිළිසිඳ ගැනීම, බිහිවීම, අපිරිසුදු ය. අප හැදී වැඩෙන්නේ ද, අධ්‍යාපනය ලබන්නේ ද, වයසට යන්නේ ද, දිනුම්, පැරදුම්, වාසි, අවාසි, නින්දා, ප්‍රශංසා, විඳින්නේ ද සතුටින් හා අසතුටින් සිටින්නේ ද මේ සමාජය තුළ ම ය. අවිද්‍යාවෙන් අන්ධ, කිලිටි සිත්වලින් දූෂිත වූ ලෝකය තුළ අපි ජීවත්වෙමු. බෞද්ධයින් වශයෙන් මේ තත්ත්වය තේරුම් ගත යුතු ය. එය අවබෝධකර නොගෙන දූෂිත ලෝකය තුළම ඇලී ගැලී සිටීම යනු අඳුරින් අඳුරට යාමකි. දුකින් දුකට පත්වීමකි. වරදින් වරදට පත්වීමකි. බුදුරදුන් පෙන්වාදුන් ආකාරයට අපිරිසුදු මඩ ජලය ඉක්මවා ගිය නෙලුමක් මෙන් අපගේ ජීවිතය පවිත්‍ර කර ගත යුතු ය. සසර දුකෙහි ම නොගැලී ඉහළට මතුවිය යුතු ය. සමාජ විරෝධී, විනය විරෝධී, නීති විරෝධී ක්‍රියාවන් අප වටා සිදුවෙද්දී ඒ කිසිවක නොගැටී, නො ඇලී ඒ සියල්ල ඉක්මවා ගිය පෞරුෂයක් ගොඩනඟා ගැනීමට අප සමත් විය යුතු ය. එමෙන්ම අප සමඟ ජීවත්වන නොයෙකුත් වැරැදිවලට පෙළඹෙන අපගේ හිතමිතුරන් ද ඉන් මුදවා ගැනීමට අප ක්‍රියා කළ යුතු ය. අවිධිමත්, අපිරිසුදු සමාජ ප්‍රවාහයට අසුනොවී එය ඉක්මවා යෑමට උත්සාහ කළ යුතු ය.

මඩ ගොහොරු සමාජ ක්‍රමයේ තවත් සාමාජිකයකු නොවීම අපගේ වගකීමකි. මෙසේ ක්‍රියා කරන්නා පද්මාකාර ජීවිතයක් ගත කරන්නෙකි.

මිනිස් නාමයෙන් උපත ලද අපි සැනසිලිදායක, සුව දායක ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. එහි මූලික ම දේ සමාජයට අහිතකර වන දෙයින් වෙන්වීමයි. හොඳ දේ කිරීමයි. එහි ප්‍රතිඵල ය, ප්‍රසන්න මනසයි. නිතර හොඳ දේ කර සතුටු වන්නට උත්සාහ කරන්න. ඒ සඳහා මඟ පෙන්වන පොතක් කියවන්න. දැනුම ලබාදෙන පුවත්පතක්, සඟරාවක් කියවන්න. තමන් පීඩාවට පත්කරන සෘණාත්මක සිතිවිලිවලින් වළකින්න.

බුදුරජාණන් වහන්සේ ගැන සුළු වේලාවක් හෝ මෙනෙහි කරන්න. දවසකට තත්පර අනූහය දහස් හාරසීයක් ඇත. එයින් තත්පර දහසක් ආගමික සිතිවිලිවලට වෙන් කරන්න. හැම දවසක් ම සුවදායක දිනයක් බවට පත් කර ගන්න.