Print this Article


ඔබ සොයන සැපය බොහෝ දුර බව හැඟෙනවා ද?

ඔබ සොයන සැපය බොහෝ දුර බව හැඟෙනවා ද?

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන උදය බමුණාගේ නිවෙස වෙත එළඹි සේක. එකල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරවාලීය.”

“උදය සූත්‍රය’ ආරම්භ වන්නේ එලෙසිනි. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ උදය බමුණාගේ නිවෙස්නට පුන පුනා දින තුනක් ම උදයවරුවේ පිණ්ඩපාතයේ වැඩි සේක. එදා බමුණු සමාජයේ බොහෝ දෙනා මිථ්‍යා දෘෂ්ඨිකයෝ වූහ.

මේ බමුණු තෙමේ ද, මිථ්‍යාදෘෂ්ඨික අදහස් වැළඳ ගත් අයකු විය. භාග්‍යවතුන් වහන්සේ පිට පිටම ඒ බමුණාගේ නිවසට වැඩියේ ඔහු කෙරෙහි පැවැති මහත් කරුණාව නිසා ය. මේ කිසිත් නොදත් බමුණු තෙමේ බුදුපියාණන්ට ගැරැහුවේ ය. නින්දා අපහාස වන විදියට කතා කළේ ය.

“රසයෙහි ගිජු වූ මේ මහණ ගොයුම් තෙමේ පුන පුනා ඒ ය” යී කීය. එහි සාමාන්‍ය අරුත වන්නේ” කෑමට තියෙන ගිජුකම නිසා බුදුරජාණන් වහන්සේ නැවත නැවත බමුණාගේ නිවසට වැඩිය බවයි.”

මෙවැනි ප්‍රකාශන අද සමාජයේ බොහෝ දෙනකුට විශේෂයක් නොවන්නේ ඒවා සාමාන්‍ය ව්‍යවහාර ලෙසට සමාජගතවී ඇති නිසා ය. එහෙත් එවැනි ප්‍රකාශ තුළ අධර්මය ගැබ්වී ඇත.

ලෝභ,ද්වේශ, මෝහ යන ත්‍රිවිධ අකුසල මූලයන් එවැනි ප්‍රකාශ තුළ අන්තර්ගතවී ඇත. එහෙත් සිහිනුවණින් සිටින ශ්‍රද්ධාවන්ත බෞද්ධයන්ට නම් එහි කුසල් අකුසල් වෙන්කර දැකිය හැකි ය. ඊටත් එහා ගිය ගැඹුරු ධර්මයක් ද ඇති බව ඔවුන්ට අවබෝධ විය හැක.

එහෙත් ඒ ගැන නොදත් බොහෝ දෙනාට වරදී. ඉහත උදය බමුණාට ද වැරැදුණි. ඔහුට වැරදුණේ ඔහු තෙරුවන් සරණ නොගිය, මිථ්‍යා දෘෂ්ඨිකයකු වීම නිසා ය. මේ නිසා ඔහුගේ සන්තානය තුළ තැන්පත්ව තිබුණ කෙලෙස් පරිඋට්ඨාන අවස්ථාවට පත්වී, අවසානයේ වීතික්‍රමණය විය.

ඒ නිසයි ඒවා වචන බවට පත්වී භාග්‍යවතුන් වහන්සේට පරිභව කිරීමට උත්සාහ කළේ. මේ බව බමුණාට අවබෝධ නොවීය. ඔහු එම අවස්ථාවේ හැඟීම්වලට වහල් විය. මේ ගැන දත් බුදුපියාණන් වහන්සේ බමුණාට පුංචි බණක් දේශනා කළහ. එහෙත් එය ගාම්භීර ධර්මයක් ම විය.

‘අඳ බාල තෙමේ පුන පුනා උපදියි. මියයයි. පුන පුනා සොහොනට ගෙනයෙත්, නුවණැත්තෝ නිවන ලැබ පුන පුනා නූපදී” යනුවෙන්. ගාම්භීර ධර්මය ශ්‍රවණය කළ බමුණු තෙමේ”

අභික්කන්තං භො ගොතම... යනුවෙන් “භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වායි” කියමින් බමුණු තෙමේ සිය නිරාමිස සතුට ප්‍රකාශ කළේ ය.

එහෙත් බෞද්ධයන් වශයෙන් කටයුතු කරන බොහෝ පිරිසකට ද වැරැදුණු තැන් බොහෝ ය. ඒ සිහිනුවණ නොමැති නිසා ද විය හැකි ය. එවැනි අයකුගේ නිවෙස්නකට පිට පිටම යාචකයකු තුන් හතර වාරයක් පැමිණියහොත් නිවැසියන්ගේ චිත්ත සංතානයේ උපදින සංකල්පනාවන් කෙබඳු විය හැකි දැයි සිතා බැලිය යුත්තකි.

බුදුරජාණන් වහන්සේ දක්ඛිනා විභංග සූත්‍රයෙන් අනාවරණය කළේ තිරිසනකුට එක කෑම වේලක් දුන් අයකුට එහි ආනිසංස සිය ගුණයක් ලැබෙන බවයි. දුස්සීලයකුට දීමෙන් ආනිසංස දහසක් ලැබෙන බවත්, පෘතග්ජන සිල්වතකුට දීමෙන් ආනිසංස සිය දහසක් ලැබෙන බවත් එලෙස ප්‍රතිග්‍රාහකයාගේ ගුණය අනුව දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වන බව වදාළහ.

ඒ අනුව යමක් ඉල්ලා නිවසට පැමිණෙන අයකුට ඉතා ශ්‍රද්ධාවෙන් තමා කැමති දෙයක් තුන්සිත පහදා ගෙන පරිත්‍යාග කරන්නේ නම්, එහි ආනිසංස මහත්ඵල වන බව දත යුතු ය. මේ ගැන නොදත් බොහෝ දෙනා දන් දීමෙන් ලැබෙන තමන්ගේ ලාභය ප්‍රතික්ෂේප කර ගනිති. ඒ තමන් තුළ පවතින මෝහය හෙවත් මුළාව නිසයි.

බෞද්ධයන් වූ බොහෝ දෙනා ද කරන්නේ අසල්වැසියකු හෝ උදව්වක් ඉල්ලා පැමිණි විට නුරුස්නාවෙන් ඒ උදව්ව ඉටුකරදීමට පෙළඹෙන බවයි. කර්මය, කර්මඵලය ගැන බොහෝ දෙනා සිතන්නේ නැත. උදාහරණයක් ලෙස පිහියක්, උදැල්ලක්, පොරවක් වැනි දෙයක් ඉල්ලා ගෙන පැමිණි අයකුට දෙන්නේ හොඳ ආයුධය ළඟ තබාගෙන අබලන් වූ ආයුධයකි. ඒ තමන් ගේ සිත හුරුපුරුදු හෙවත් ඇබ්බැහි වි ඇති සැටියි. එහෙත් හොඳ දෙයක්, එසේත් නැතිනම් තමන් කැමැති දෙයක් දීමෙන් එවැනි ම දෙයක් ලැබෙන බව ධර්මතාවකි. ඒ ගැන දන්නේ නැත.

දුෂ්ඨ සිතින් කරන කියන සියලු දේවලින් සැප විපාක නොලැබෙන බව ධම්මපදය නම් වූ බෞද්ධයාගේ අත්පොතෙහි එන “මනොපුබ්බං ගමා ධම්මා.........” යන ගාථා රත්නයෙන් කියැවේ.

උදය සූත්‍රයෙන් කියැවෙන්නේ යමක් ඉල්ලා ගෙන එන අයකුට නැවත නැවත දීමෙන් දන් දෙන අය නැවත නැවත ස්වර්ගයෙහි පහළ වන බවයි. අශ්‍රැතවත් පෘථග්ජනයා නැවත නැවත උපදින බවත්, නැවත නැවත මිය යන බවත්, නැවත නැවත සොහොනට ම ගෙන යන බවත්, ප්‍රඥාවන්ත පුද්ගලයා නිවන ලැබ නැවත නැවත නූපදින බවත් ය. මෙම ලස්සන ප්‍රකාශය තුළ ගැඹුරු ධර්මයක් කියැවේ.

බුදුපියාණන් වහන්සේට උදය බුමුණු තෙමේ චෝදනා කළේ “නැවත නැවත (පුන පුනා) කෑමට ගිජුව තම නිවසට එනවා ය” කියමින් ය. ඒ ප්‍රකාශයේ සඳහන් ‘පුන පුනා” කියන බමුණහුගේ ම වචනය ප්‍රයෝජනයට ගනිමින් බුදුපියාණන් වහන්සේ ගැඹුරු දහමක් ඔහුට කෙටියෙන් දේශනා කළහ.

ඔහු සිහිනුවණින් යුතුව සිටි නිසා ඒ දහම තේරුම් ගත්තේ ය.

එහෙත් බොහෝ බෞද්ධ පින්වතුන්ගෙන් වැඩි පිරිසක් විශාල බණවර සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රවණය කර ඇත. සමහර අය ඉඳගෙන අසන ධර්මය නැඟිටීමෙන් පසුව සියල්ල සිටි තැනම දුරුවී යන ස්වභාවයක් පවතී. ඇසූ බණ මතකයේ ද නැත. බොහෝ විට මතකයේ තිබුණත් ඒවා තමන්ගේ ජීවිතයට ගළපාගෙන නැත. ධර්මය පුරුදු කර ගැනීමට වීර්ය ගන්නේ ද නැත. කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාර ගන්නේ ද නැත. මෙය විශාල දුර්වලකමකි.

මනුස්සයා යනු මනසින් උසස් පුද්ගලයා ය. මනුසත්වයා යන තැන ඇති ‘මනු’ කොටස හැළී යාම නිසා ඉතිරි වෙන්නේ ‘සත්වයා’ යන කොටස පමණි. එය මහත් අභාග්‍යයකි. එසේ වුවහොත් තිරස්චීණ ගත සත්වයාට ආවේනික ගති ලක්ෂණ මත පිහිටා කටයුතු කිරීමට මිනිසාට සිදුවන්නේ ය.

‘සුනාථ ධාරේථ චරාථ ධම්මෙ” යන භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මත පිහිටා කටයුතු නොකරන බොහෝ දෙනාට ශී‍්‍ර සද්ධර්ම මාර්ගය වැසී ඇත. තමා තුළින් ධර්මය දැකීම යන “ඕපනයික” ගුණය නොමැතිවීම තවත් අභාග්‍යයකි.

දිනක් භාග්‍යවතුන් වහන්සේ අලව් නුවර අග්ගාලා විහාරයට වැඩම කොට ශ්‍රී සද්ධර්මය දේශනා කළහ. එය හොඳින් ශ්‍රවණය කළ අවුරුදු 16 ක දියණියක් තමන් ශ්‍රවණය කළ ධර්මය අවුරුදු තුනක් ජීවිතයට පුරුදු කළා ය. ඇය මරණානුස්සති භාවනාව දවස පුරාම වැඩුවා ය. අවුරුදු තුනකට පසුව නැවත වරක් බුදුපියාණන් වහන්සේ එම විහාරයට ම වැඩම කොට දේශනා කළ ධර්ම ශ්‍රවණය කළ ඉහත පේශකාර දියණිය සෝවාන්ඵල මාර්ග ඥාණය ප්‍රත්‍යක්ෂ කර ගත්තා ය. ඒ ඇයගේ උත්සාහය මත පෑදුන පිනක ප්‍රතිඵලයකි.

එහෙත් අද බොහෝ දෙනාගේ අපේක්ෂාව වන්නේ ක්ෂණිකව මාර්ග ඵලයන්ට පත්වීමයි. නැතිනම් තව තවත් බලාපොරොත්තු කන්දකි. එය මුළාවක් බව ධර්මයේ ම සඳහන් වේ. බෞද්ධයන් වන බොහෝ දෙනාට වැරැදුණ හෝ මඟහැරුණ තැන් බොහෝ ඇත. ඒවා හඳුනාගෙන වැරැදි නිවරැදි කර ගෙන දහම් මාර්ගයේ ගමන් කරන්නේ නම්, වරදින්නේ නැත. ඒ සඳහා කල්‍යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍ය වේ.