Print this Article


පහන් සිතක කවි

ඇසළ සඳ

ඇසළ මහ සඳරැසින්
මිහිතලය බැබළුණා
කොවුලන්ගෙ නාදයෙන්
පරිසරය ඔපවුණා
බුදු හිමිගෙ කරුණාව
ලෝ සතට යොමු වුණා

ඇසළ සඳ බැබළෙද්දී
දහම් සක පෙරළුණා
තුන්ලෝ දනන් වෙත
නිවන් මඟ හෙළිකළා

මිනිසුන්ගෙ දුක බලා
නැවත මනුලොවට වැඩ
මොක්පුරට යන විලස
දහම් දෙසනු මැන සම්බුදු හිමියනි

****

උතුම් පෝදා

ඇසළ සඳරැස් ලොව විහි දෙනවා
සිදුහත් කුමරු ගිහිගෙය අතහැර යනවා
රාහුල කුමරු මෙලොවට ඉපදෙනවා
යශෝදරා කරුණාවෙන් සිත සැනසෙනවා

බුදු සමිඳුන් ඉසිපතනෙදි දහම් දෙසන්නේ
පස්වග මහණුන් පළමුව දහම් අසන්නේ
කොණ්ඩඤ්ඤය තවුසාණන් සෝවාන් වෙන්නේ
උතුම් ඇසළ පෝදා දම්සක පෙරළෙන්නේ

****

අභිවන්දනා

නිල් මහනෙල්
ඕදාත කුසුම්
නෙළාගෙන විත්
තබා පාමුල
වැඳ වැටෙන්නම්
සමිඳුනේ

සඳුන් මුසුකර
සිහිල් දිය හා
සඳකඩ පහණ අබියස
වෙහෙර පාමුල රැඳී
පා දොවන්නම්
තථාගත සමිඳුනේ
ඔබෙ දහම සුරකින්න
සපථ කර පොහෝ දින
වැඳ වැටෙන්නම් සමිඳුනේ

****

ඇසළ පෝ දාක...

දෙව්ලොව තුසිතයෙ සුරසැප හැරලන්න
මනුලොව ඉපිද තුන් ලොව සනසන්න
දෙව්ලොව දෙවියන් විය පවසන්න
බඹලොව බඹුන් ද විය අයදින්න

කාලය දීපය දේශය බැලුවා
මව්තුම සමඟින් කුලයත් බැලුවා
නිසි දහමක් ලොව නැති බව දුටුවා
බෝසත් මනුලොව වඩින්න සිතුවා

මහ භාරතයේ නුවර කිඹුල්වත්
කපිලවස්තුපුර මහරජ තෙදවත්
සුද්ධෝදන වූ ශාක්‍ය කුලවත්
බිසවට වූවා මහමායා පුත්

ඇසළ පෝය දා මායා බිසවුන්
සැතපෙන කල දුටු සිහිනය මෙලෙසින්
සුදු ඇත්පැටවෙක් සුදු නෙළුමක් ගෙන
මායා මව්තුම කුසට පිවිසුණේ

සරණපාව ගෙන කුමරිය යශෝධරා
විඳින කල රජසැප සිදුහත් කුමරා
දැකලා සතර පෙර නිමිති ද සිත දරා
ඇසළ පෝයදාවක ගියෙ ගිහිගෙය හැරා

සිදුහත් තවුසාණන් ලැබ සම්බුදු පදවි
සය වසරක් එක්ව සිටි මිතුරන් සිහිවි
ඉසිපතනේ දි පස්වග තවුසන් හමුවී
ඇසළ පෝය දා දෙසුවා දම්සක් මුල් වී

සම්බුදු සසුනෙ වස් කාලය එළඹෙන්නේ
දායකයින් වස් ඇරයුම් දෙන්නේ
මහ සඟ පෙහෙවස් සිල් අරගන්නේ
ඇසළ පෝයදා පළමුව වෙන්නේ

****

ඇසළ පොහෝ දින අසිරිය

ඇසළ මහේ සඳ පායා
ලොවට එළිය දෙයි
බෝසත් කුමරු මහාමායා
මව්කුස පිළිසිඳුනයි

අභනිෂ්ක්‍රමණය සමඟින්
රාහුල පොඩි කුමරුන්ගේ
උපත සිදුවුණේ
උතුම් පොහෝ දා

ඉසි පතනේ මිගදායේ
පස්වග තවුසන් හමුවේ
දම්සක් දේශනා කළේ
ඇසළ පොහෝදා

රුහුණු කතරගම දළදා
පෙරහර අසිරිය ගෙන දෙයි
ඇසළ මහේ පුන් පෝ දා
මුළු ලෝ තලයම බැබළෙයි.

****

අබිනික්මන

නැත කිසි කෙනෙක් පාලුයි රජ මැදුර මුළු
සැතපී සියලු දෙන විය පරිසරය ගොලු
පුතු මව් ඇකය තුළ දොර කවුළුවෙන් බැලු
හිත සුව සොයා යන කුමරෙකි නොවන සුළු

විසිනව වසක සටහන් ළෙහි නිදන් විය
ඇසි දිසි සියලු දේ දුක් බව පසක් විය
මව් පිය බිසව පුතු සෙනෙහස ඉවත් විය
සක්විති කිරුළ අලුයම කෙළ පිඩක් විය

අවිදු අඳුර මෝහය නුවණැසින් දිනා
නොමියෙන නූපදින තැන පිරියමින් මනා
මැදියම් රැයේ නික්මුණු පසු උදන් අනා
පෙරමඟ රැඳුණු බාධක හැම ඉවත් වුණා

පුන්සඳ මඬල මෙන් බැබළුණු මැදුර තුළ
සිදුහත් කුමරු හිතුවක් පෙරළියකි කළ
නිදිසුව ලබන මොහොතක මුළු නුවර කැළ
බෝසත් සිරිත සිදුවිය නැණ එළිය කළ

****

ගෙවල් හදන මිනිසා

සසර පුරා මං
ඇවිද ගියා යම්
කෙනෙක් සොයනු පිණිසා.....
නතර වුණා මං
දුටුව නිසා අන්
ගෙවල් හදන මිනිසා.....

නොයෙක් ලී දඬු එකතු කරලා
ජාති තණ්හා - නැමැති වඩුවා
මමත් ඒ හා - කැමැති කරවා
මගෙත් ගේ හැදුවා
මම බලා සිටියා....
ගෙය සැදූ මිනිසා....

සැදූ ඒ ගෙයි - වහල බිමලා
කැණි මඩල සුණු - විසුණු කෙරුවා
නැවත එන්නට - නොහැකි විලසා
මම ම ගේ සැදුවා.....
ගියා ඒ මිනිසා.....
ගෙය සැදූ මිනිසා.....