Print this Article


මාපලගම සිරි සෝමිස්සර නාහිමිපාණන් වහන්සේ

මාපලගම සිරි සෝමිස්සර නාහිමිපාණන් වහන්සේ

දක්ෂිණ ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගිං ගඟ නිම්නයේ අතිසුන්දර කෙත්වතුවලින් සරුසාර මාපලගම ග්‍රාමයේ දී වර්ෂ 1923 ක් වූ අප්‍රේල් මස 05 දින අතිපූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නාහිමියෝ උපත ලැබූහ. වයස අවුරුදු 11 දී පැවිදිවීමට රුචියක් දැක්වූ නිසා තම නිවසට යාබදව පිහිටි මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති, මාපලගම සිරි සුනන්දාසභ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1934 දී පැවිදි දිවියට පත්වූහ .

රස්නකවැවේ සිරි සද්ධම්මවංස අනුනාහිමි සහ අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහ නායක හිමිපාණන් වහන්සේලා වැනි ධර්මධර විනයධර උගත් යතිවරයන් වහන්සේ යටතේ ශාස්ත්‍රෝද්ග්‍රහණයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන ආදි විභාග සමත්වූහ. උසස් අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ .

බණදහම් හා ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත් උන්වහන්සේ අනතුරුව වයස අවුරුදු 20 සම්පූර්ණ වූ පසු 1946දී ගාලු මහමෝදර ගිංගඟෙහි ඉදිකෙරන ලද උදකුක්ඛේප සීමා මාලකයේදී උතුම් වූ උපසම්පදාව ලබා ගත්හ.

කෘතගුණ දැක්වීමක් වශයෙන් කලක් ධර්මෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර 1963 සැප්තැම්බර් මස 02 දින සිට කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනට සම්බන්ධ වූහ. එතැන් පටන් 1979 දෙසැම්බර් මස 31 දින විශ්‍රාම ගන්නා තෙක්ම උන්වහන්සේ තත් පිරිවෙනෙහි ආචාර්යවරයකු වශයෙන් ගිහි-පැවිදි ශිෂ්‍ය ප්‍රජාවගේ නැණ මල් පුබුදු කරවන්නට කටයුතු කළහ.

ශාසනස්ථීතිකාමී අප නාහිමියෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව පවත්වාගෙන යමින් දෑහිතකාමී සසුන් ලැදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ප්‍රවෘජා භූමියට පත්කිරීම් ආදිය සිදු කළහ.

උන්වහන්සේ විසින් සිදු කළ ශාසනික හා ආගමික සේවාවන් බොහෝ ය. ඒ බව උන්වහන්සේ නිස්සරණාධ්‍යාශයෙන් දැරූ තනතුරු සාක්ෂි දරනු ඇත. උන්වහන්සේ දැරූ තනතුරු මෙසේ සඳහන් කළ හැක.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම්, බුද්ධශාසන උත්තරීතර මණ්ඩලයේ ගරු සාමාජික, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ බාහිර විභාග ප්‍රශ්න පත්‍ර අධීක්ෂණ මණ්ඩලයේ සාමාජික, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපදේශක මණ්ඩල සාමාජික, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩලයේ සාමාජික, ශ්‍රී ලංකා පුස්තකාල සේවා මණ්ඩලයේ ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩල සාමාජික, රත්මලාන සාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ගරු උප සභාපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක කාරක සංඝ සභාවල සාමාජික, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී යනාදී වශයෙනි.

උන්වහන්සේ විසින් රචනා කළ ග්‍රන්ථ අතරින් කිහිපයක් ලෙස “පොහොය වර්ණනාව, බෞද්ධ ධර්ම සංග්‍රහය, අනගාරික ප්‍රතිපදාව, බුද්ධ ධර්මය ඪ,ඪඪ හා ඪඪඪ, බෞද්ධ සංස්කෘතිය ඪ, ඪඪ හා ඪඪඪ, සිදත් සඟරා විමසුම, සූත්‍ර ධර්ම හා ශාසන ඉතිහාසය, දහම් පාසල් අවසාන විභාගය, බෞද්ධ ධර්ම මාර්ගය” සඳහන් කළ හැක. පරිශීලනය සඳහා ග්‍රන්ථ හිඟ කාලයක ග්‍රන්ථකරණයෙහි යෙදීම නිසා උන්වහන්සේ වෙසෙසින් පැසසුමට ලක්වේ. එසේම පුවත්පත්වලට ලිපි ලිවීම, චරිත කතා ආදි කුඩා ග්‍රන්ථ සම්පාදනය කිරීම නිසා ප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘවරයන් වහන්සේ නමක් ලෙස පාඨක ප්‍රසාදයට පත්වූහ. මෙම ග්‍රන්ථ පරිශීලනය කළ විශාල පිරිසක් අදටත් උන්වහන්සේ සිහිපත් කරනු ලබන්නේ ගුරු බැතියෙනි.

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නාහිමියන් අපවත් වුයේත්, ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා ශාසනයට ගිහි දරුවන් පැවිදි කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ආරාධනාවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැස්වීමට යන අතරමඟදී 1992 ජුනි පළවැනි දිනය.

නාහිමියන් අපවත් වී වර්ෂ තිහක් ගතවන මේ මොහොතේ දී උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ දී ජුනි 03 වැනි දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියක් නමක් උදෙසා සඟසතු දානමය පින්කමක් සිදුකර පින් අනුමෝදන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි.

සියක් උල්පත් මවා නිහඬ නිසසල ගිරක් සේ අප හදවත්වල තවමත් අප නාහිමියෝ ජීවමාන ය. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නාහිමිපාණන් වහන්සේට උත්තම වූ නිර්වාණ සුවය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.