Print this Article


නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ

නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය, පිරිවෙන් අධ්‍යාපන අඅංශයේ ගණිත ගුරු උපදේශක, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්දර, නාවින්නේ ධර්මකීර්ති ශ්‍රී සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ අප්‍රේල් මස හය වන දින දහවල් කාලයේ දී අපවත් වී වදාළ සේක.

පෙරදිග මහා තක්ෂිලාව ලෙසින් විරුදාවලි ලත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි පරිවේණාධිපති පදවිය මෙරට සම්භාවනීයතම ශාසනික ඨානාන්තරයකි. වර්ෂ 1875 නොවැම්බර් මස පළමුවන දින බෝධිසත්ව ගුªණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරම්භ කොට තදනන්තරව සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමි, සාහිත්‍යශූරී පණ්ඩිතාචාර්ය ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමි, ආගමචක්‍රවර්තී පණ්ඩිතාචාර්ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි, සාර්වභෞම පණ්ඩිත සාහිත්‍ය චක්‍රවර්තී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි, විනයාචාර්ය නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නා හිමි සහ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නා හිමි යන මහා යතීන්ද්‍රයන් වහන්සේලා ශෝභාවත් කළ විද්‍යාලංකාර පිරුවනෙහි පරිවේණාධිපති ධූරය හොබවන අටවැනි නාහිමිපාණන් වහන්සේ නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ ය.

අතිගරු නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ, විද්‍යාලංකාර පරිවේණාධිපති ධූර හෙබ වූ කිරිවත්තුඩුවේ සහ යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේ්ලා විසින් අතීත විද්‍යාලංකාර සම්ප්‍රදාය අනාගතය කරා සම්ප්‍රේෂණය කිරීම උදෙසා පැවිදි කර මැනවින් හික්මවූ "දස ධම්ම" යනුවෙන් හඳුන්වන ශිෂ්‍යවරුන්ට පසු පැවිදි කළ කනිෂ්ඨතම ශිෂ්‍යවරයන් වහන්සේ සේ ය. වර්ෂ 1949 ජූලි මස 06 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ පල්ලේපත්තුබද නාවින්න ග්‍රාමයේ විසූ විජේසිංහ ආරච්චිගේ පීටර් විජේසිංහ මැතිතුමාගේ සහ පලිහවඩන ආරච්චිගේ නන්දා පලිහවඩන මැතිණියගේ පුත් රුවනක ලෙසින් ජන්මලාභය ලද නාහිමිපාණන් වහන්සේ මෙත්තානන්ද යැයි නම් ලැබූහ. කැලණිය ගෝනවල ප්‍රදේශයේ නැන්දනියක වාසය කළ බැවින් විද්‍යාලංකාර පිරුවනේ යතීන්ද්‍රයන් වහන්සේලා ආරම්භ කළ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට නාහිමියන් භාග්‍යවත් විය.

මෙත්තානන්ද කුල කුමරුන් වර්ෂ 1964 මැයි මස 21 වන දින කිරිවත්තුඩුවේ සහ යක්කඩුවේ නාහිමිපාණන් වහන්සේලා ආචාර්ය උපාධ්‍යාය කොට ගනිමින් නාවින්නේ සුගුණධම්ම නමින් සසුන්ගත කරවීය.

ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ භාරකාරත්වය යටතේ ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නා හිමි, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමි ප්‍රමුඛ ඇදුරුමඬුල්ල පා සෙවණෙහි වර්ග පටිපාටියෙන් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කළ සුගුණධම්ම හිමිපාණන් වහන්සේ පිරුණු විසි වයස් ඇතිව 1971 මැයි 20 වන දින මහනුවර මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව ලදහ.

1970 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගණිතය සහ සංඛ්‍යානය විෂයයන්ගෙන් 1974 වසරෙහි ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හිමි කර ගන්නා ලද නාහිමිපාණන් වහන්සේ් පන්නිපිටිය විද්‍යාලංකාර පිරුවනෙහි සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආචාර්ය පදවි හෙබවූහ. ගණිතය විෂය වෙනුවෙන් සමර්ථ වූ හිමිවරුන් දුලභ අවධියක ගණිත ගුරු උපදේශක හිමිනමක වශයෙන් පිරුවන් ඒකකයේ පෙළපොත් සම්පාදනය, විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම ඇතුළු කටයුතු සඳහා සුගුණධම්ම හිමියන් ඉටුකළ මෙහෙවර සුවිශේෂී වෙයි. ගණිත සංකල්ප සිසුන් වෙත නිරවුල්ව අවබෝධ කරවීම පිණිස ගණිත මග නමින් කෘතියක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචනා කළ නාහිමිපාණන් වහන්සේගේ මෙහෙවර විපුල ඵල දරමින් 16% වූ පිරුවන් සිසුන්ගේ ගණිත සාධන මට්ටම 50%කට ආසන්නව වර්ධනය විය.

ගෝණවල වර්ධනාරාම විාහරස්ථානය සකලාංග පිරිපුන් විහාරස්ථානයක් බවට පත් කරන ලද්දේ සුගුණධම්ම නා හිමිපාණන් වහන්සේ විසිනි. ස්වකීය ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර සියඹලාගහරුප්පේ විජිතධම්ම මාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පිරුවනේ උපපරිවේණාධිපති පදවියෙහි වගකීම් 2007 වසරේ දී සුගුණධම්ම හිමියන් වෙත පැවරුණි. විද්‍යාලංකාර පිරුවනෙහි අධ්‍යයන අංශාධිපති පදවිය ද නාහිමියන් දරන ලදී. ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ගිලන්භාවයට පත් වීමෙන් පසු වැඩබලන පරිවේණාධිපති පදවියෙහි වගකීම් උසුලන ලද නාහිමිපාණන් වහන්සේ වෙත 2020 වර්ෂයේ දී මල්වතු මහා විහාරය මඟින් කීර්ති ශ්‍රී නාමධෙය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පුද දෙල ලදී.

කාලයාගේ ඇවෑමෙන් වයෝවෘද්ධභාවයට පත්ව ගිලන්ව වැඩ සිටි නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අතිශය සම්භාවනීය ඨානාන්තරයක් වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය පුද දීමට විද්‍යාලංකාර සභාව තීරණය කරන ලද්දේ විදුලකර සඟ පරපුරෙහි වැඩ සිටි ජ්‍යෙෂ්ඨතමයා වෙත එම සම්භාවනීය පදවිය පිරිනැමීම විදුලකරේ අතීත සම්ප්‍රදාය වූ නිසාවෙනි. රත්මලානේ ධර්මාරාම නාහිමියන්ගේ පටන් විදුලකර පරිවේණාධිපති නාහිමියන් වෙත පුද දෙන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය සහ මල්වතු මහා විහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය සහ ධර්මකීර්ති ශ්‍රී යන ගෞරව නාමාධෙයයන් නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වෙත පිරිනැමීමට මල්වතු මහා විහාරයේ විංශත්වර්ගික කාරක මහා සංඝසභාව තීරණය කරන ලද්දේ 2022 ජනවාරි මස අට වන දින දී ය.

ගණිත විෂය කෙරෙහි උනන්දු වන හිමිවරු අල්ප වෙති. ගණිතයෙහි සමර්ථ වෙමින් තමා හමුවට පැමිණෙන කා හටත් අනතිමානී ගුණයෙන් කාරුණිකව සැලකූ නාහිමිපාණන් වහන්සේ හට නිවන් සුව ප්‍රාර්ථනා කොට සිටිමු.