Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 71 කොටස: දුටුගැමුණු රජතුමාගේ ආධිපත්‍ය පිළිගන්න

දුටුගැමුණු මහ රජතුමා - 71 කොටස:

දුටුගැමුණු රජතුමාගේ ආධිපත්‍ය පිළිගන්න

“අපි සවස හයට ශ්‍රී මහ බෝ මලුවේ බෝධි පූජාවක් තියනවා. සමන්තීත් එනවා. හැකි නම් බෝධිනාගත් ගෙන්වා ගන්නවා. මහ සිටුතුමාත් එනවා.”

“එහෙනම් අද බෝධි පූජාව ජයට තියේවි” කී සිරිනාග සිනාසෙමින් උද්‍යානයට පැමිණ අසුපිට නැඟුණේ ය. වේගයෙන් රජ වීදිය ඔස්සේ අසු මෙහෙයවීය.

සිරිනාග රාජකීය උද්‍යානයට පැමිණෙන විට දීඝජන්තු මහ සෙනෙවි බොහෝ තොරතුරු රජතුමාට දන්වා තිබිණ. රජතුමා සිරිනාග පිළිගත්තේ කලක් තමාගෙන් වෙන්ව සිටි කල්‍යාණ මිත්‍රයකු පිළිගන්නා හිතවත්කමකිනි.

“සිරිනාග එන්නටත් කලින් රහස් තල්පතක් ඇවිත්. එය අපට ආශිර්වාදය ගෙනා තල්පතක්. දුටුගැමුණු රජු රහස් මාර්ග ඔස්සේ එන්නේ අපට හදිසි පහරදීමක් කර භය ගන්වන්නටයි. දැන් අපට සූදානම් වන්නට පුළුවන් සතුරා ගංතෙර දී ම පළවා හැරීමට.”

“එහෙමයි මහ රජතුමනි, මේ තල්පත නොලැබුණා නම් මහවැලි තීරයේ බලකොටු මඟ හැර විජිතපුරට හදිසි පහරදීමක් එල්ල වෙන්නට තිබුණා.”

“සතුරා බලවත්” යන හැඟීම අප නිතර සිහි තබා ගත යුතුයි. ඔවුන්ගේ උපක්‍රම දැන ගන්නට ඇත්නම් හොඳයි. ඒ සඳහා අපට ඇති එකම පිහිට සිරිනාග විතරයි.” රජතුමා කීවේ ය.

“දීඝාභයගෙන් අප බලාපොරොත්තු වුණු සේවය මේ වන විට සිදුවන්නේ නැහැ. දැන් දීඝාභයට මහවැලි ගඟින් එතෙරට යන්න පුළුවන්කමක් නැතිලු. මිත්‍ර මහ සෙනෙවිගෙන් පසු අපේ ඔත්තු සේවය බිඳ වැටීම ලොකු පාඩුවක්. සෝමනුවර, කැලණිය, සේරු රට මේ යුද්ධයේ දී ගැමුණුට සහාය නොදෙන තත්ත්වයට පත් කර ගැනීම සඳහා අප හොඳ දූතයකු යොදා ගත යුතු යි.”

රජතුමාගේ අදහස අනුමත කළ දීඝජන්තු නිදහසේ ඒ රටවල සංචාරය කළ හැකි වෙළඳ නියෝජිතයකු ලෙස උපතිස්ස යොදා ගන්නට දීඝාභය මහ සෙනෙවි කැමති කරවා ගන්නට හැකි නම් අපි බලාපොරොත්තු වන කාර්යයට ඔහු ගැළපේ යැයි කීය.

කුණ්ඩල බ්‍රාහ්මණතුමාගෙන් හෝ ජයනාථ සිටුතුමාගෙන් වෙළෙඳ නියෝජිත නිල සටහනකුත් ලබා දෙන්නට පුළුවන්.

“විජිතපුර පාලනය අවුල් කරන්නට මම සූදානම් නැහැ. උපතිස්ස, උප සෙනෙවිවරුන්ගේත්, සෙබළුන්ගේත් හිත දිනාගත් දක්ෂ සෙනෙවියෙක්. මිත්‍ර මහ සෙනෙවිගේ බෑනා කෙනෙක්. අපට බොහෝම හිතවත්.”

“මහ රජතුමනි, අපට ලැබී ඇති රහස් තල්පතේ හැටියට නම් දුටුගැමුණු රජතුමාට ගිරි රාජ්‍යයෙන් හැර වෙනත් කිසිම රාජ්‍යයකින් උපකාරයක් ලැබෙන්නේ නැහැ. දුටුගැමුණු රජතුමා ඔවුන්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.” සිරිනාග කීය.

“අනුරාධපුර රාජධානියේ සිංහල දෙමළ පුරවැසියන් සියලු දෙනාම පාහේ රජතුමාට ළැදියි. සිරිනාගගේ උපායන් ඊට හේතුවුණා. භික්ෂූන් වහන්සේලාත් ආරාමවලට වැඩම කරලා. බොහෝ දෙනා පින්කම්වල යෙදෙනවා. කෘෂිකර්මාන්තයත් සාර්ථකයි.” දීඝජන්තුගේ අදහස් රජතුමා පිළිගත්තේ ය.

“මාගම රාධානියේ නම් ආහාර ගබඩා කර නැහැ. සියල්ලම බලාපොරොත්තු වෙන්නේ දිගාමඩුල්ලෙන්. තිස්ස කුමාරයා කෙසේ හෝ අපේ පැත්තට හරවා ගත්තා නම් ගැමුණු බල හමුදා මෙහිදී අන්ත පරාජයකට පත් කරන්නට තිබුණා. දැන් ඒ දෙදෙනාම සමගි වෙලා. භික්ෂූන් වහන්සේලා සමඟ ගොස් තිස්ස කුමාරයා දුටුගැමුණු අයියණ්ඩියගෙන් සමාව අරගෙන.”

ඔය තත්ත්වය ඇති වේ යැයි අපි සිතුවා. “දීඝාභය විහාරමහා දේවියට තියෙන බිය නිසා මේ ගැන කිසිවක් කළේ නැහැ. මේ බව අප දැන ගත්තේ සිරිනාගගෙන් මයි.”

දේවයන් වහන්ස, යුද්ධ කටයුතු සියල්ල කෙරෙන්නේ මව් බිසොවුන් වහන්සේගේ අධීක්ෂණයෙන්. දස මහ යෝධයන් මෙහෙයවන්නේත් ඇයයි. ගැමුණු රජතුමා මෑණියන්ගේ උපදෙස් අනුව වැඩ කරනවා මිස එයින් පිට යන්නේ නැහැ. මා ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවෙද්දී ඇසුන දේවල් අනුව සටන් පෙරමුණේ ම එන්නේත් විහාර මහා දේවියයි. මහ සෙනෙවිවරුන්ගේත් සියලු සංවිධාන කටයුතු මෙහෙයවන්නේ ඇයයි.

“අපේ යුද්ධ ශක්තිය තරම් ප්‍රබල යුද්ධ ශක්තියක්, අපේ තරම් ක්‍රමවත් සංවිධානයක් එහි දකින්නට නැහැ.”

හෙට රාජ සභාවේ දී සිරිනාගගේ අදහස් අපට වැදගත් වේවි. රහස් තල්පතේ කරුණුත් සාකච්ඡාවට ගනිමු. මේ සතිය තුළදීම යුද්ධ මණ්ඩලය කැඳවා තීරණ ගන්නවා. අවස්ථාවට සුදුසු පරිදි මුහුණ දීමට කටයුතු සංවිධානය කිරීම කුඩා මණ්ඩලයකට පවරනවා.”

රජතුමාගෙන් අවසර ගත් මහ සෙනෙවිවරු රාජකීය උද්‍යානයෙන් පිටත් වුයේ වගකීම් රැසක් කරට ගත්තවුන් ලෙසිනි. උද්‍යාන දොරටුවේ දී මහසෙනෙවි දීඝජන්තු, හෙට රාජ සභාවට යන්නට කලින් එදින රැයෙහි හෝ පසුදින උදය හෝ සිරිනාග හමුවීමේ කැමත්ත පළ කළේ ය.

සිරිනාග ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැමිණෙන විට, එහි රැඳී සිටි සිංහල, දෙමළ බෞද්ධයන්ගේ සංඛ්‍යාව දැක පුදුමයට පත් විය. බෝධීන් වහන්සේට දොහොත් මුදුන් දී වැඳ බෝ මලුවට ඇතුල්වීමට සූදානම් වූවා පමණි.

“සිරිනාග මහ සෙන්පති තුමනි.”

මේ ඇමතීම බෝධි මලුවට මඳක් ඈතින් ඇසිණි. ඒ දෙස බැලූ ඔහු දුටුවේ පුණ්ණාත්, දන්තීත් පිරිවරාගත් අභිකෘෂ්ණා කුමරියයි. සිරිනාග කුමාරිකාවන් දෙසට පිය නැඟීය.

“අම්මාත්, පුංචි අම්මාත්, මහ සිටුතුමාත්, අර පහන් කණුව මුල මඟ බලා සිටිනවා. අපි යන්නටයි සූදානම. සිරිනාගට පණිවුඩයක් දෙන්නට අපේ කුමරියට වුවමනාලු” පුණ්ණා කීවා ය. තිදෙනාටම එකවර ආචාර කරමින් සිනාවකින් සංග්‍රහ කළ සිරිනාග දන්ති දෙස බැලුවා ය.

“ මේ දන්ති. පුණ්ණා වගේම මගේ යෙහෙළියක්. සිරිනාග සෙනෙවිතුමන්ට කතා කළේ හෙට රාජ සභාවට පැමිණි පසු ටික වේලාවකට හමුවන්නට කැමැත්ත පළ කරන්නටයි.

“මාගම හිර අඩස්සියේ සිට නිදහස ලබා ආවේ අදයි කුමරිය. ඒ වෙනුවෙන් කරන බෝධි පූජාවක් නිසා වෙහෙස නොබලා මෙහි පැමිණියා. මේ මොහොතේ ඔබ තිදෙනාගේ හමුවීම ඉතා සතුටක්. හෙට රාජ සභාවට කලින් දීඝජන්තු මහ සෙනෙවිතුමා හමුවන ලෙස කීවා. රාජ සභාවෙන් පසු කුමරිය හමු වෙන්නම්.”

“දුටුගැමුණු රජතුමා දැන් මැදගම උයන්තොට ඇවිත්. එහි කඳවුරු බැඳගෙන හෙට හෝ අනිද්දා එහි යුද සරඹ පැවැත්වීමට සූදානම්ලු. නමුත් අපේ යුද්ධයකට කිසිම සූදානමක් නැහැ.

රජ කුමරියගේ ප්‍රකාශයෙන් සිරිනාග පුදුමයට පත් විය.

“ කුමරිය මා දන්නේ ගැමුණු සේනාංක ගුත්තාහල කඳවුර තෙක් පැමිණි බව පමණයි. ඒ බව මම අද රජතුමාට වාර්තා කළා. දැන් අපට රහස් ඔත්තු ලැබෙන මාර්ග අඩුයි. ඒ අඩුව කුමරියගෙන් පිරිමැහෙන බවයි පෙනෙන්නේ.” කියමින් සිරිනාග සිනාසුණේ ය.

“මගේ රහස් ඔත්තු සේවයක් නැහැ. නමුත් මට සත්‍ය තේරුම් ගන්නට පුළුවන්. මේ යුද්ධයෙන් අපි පරදිනවා.”

“කුමරිය මට ඔබ තේරුම් ගන්නට බැහැ. මේ යුද්ධය ගැමුණු කුමාරයා මෙහෙයවන්නේ බුද්ධ ශාසනය රැක ගන්න. නැති වී ගිය උරුමය ලබා ගන්න. තුන්සිංහලයම එක්සේසත් කරන්න.

"ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ යුද්ධයක්. ඒත් සිරිනාග, උපතිස්ස, දීඝාභය ඒ සාධාරණ යුද්ධයට විරුද්ධව බුද්ධ ශාසනය විනාශ කරන සොළී පාලකයන්ට ආධාර කරනවා. මම මගේ පිය රජතුමාට නිතරම කියන්නේ යුද්ධය නතර කරන්න කියලා.

මේ රටේ තවදුරටත් ඉන්නට අවශ්‍ය නම් දුටුගැමුණු රජතුමාගේ ආධිපත්‍ය පිළිගන්න කියලා.

“සිරිනාග පුදුමයෙන් බලා සිටිද්දී, අමිතා පැමිණියේ බෝධි පූජාවේ කටයුතු සූදානම් බව කියන්නට ය.