Print this Article


සරු නිසරු දෙය නුවණින් දකින අම්මා

සරු නිසරු දෙය නුවණින් දකින අම්මා

අම්මා, සවසට නිවසේ වැඩ අවසන් කොට මල් ටිකක් කඩාගෙන, පැන් පෙරාගෙන, පහනක් පත්තුකරලා සුළු වේලාවක් හෝ තෙරුවන් වන්දනා කරන්න පුරුදු වෙනවා නම් අම්මා පිටුපස යන දරුවන් එය පුරුදු වෙනවා.

ලස්සන ම අම්මා අපට හමුවන්නේ බුද්ධ ශාසනය තුළ යි. ඒ උතුම් කත විශාඛාව යි. ඇයගේ ජීවිතය දෙස බලද්දී අපට හිතෙනවා ඇයගේ නිවස කොතරම් නම් ලස්සන ද කියලා. ඇය එතරම් ලස්සන ජීවිතයක් ගොඩනඟා ගත්තේ ඇය තුළ තිබූ ඉවසීම සහ උ‍පේක්ෂා සහගත බව නිසා යි.

විශාඛාවෝ විවාහ වී සැමියාගේ නිවසට එන දවසේ ඇයගේ පියා අපූරු උපදෙස් දහයක් දුන්නා. ඒ අවවාද අහලා විශාඛා දියණිය එදා රැකුණා. අද දියණියකටත් ඒ අවවාද අහන්න ලැබුණොත් ඇයත් රැකේවි. ඒ අවවාදවල සඳහන් වුණේ ඇතුළත ගිනි පිටට දෙන්න එපා, පිට ගිනි ඇතුළට ගන්න එපා, . දෙන්නන්ට දෙන්න. නො දෙන්නන්ට නො‍ දෙන්න. දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දෙන්න. සුව සේ් නිදන්න. සුව සේ වළඳන්න, සුව සේ හිඳීන්න, ගිනි පුදන්න, ඇතුළත දෙවියන් නමදින්න කියලයි. විශාඛාව මේ අවවාද හොඳීන් තේරුම් ගත්තා.

විවාහ වීමෙන් පසුව විශාඛාව සැමියාගේ නිවසට ගියා.

ඒ නිවසට ගොස් ටික දිනකට පසු ඒ නිවසේ වැස්සියක් පැටවකු බිහි කරන්න ආසන්න වුණා. ඉතින් රාත්‍රී කාලයේ විශාඛා ඒ එළදෙන අසලට ගොස් පැටියා බිහිවන තුරු අවශ්‍ය සියලු උපස්ථාන කළා. එහිදී ඇයට පළමු චෝදනාව ආවා. ඒ අනවශ්‍ය ඒ ස්ථානවලට රාත්‍රියේ ගමන් කිරීම යි.

ටික දිනකට පසු මිගාර සිටු නිවසේ දානයක් තිබුණා. ඒ මව්පියන් විශාඛාවට කිව්වා අද අපේ නිවසට රහතන් වහන්සේ දානයට වඩිනවා කියලා. සෝතාපන්න වී සිටි විශාඛාගේ සිත පිනා ගියා. එහෙත් ඒ දානයට එදා ආවේ ශරීරයේ වස්ත්‍රයක් හෝ නැති නිගන්ඨනාතපුත්ත ඇතුලු පිරිස යි‍. ඔවුන් දුටු ගමන් ඇය තිගැස්සුණා. මේ අයට ද රහතුන් කියන්නේ? කියා ඇසුවා. අර පිරිස දානය ගන්නේ නැතිව පිටව ගියා. විශාඛාවට දෙවැනි වතාවේත් ප්‍රශ්නයක් ඇතිවුණා.

තව දිනක් මිගාර සිටුතුමා කෑම කද්දී ස්වාමීන් වහන්සේ නමක් පිඬු පිණිස නිවසට වැඩියා. මිගාර පියා ඒ තෙරුන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නැතිව කෑම කෑවා. විශාඛා ගොස් කියනවා ස්වාමිනි, අපේ මාමා පුරාණය වළඳනවා. ඔබ වහන්සේ වෙන තැනකට වඩින්න කියලා.

එදා සිටුතුමාට කේන්ති ගියා. ඔහු කියනවා අලුත ආ ඔබ අපට බොහෝ චෝදනා කරනවා. මම නැවත ඔබේ මව්පියන් වෙත ඔබ ව යවනවා කියලා. එවිට ඇය කියනවා මාමේ, මම මව්පියන් වෙත යන්න කැමැතියි. එහෙත් මගේ නිර්දෝෂී බව ප්‍රකාශ කරල යන්නම් කිව්වා.

එදා විශාඛා විවාහ වී එන විට ඇයගේ පියා විසින් ව්‍යක්ත, පණ්ඩිත නුවණැති පුරුෂයන් අට දෙනෙක් ඇය හා මේ මිගාර සිටු නිවසට එව්වා. ඒ පුරුෂයන් ‍ගෙන්වා ප්‍රශ්න විසඳන විට ඇය තම පියා දුන් අවවාද දහය විස්තර කළා.

ඇතුළත ගිනි පිටට දෙන්න එපා - නිවසේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත් එය පිටට කියන්න එපා කිව්වා. මේක අද කාලයට ඉතා වටිනවා. පවුලක් තුළ යම් ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ වූ පමාවෙන් යහළුවන්ට, නෑයන්ට, මව්පියන්ට කියන්න අද ඇතැම් කාන්තාවන් පෙළ‍ඹිලා ඉන්නවා.

පිටත ගිනි ඇතුළට ගන්න එපා - අනුන්ගේ ප්‍රශ්න අරගෙන තමන්ගේ නිවසේ ගිනි අවුලවා ගන්න එපා.

දෙන්නන්ට දෙන්න - ඉල්ලාගත් දේ නැවත දෙන අයට පමණක් දෙන්න.

නො දෙන්නන්ට නො දෙන්න - ඉල්ලා ගිය දේ නැවත දෙන්නේ නැති, නො දෙන අයට දෙන්න එපා. එවිට අර්බුද ඇතිවෙයි කිව්වා.

දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දෙන්න - සමහර අවස්ථාවක අපෙන් දෙයක් ඉල්ලා ගත් කෙනකුට නැවත එය දීමට හැකියාව නැතිවෙන්න පුළුවන්. එය ඉවසන්න. එය සමඟිය පිණිස හේතුවෙනවා කිව්වා.

සුව සේ හිඳීය යුතුයි - ස්වාමියාගේ මව්පියන් දුටුවිට සිටි ආසනයෙන් නැඟිටිය යුතුයි.

සුව සේ වැළඳීය යුතුයි - ස්වාමියා හෝ ඔහුගේ මව්පියන් කෑම කන්න කලින් කන්න එපා.

සුව සේ නිදාගත යුතුයි - ස්වාමියා හෝ ඔහුගේ මව්පියන් නිදන්නට කලින් නිදන්න එපා.

ගිනි පිදිය යුතුයි - ස්වාමියා සහ ඔහුගේ මව්පියන් විශේෂ චරිත ලෙස හඳුනාගෙන ඒ අයට පූජා සත්කාර කරමින් ගෞරවයෙන් ඇසුරු කරන්න.

ඇතුළත දෙවියන් නැමදිය යුතුයි - නිවසට පැමිණෙන පැවිදි උතුමන් ආසනයක හිඳුවා දානයක් පූජා කිරීම.

මේ සියල්ල පැහැදිලි කළ විශාඛා කියනවා “මගේ නි‍දොස් බව දැන් පැහැදිලියිනේ. මම දැන් මගේ ගෙදර යන්නම්” කියා. එවිට මිගාර සිටුතුමා කියනවා “අනේ දුවේ ඔබ බොහොම හොඳ දියණියක් යන්න එපා” කියලා.‍

විශාඛා කියනවා “තාත්තේ භික්ෂු සංඝයා නොදකින තැනක ඉන්න මම කැමැති නැහැ” කියලා. එවිට ඒ පියා “එහෙම නම් දුවේ ඔබ කියන භික්ෂු සංඝයා මේ නිවසට වැඩමවන්න” කිව්වා.

ඇය වහාම දානය පිළියෙළ කොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවූවා. දානය අවසානයේ දී මිගාර සිටුතුමාත් ධර්මය අසන්න පහළට ආවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා සිටුතුමාට ඇහෙනවා‍. ධර්ම දේශනාව අවසානයේ දී ඔහු සෝතාපන්න වුණා. මේ සියල්ල ම කරන්න ඇයට හොඳ ඉවසීමක් සමඟ ම හොඳ නුවණක් ද තිබුණා.

අද අපේ සමා‍ජයේ යම් කාන්තාවක් මේ ආකාරයට කටයුතු කරනවා නම්, ඇයට කවදාවත් චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. ඇයගෙන් වියයුතු සියලු යුතුකම් ඇය ඉටුකර තිබෙන්නේ. ස්වාමියාගේ මව්පියන්ට සියලු යුතුකම් ඉටු කරනවා. එනිසා ඇයගේ මව්පියන්ටත් සලකන්නට ඇයට අවස්ථාව තිබෙනවා.

මේ වගේ නිවසක ආරවුල් අඩු යි. ඒ ඇයගේ පැත්තෙන් යම් ගුණයක් සම්පූර්ණ නිසා.

නිවෙසේ අම්මා හිමවත් පව්ව වගේ නම්, ඒ හිමවත් පව්ව වටේ සිටින දරුවෝ , සැමියා, මව්පියෝ, නෑදෑයෝ සියලුදෙනා ම ඒ ශක්තිය අරගෙන ධර්මයට එනවා. අද බොහෝ නිවෙස්වල අම්මා පුරුදුවෙලා සිටිනවා දරුවන්ට නිවසේ බුදු පහන තියන්න කියන්න. බුදුරජාණන් වහන්සේට අම්මා පහන තිබ්බොත් ඒ පින අම්මාට යි. දරුවන් පහන තිබ්බොත් ඒ පින දරුවන්ට යි. අම්මා සවසට නිවසේ වැඩ අවසන් කොට මල් ටිකක් කඩාගෙන, පැන් පෙරාගෙන, පහනක් පත්තුකරලා සුළු වේලාවක් හෝ තෙරුවන් වන්දනා කරන්න පුරුදු වෙනවා නම් අම්මා පිටුපස යන දරුවන් එය පුරුදු වෙනවා. ඒ සඳහා වෙලාව නැහැ කියන්න බැහැ.

මේ ජීවිතයේ ඇති නිස්සාර බව දකින්න. සිත ඒවාට යට වෙන්න නො දී සරු දේ, නිසරු දේ හඳුනා ගන්න. බොහෝ දෙනාට නිසරු දේ සරු දේ ලෙස පෙනෙනවා. නිසරු දෙයට ආශා කරනවා. එහෙම වුණොත් තමන් නිතැතින් ම ප්‍රමාදයට පත් වෙනවා. සරු දේ, නිසරු දේ හඳුනාගෙන නිසරු දේ ‍ බැහැර කරන්නට හිතට හයිය තිබෙනවානම්, නුවණින් කල්පනා කරන්න ප්‍රඥාව තිබෙනවා නම්, නිසරු දෙයින් ඈත් වෙන්න ශක්තිය තිබෙනවා නම්, ඇයට ධර්මයේ හැසිරෙන්න හොඳ විවේකයක් ලැබෙනවා.