Print this Article


උදකදායිකා ථේරී අපදානය

උදකදායිකා ථේරී අපදානය

පෙර මම බන්ධුමතී නගරයෙහි කළයෙන් දිය අදින දාසියක් වීමි. මම දිය ඇදීමෙන් ජීවත් වෙමි. එයින් දරුවන් ද පෝෂණය කරමි.

අනුත්තර වූ පින් කෙතට පිදීමට සුදුසු දෙයක් මට නැත. එනිසා මම නාන කොටුව වෙත එළඹ ජලය පිළියෙළ කොට තැබූවෙමි.

මැනවින් කළ ඒ කුසල කර්මයෙන් මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි. එහි මට දිය ඇදීමේ පිනෙන්, නිම වූ මැනවින් කළ විමානයක් විය.

එකල්හි මම දිව්‍ය අප්සරාවන් දහසකට අග්‍ර වීමි. හැම කල්හි මම කරුණු දහයකින් ඒ සියල්ල ඉක්මවා සිටිමි.

දෙව්රජුන් පනහකට මෙහෙසි බව කරවීමි. සක්විති රජුන් විස්සකට මෙහෙසි බව කරවීමි.

දේව ආත්මය, නැවත මනුෂ්‍ය ආත්මය යන ආත්ම දෙකෙහි සැරිසරමි. දුගතියක් නොම දනිම්. මේ උදක දානයෙහි ආනිසංසය යි.

පර්වත මුදුනෙහි හෝ, රැක් මුදුනෙහි හෝ, අහසෙහි හෝ, පොළොවෙහි හෝ, යම් විටෙක ජලය කැමැති වෙම් ද එවිට මම වහා ම දිය ලබමි.

මට වැසි නොවසින දිශාවක් නැත. තැවීමෙන් කැකෑරුණු බවක් ද මට නැත. මාගේ අදහස් දැන මෙන් මහා වැසි වසින්නේ ය.

යම් විටෙක මම වැස්ස කැමැති වෙම් ද, නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට එකල්හි මහ වැසි වසින්නේ ය.

මගේ ශරීරයෙහි උණුසුමක් හෝ දාහයක් හෝ නොමැත. මගේ කයෙහි දූවිලි ද නොමැත. මෙය උදක දානයෙහි ආනිසංසය යි.

අද මම පිරිසුදු මනසින් යුක්ත වෙමි.

පහව ගිය කෙලෙස් මළ ඇත්තී වෙමි. මාගේ සියලු කෙලෙස් පහව ගියේ ය. දැන් පුනර්භවයක් නැත.

මෙයින් අනු එක්වන කල්පය වූ එකල්හි මම යම් පින්කමක් කෙළෙම් ද, ඒ ජතොර දුගතියක් නොම දනිමි. මේ උදක දානයෙහි ආනිසංසය යි.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත සිංහල අපදාන පාලි - 2 (ථෙරී අපදාන) ඇසුරිනි.